කිකිළිය බිත්තරය සහ ආණ්ඩුව

943

මේ මිහිමත මුලින්ම පහළ වූයේ බිත්තරය ද නැත්නම් කිකිළිය ද යන ප්‍රශ්නය අදටත් විසඳී නැත. මේ දෙකෙන් කොයික මුලින්ම බිහිවුණත් මේ දෙකම එක හා සමානව ජනතාවට අවශ්‍ය ය. බිත්තර යනු ඉතාම දුගී පන්තියේ ජනතාවට වුව පහසුවෙන් ලබා ගැනීම සඳහා ඉතිරිව පැවති අඩු මිල ප්‍රෝටීන ප්‍රභවය වේ. කුකුල් මස්වල තත්ත්වයද එසේමය. අදටත්, එනම් හම සහිත කුකුළුමස් කිලෝව රුපියල් 1250 දක්වා ඉහළ ගොස් තිබෙන මෙවන් කාලයකදී කරවලවලට සහ මාළුවලට වඩා ලාබෙට ජනතාවට ප්‍රෝටීන සැපයීමට කුකුළු මස්වලට පුළුවන. කරවල කිලෝවක් අද වන විට රුපියල් 2500 සිට රුපියල් 4000 දක්වා වූ විවිධ මිල ගණන්වලට විකුණනු ලැබේ. රුපියල් 4000 ක් දී කරවල කිලෝවක් මිලට ගැනීමට නම් එය මිලට ගන්නා තැනැත්තා අවම වශයෙන් රුපියල් දෙලක්‍ෂයකවත් මාසික වැටුපක් ලබන, තමන්ටම ගෙයක් දොරක් ඇති නිසා ගෙවල් කුලී නොගෙවන, හතර දෙනකුගෙන් පමණක් සමන්විත ගෘහ මූලිකයා වන අයෙක් විය යුතුය. එසේ නැතිව රුපියල් තිස් හතළිස් දාහට කන්තෝරුවල ලොටන ජනයාට කරවල කෑමට නොහැක. මාළු කෑමට යෑම වඩාත් භයානක ක්‍රියාවකි. මේ මොහොතේදී රුපියල් 3000ට පහළින් මිලට ගත හැකි ලොකු මාළු ඇත්තේ ස්වල්පයකි. සූඩයන් කිලෝව පවා මේ මොහොතේ දී රුපියල් 1100 ට අලෙවි කරනු ලැබේ.

ලෝකයේ ප්‍රභලම ප්‍රෝටීන් ප්‍රභවය සෝයා බෝංචි බව කිසියම් ආකාරයකට පිළිගත් මතයකි. ඒ නිසා තුන්වන ලෝකයේ දුප්පත් රටවලට සෝයාමීට් පුරුදු කරනු ලැබ ඇත. මෙය ප්‍රෝටීන් සපයන නමුදු නිරන්තර පරිභෝජනයට නුසුදුසු විටෙක පුන්නක්කු රසයක් ගෙනදෙන ආහාරයකි. අනෙක තුන්වේලටම සෝයාමීට් කෑමට ජනතාවට නොහැක. මේ සියලු ආහාර ද්‍රව්‍ය අතර බිත්තරයට හිමිවන තැන ඉතා ඉහළ බව අපි නැවත වරක් මතක්කර දෙමු. 1970 දී සුදු බිත්තරයක් සත 05 කි. 1973 දී සුදු බිත්තරයක් සත 08 කි. අද සුදු බිත්තරයක් රුපියල් 60 කි. අට හැට වූ විට ජනතාවට මුහුණ දෙන තත්ත්වය අටපට්ටම් තත්ත්වයකි. මේ අතර බිත්තර සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදී. මේ අනුව සුදු බිත්තරයක් රුපියල් 43 ක උපරිමයකටත්, රතු බිත්තරයක් රුපියල් 45 ක උපරිම මිලකටත් විකිණීමට නියම කර ඇත. දැනට රටේ තිබෙන තත්ත්වයට අනුව කිකිළිය නිරාහාරව සිටියත් රුපියල් 45 ට සුදු බිත්තරයක් දීමට නොහැක. ඒ නිසා ඉදිරියේදී බිත්තර නිෂ්පාදනය නැවැත්වීමට කුකුළු ෆාම් හිමියන් වෘත්තීයමය ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි දැන ගන්නට තිබේ. බිත්තර මිල අඩු කිරීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ගෙන්වා රුපියල් 30 කට අඩු මුදලකට දීමට ද ආණ්ඩුවේ අදහසක් තිබිණ. ඒත් ඉන්දියාවේ බිත්තර ප්‍රමාණයෙන් කුඩා වන අතර එහි බර ග්‍රෑම් 20 – 25 ත් අතර පවතී. ලංකාවේ බිත්තරයක් නිතරම ග්‍රෑම් 35 ඉක්මවයි. ආණ්ඩුව බිත්තර සඳහා මේ ආකාරයේ පාලන මිලක් ඇති කොට කුකුළු ෆාම් වැසීයෑමට සැලැස්වුවහොත් සදාකාලිකවම පිටරටින් බිත්තර ගෙන්වීමට අපට සිදුවනවා ඇත.

බිත්තර මිල ඉහළ ගියේ ඇයි? මෙයට ප්‍රමුඛ හේතුව වන්නේ රුපියල් 210 – 220 තිබූ ඩොලරය රුපියල් 400 ට ඉහළ යෑමය. මේ නිසා කුකුළු ගොවිපොළවලට අවශ්‍ය සියලුම ද්‍රව්‍යවල මිල ඉහළ ගියේය. කුකුළු ෆාම්වලට අවශ්‍ය කුකුළු පැටවුන්ගේ සිට කුකුළු ෆාම් එකේ වහළය දක්වා වූ සියලුම කොටස් විදේශීය ප්‍රභවයක් සහිත අමුද්‍රව්‍ය වෙති. කුකුළු කෑම තනිකරම ගේන්නේ පිටරටිනි. එසේම කුකුළන්ට විදින බෙහෙත්, කුකුළු කෑමවලට මිශ්‍රකරන විටමින් සහ ඛනිජ ලවණ යනාදිය ද පිටරටින් ගෙන්වනු ලැබේ. මේ රටේදී සිදුවන්නේ ඒ සියලු විදේශීය ද්‍රව්‍යවල අනුග්‍රහයෙන් මේ රටේ උපදින කුකුළා උස්මහත් වීම පමණි. පිටරටවලින් කෑලි ආනයනය කර මේ රටේදී එකලස් කර වාහන නිපදවීමේ කර්මාන්තයක් කුකුළු ගොවිපළ කර්මාන්තයත් මේ අනුව හොඳාකාරවම එක සමානය. දෙකටම අවශ්‍ය අමුද්‍රව්‍ය එන්නේ පිටරටිනි. පසුගිය දිනවල බිත්තර මිල රුපියල් 16 ටත් ගියේය. එයට හේතු වූයේ කොවිඩ් 19 නිසා හෝටල් වසා තිබීමෙන් ඒ අංශයේ බිත්තර පරිභෝජනය අඩු වීමය. එවිට එම බිත්තර විවෘත වෙළෙඳපොළේ ලාබෙට විකිණීමට කුකුළු ගොවිපළ හිමියන්ට සිදුවිය. ඒ අතර අප පෙර කී පරිදි කුකුළු ගොවිපළවලට අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය ද, කුකුළු කෑම ද හතර ගුණයකින් පමණ මිල ඉහළ ගියේය. ඒ අනුව සාමාන්‍යයෙන් බිත්තරයක් රුපියල් 70 ක් පමණ වීමත් කුකුළු මස් කිලෝව රුපියල් 1500 දක්වා ඉහළ යෑමත් නොවැළැක්විය හැකිය. මේ රටේ කිසිම ආණ්ඩුවක් කුකුළු කෑම මේ රටේ නිපදවීමට පියවර ගත්තේ නැත. එසේම කුකුළු ගොවිපළ ව්‍යාපාරය සඳහා අවශ්‍ය කිසිදු අමුද්‍රව්‍යයක් මෙරට නිපදවීමට කිසිදු ආණ්ඩුවකට හැකි වූයේ නැත.

එහෙත් 1948 දී ලංකාවට නිදහස ලැබූ දා පටන් කුකුළු මස් හා බිත්තර පරිභෝජනය ඉතා විශාල ලෙස ඉහළ යන්නට පටන් ගත්තේය. මෙය ලංකාවේ තිබෙන ලොකු ප්‍රශ්නයකි. අපට අවශ්‍ය ප්‍රමාණය මෙන් දහපහළොස් ගුණයක් කටවල් තිබේ. ඒ කටවල්වලට ගිල්ලවීමට ආහාර අප සතුව නැත. හාල් හැර සෙසු සියල්ල ම පිටරටින් ගෙන්විය යුතුව තිබේ. හාල් ද ඇතැම් විට පිටරටින් ගෙන්වනු ලැබේ. කුකුළු ගොවිපළ හිමියන්ට අවශ්‍ය ආහාර සහ බෙහෙත් ද්‍රව්‍ය සහනදායක මිලකට මෙරටට ගෙන්වා දීමට ආණ්ඩුව පියවර නොගතහොත් මේ ගොවිපළ සියල්ලම වසා දමා ඉතිරිව සිටින කුකුළන් ටික මරා කඩයට විකිණීමට කුකුළු ගොවිපළ හිමියන්ට සිදුවනවා ඇත.

මේ රටේ සුවිශේෂී පඬිවරු සිටිති. ඒ අතරින් ෆේස්බුක් පඬිවරුන්ට ඉතාම ඉහළ තැනක් ලැබේ. මීට මසකට පමණ පෙර ඉහළ යන බිත්තර සහ කුකුළුමස් මිලට පාඩමක් ඉගැන්වීම සඳහා කුකුළු මස් සහ බිත්තර වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් ඇරඹීමට ෆේස්බුක් බූරුවන් රැළක් සූදානම් වූහ. මෙය හරිගියා නම් සියලුම කුකුළු ෆාම් ටික දැන් වැසී ගොස් අවසානය. වාසනාවකට එය ක්‍රියාත්මක වුණේ නැත. එහෙත් වසා දැමීමේ තර්ජනයෙන් බේරෙන්නට කුකුළු ගොවිපළ ව්‍යාපාරිකයන්ට අදටත් ඉඩක් ඉතිරි වී නැත. රටින් ගේන බිත්තරය මුලින් රුපියල් 20 – 25 ක් වුව ද, පහුවන විට රුපියල් 100 ඉක්මවීමට ඉඩ තිබේ. ඒ නිසා ජනතාවට කෑමට සිදුවන්නේ සෝයාමීට් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment