කින්නියා පාළම් පාරුව පෙරළී 14 ක් මියගොස් අවුරුද්දක් ගියත් පාළම හදලා නෑ

173

තාමත් ජනතාව අනාරක්ෂිතයි
පාළමක් ඉදිකළානම් විනාඩි පහයි. දැන් කිලෝ මීටර් හයක් යන්න වෙලා
2020 දී පාළමට මුල්ගල් තිබ්බා – කින්නියා ප්‍රාදේශීය ලේකම් එම්. එම්. ගානි

කින්නියා, කුරුඤඤංකේණි හිදී පාලම් පාරුවක් පෙරළී පාසල් සිසුන් 6 දෙනකු ඇතුළු 8ක් මියගොස් 23 වැනිදා දිනට වසරක් ගතවී ඇතත් පාළම ඉදිකිරීමට පියවර නොගැනීමට එරෙහිව විරෝධය පළකරමින් කින්නියා මුස්ලිම් පිරිමි පාසල් දරුවන් හා ගුරුවරුන් හා දෙමාපියන් ප්‍රදේශයේ කළු කොඩි ඔසවා පෙළපාලියකින් එම ස්ථානයට ගමන් කළහ.

මියගිය අයගේ ඥාතීන්, හිතවතුන් එක්ව එම ශෝචනීය සිදුවීම සිදුවූ ස්ථානයට පැමිණ ඔවුන් සිහි කරමින් ආගමික වතාවත්වල යෙදීමට කටයුතු යොදා තිබුණි.

මේ පිළිබඳව අප කින්නියා ප්‍රාදේශීය ලේකම් එම්. එම්. ගානි මහතාගෙන් කළ විමසීමේ හෙතෙම මෙලෙස ප්‍රකාශ කළේය.

මේ ඛේදවාචකය සිදුවෙලා 23 වෙනිදාට අවුරුද්දක් වෙනවා. තාමත් ඒ ප්‍රදේශය අනතුරකට අත වනමින් ඉන්නේ. මේ දිනය සිහි කරමින් මම අධ්‍යාපන, පොලිස්, හමුදා, නේවි, ආයතන ප්‍රධානින් හා ආගමික නායකයින් , අනතුරට පත් පවුල්වල අය එක්කරමින් සාකච්ඡාවක් පැවැත්වූවා. තාමත් මේ ගම් ප්‍රදේශයේ ජනතාව අනාරක්ෂිතයි. ඔවුන්ට නගරයට එන්න කිලෝමීටර් 6 කට වැඩිය විකල්ප මාර්ගයෙන් එන්න වෙනවා. රජයේ සේවකයෝ, පාසල් ළමුන්, ව්‍යාපාරිකයින්, ලෙඩුන් දිනකට දාහක් දෙදාහක් එහා මෙහා යනවා. මේ ගමන ඔවුන්ට අනවශ්‍ය වියදමක් වගේම කාලය නාස්ති කිරීමක්. පාළමක් ඉදිකරා නම් විනාඩි පහක ගමනක්. 2020 අවුරුද්දේ කපිල අතුකෝරල, නිමල් ලන්සා යන මැති ඇමතිවරුන් මුල්ගල තියලා පාළම ඉදිකරන්න පටන් ගත්තා. ටික්ක හරි බය නැතිව එහා මෙහා යන්න තිබුණ පාරත් කඩලා පටන් අරගෙන මඩ වගුරක් කළා. මම ආර්. ඩී. එකෙන් ඇහුවා මොකද ඉදිකිරීම් නවත්වලා කියලා. ඔවුන් කීවේ කොන්ත්‍රාත්කරු වැඩනවත්වලා ගිහිල්ලා කියලයි. දැන් රටේ තියෙන තත්වයත් එක්ක ඉදිකිරීමක් ගැන හිතන්න බැරිබව තමයි කියන්නේ.

මේ ගම්මානයේ පවුල් 8000 ක් පමණ ජීවත්වන අතර ජනගහනය 20,000 කට වැඩියි. අපි මෙහිදී කියා සිටියේ හැකි ඉක්මනින් මේ අනතුරුදායක ගමනට කුමන හෝ විකල්පයක් කරන්න කියලා. අනතුර සිදුවූ අලුත නේවි එකෙන් බෝට්ටු සේවයක් දාලා තිබුණා. ඒකත් ඒ දවස්වලම නැවැත්තුවා. මේ දරුවන්ට පිහිනන්න පුහුණුවක් දීලා ජැකට් දෙන්න කියලා මම කියනවා. ඒ එක්කම මම දිසාපතිතුමාට ලිපියක් ඉදිරිපත් කළා නැවත බෝට්ටු සේවය නේවි එකෙන් ලබා දෙන්න කියලා.

කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment