කිතුනු හෘද සාක්ෂිය – ඇත්ත

352

ඉකුත් සතියේ දිනක උදෙන්ම මට මගේ මිත‍්‍රයෙක් මහ මඟ දී මුණ ගැසුණා. ඔහුගේ අතේ බයිබල් දින පොත ද තිබුණා. ඔහුට ගුඩ් මොර්නිං කියමින් ලෙන්ගතු සිතින් මම ඔහු පිළිගත්තා. කවදාවත් නැතිව අද ඔයාගේ අතේ මොකද බයිබල් දින පොතක්? කියා මම ඔහුගෙන් විමසුවා. ඔහු මට පිළිතුරක් නොදුන්නත් පල්ලි ගිහින් යාච්ඤා කර පැමිණෙන බවක් මට හැඟුණා. මොකද ගමේ පල්ලිය තිබුණේ ද අප දෙදෙනා හමු වූ ඒ ආසන්නයේමයි.

ඒත් සමගම ඔහු මට එදිනට නියමිත සුවිශේෂ පාඨයෙන් කොටසක් කට පාඩමින් ගෙනහැර දක්වන්නට උත්සුක වුණා. දේව මරිය තුමියට කතා කොට මරියාණෙනී බිය නොවන්න. ඔබ පිළිසිඳගෙන පුතෙකු බිහි කරන්නී. උන්වහන්සේ ජේසුස් යන නාමය තබන්න. මෙම බයිබල් පාඨය ඉදිරිපත් කරමින් මගේ මිත‍්‍රයා මට කතා කරන්න පටන් ගත්තා. මනුෂ්‍ය මට්ටමින් හිතනවා නම් මරිය තුමියගේ ඔළුවට ලොකු හෙණ ගෙඩියක් පාත් වූ බව ඔහු මට කිව්වා. මරියතුමිය වෙත පාත් වූ ඒ හෙණ ගෙඩිය එතුමිය එහෙයි…. කියමින් එසේය…. කියලා බොහොම නිහතමානීව පිළිගත්තා. මගේ මිත‍්‍රයා තවදුරටත් කතා කරමින්… අපිටත් අපේ ජීවතේ මේ වගේ හෙණ ගෙඩි… ජීවිත ප‍්‍රශ්න අරගල ලෙසින් පාත් වෙනවා. කෙතරම් දුරට අපි ඒවා නිහතමානීව පිළිගැනීමට සූදානම්ද? අපිට ජීවිත ප‍්‍රශ්නයක් කරදරයක් පැමිණියහොත් අපි ඒවා ඉදිරියේ තර්ක කරනවා. ඒ ප‍්‍රශ්නේ අග මුල සොයමින් කනස්සලූ වෙන්න හදනවා. ලෝකයේ වෙන්න තියෙන ලොකුම අසාධාරණය සිදු වුණේ මට කියලා හිතලා ඉක්මනින්ම ඒවාට විසඳුම් සොයා ගන්න යත්න දරනවා. රටේ සමාජයේ ඉහළම තලයේ පුද්ගලයෙක් හමු වී ඒ අසාධාරණය ගැන කියා විසඳුමක් ලබා ගන්න උත්සාහ කරනවා. නොඑසේ නම් නීති මඟට හෝ යනවා. එහෙත් මරියතුමිය සියල්ල දරා ගැනීම තුළ ලෝකයට සහ මානව සංහතියටම විමුක්තියක් සහ ගැලවීම අත්වුණා. ස්වාමි පුරුෂයෙක් නැතිව දරුවෙක් පිළිසිඳීමේ අවනඩුව එතුමිය කෙසේ නම් ඉවසා දරා ගන්න ඇතිද? ඒ සඳහා විසඳුමක් සොයා ගැනීමට හෝ ඒ කතාවේ ඇත්ත නැත්ත දැන ගැනීමට එතුමිය විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ ගමේ වෙද මහතෙක්ව මුණගැසීමටවත් උත්සාහ කළේ නැහැ. සියල්ල නිශ්චලව දරාගෙන දෙවියන් වහන්සේගේ කැමැත්තට ඉඩ දුන්නා.

මගේ මිත‍්‍රයා තවදුරටත් කතා කරමින් මට අභියෝග කරන්න ද පටන් ගත්තා. ඔහු මගෙන් මෙහෙම විමසුවා. අපට එන ජීවිත ප‍්‍රශ්න අරගල දරා ගැනීමට හෝ දෙවියන් වහන්සේ ඉදිරියේ ඒවාට එහෙයි කීමට මොන තරම් දුරට සූදානම්ද? මගේ ජීවිත ප‍්‍රශ්නය ගැටලූව මට ඕනෑ ලෙසින් මගේ අභිමතයට අනුකූලව විසඳා ගැනීමට වෙහෙසීම හෝ උත්සාහ කිරීමෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත මගේ ජීවිතේ ඉටු කිරීමට නොහැකි වෙනවා.

රුක්මාලි සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment