කිඹුල් නඩුවේ දෙවැනි සාක්‍ෂිකරු සුදු වෑන් රියකින් පැහැරගෙන පහර දී පට්ටිය හන්දියේ දමා ගිහින්

440

රටපුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන් හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සම්බන්ධ කිඹුල් නඩුවේ දෙවැනි සාක්ෂිකරු වන කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචි අතුල සංජීව මදනායක මහතා පසුගිය 5 වැනිදා දහවල් 11.00 ට පමණ සිය නිවසේ රැඳී සිටියදී සුදු වෑන් රථයකින් පැමිණි අවිගත් පිරිසක් විසින් බලෙන් පැහැරගෙන ගොස් පහර දී බියගම පාර පට්ටිය හන්දිය ප්‍රදේශයේ දමා ගොස් ඇතැයි වාර්තා වේ.

මෙම මැරයන් කණ්ඩායම විසින් අතුල මදනායක මහතාගේ දෑස් රෙදි පටියකින් බැඳ වෑන් රථයට දමා ගෙන ගොස් ඇති අතර එක් අතක් කැඩෙනතුරු පහර දීම හේතුවෙන් හෙතෙම ජාතික රෝහලට ඇතුළු වී කඩා දැමූ අතට ශල්‍යකර්මයක්ද සිදුකර මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

තම සැමියා සහ තමන් දරුවන් ද සමග මුහුණ දුන් එම අවස්ථාව පිළිබඳව අතුල මදනායක මහතාගේ බිරිඳ මාධ්‍යයට මෙසේ පැවසුවාය.

සිද්ධිය වූදා දවල් එකොළහට විතර අපි දරුවොත් එක්ක ගෙදර ඉන්න වෙලාවේ නාඳුනන හතර දෙනෙක් අපේ ගෙදරට ආවා. මහත්තයාව ඇදගෙන කාමරයට ගිහින් කම්මුලට පපුවට ගැහුවා. ඒ වෙලාවේ ලොකුපුතා ඇඳේ නිදාගෙන හිටියේ.

එයාව එළියට එලෙව්වා. ඊට පස්සෙ පිස්තෝලයක් ඔළුවට තියලා අතුලව ඇදන් ගියා.

ආපු අයගෙන් දෙන්නෙක් ගෙදර අපි ළඟ තියලා ගියා. ඒ අය මගේ ලොකු දුවගෙ ෆෝන් එකත් ඔවුන්ගෙ අතට ගත්ත නිසා පොලිසියට කියන්න බැරි වුණා. ටික වෙලාවකින් හොඳටම ගහලා අතකුත් කඩලා අතුලව පට්ටිය හන්දියේ දාලා ගිහින් තිබුණා.

මේ සිද්ධිය ගැන මහත්තයා පෑලියගොඩ පොලිසියටත් පැමිණිලි කළා. වෑන් එකට ඇදන් ගිහින් ඇස්දෙක කළු රෙදි පටියකින් බැඳලා හත් අට දෙනෙක් එකතු වෙලා එයාට පහර දුන්නු බව මහත්තයා කිව්වා.

මෙම කිඹුල් නඩුවේ සාක්කිකරුවන් දෙදෙනාට මීට ඉහත කීප අවස්ථාවකදීම දුරකථන ඇමතුම් හරහා මරණ තර්ජන එල්ල කර ඇති අතර පැහැර ගැනීමෙන් පසු අතුල මදනායක මහතා පෑලියගොඩ පොලිසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇත.

තමන්ට ජීවිත ආරක්ෂාව නොලැබේ නම් ලබන නඩු වාරයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වන බවත් තමන් පැහැර ගැනීමට පැමිණි පිරිස සතුව ස්වයංක්‍රීය ගිනි අවි තිබූ අතර මෙම නඩුවේ පළමු සාක්ෂිකරු වන සරත් නමැත්තා සිටින ස්ථානය පිළිබඳව දිගින් දිගටම තමාගෙන් ප්‍රශ්න කරමින් අමානුෂික අන්දමින් පහරදුන් බවත් ඔහු පොලිසියට පැමිණිලි කර ඇත.

තමාට මරණ තර්ජන ඇති බවත් ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටි බව ද අතුල මදනායක මහතා පවසයි.

කැලණිය – මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment