කිඹුල් විල කැළඹෙයි

1364

කිඹුලා ඇළේ ගුණා ඉන්දියානු පොලිසිය විසින් එරටදී අත්අඩංගුවට ගෙන තිබේ. ගුණා අහුවුණේ කිඹුලන් සිටින ජලාශයකින් නොව ඉන්දියාවේ එළිමහන් සිර කඳවුරකදී සැක පිට සිටින විටය. මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේදී ගුණා ඇතුළු පිරිසක් ඉන්දියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පෙර කී එළිමහන් සිරකඳවුරේ රඳවන ලදහ. සැකකරුවකු එළිමහන් සිර කඳවුරක දැමීම උසාවි නියෝගයක් අනුව අත්අඩංගුවට ගැනීමක් තරම් ඉන්දියාවේදී බලවත් නැත. එළිමහන් සිර කඳවුරක ජීවත් වීමට කොයි අපරාධකාරයාත් කැමතිය. දවල් දවසේ ඕනෑම ගේමක් ගසා සවස් කාලයේ කඳවුරට පැමිණ එතැනින්ම කෑමත් කා නිදා ගැනීමට එළිමහන් සිරකඳවුරුවල වෙසෙන අයට පුළුවන. 1999 දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිනි වූ චන්ද්‍රිකා කුමාරතුංගට බෝම්බ ගසා ඇයගේ ඇසකුත් අන්ධ කර ඉන්දියාවට පැනගත් කිඹුලා ඇළේ ගුණා ලංකාවේ සිටින කාලයේදී කොළඹ බ්ලූමැන්ඩල් පාර කෙළවර තිබෙන කිඹුලා ඇළ නමැති කුණු ගඳ ගහන ජලාශය ආශ්‍රිතව ජීවත්වූ කුඩු වෙළෙන්දෙකි. සින්නයියා ගුණසේකරන් නමැති සැබෑ නමින් කිඹුලා ඇළේ ගුණා නමැති අන්වර්ථ නාමයට මාරු වූ හෙතෙම දන්නා කාලයේ සිටම රස්සාව හැටියට කළේ කේරළ ගංජා විකිණීම, කුඩු විකිණීම සහ කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මැරීමය. කොළඹ බ්ලූමැන්ඩල් පාරේ එක කොනක විශාල කුණු කන්දක් තිබේ. මේ කුණු කන්ද පාමුල ප්‍රින්ස් කොලම් නමැති කොන්ත්‍රාත් මිනීමරු මදාවියෙක් ජීවත් විය. ඔහු කළේ ද කුඩු විකිණීම සහ කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මැරීමය. ඔහුගේ කොන්ත්‍රාත් මිල ගණන් ඉතා ඉහළ වූ බැවින් මිනිහකු මැරීමට අවශ්‍ය සෑම විටකම ගනුදෙනුකරුවන් ගියේ අඩු මිලට මිනී මැරූ කිඹුලා ඇළේ ගුණා ළඟටය. මේ නිසා වැඩේ ලාබෙට කරන නිසා ගුණා සතුව වඩාත් පුළුල් කස්ටමර් බේස් එකක් තිබිණ. පසු කාලයේදී එස්ටීඑෆ් එක හෝ එවකට පැවති ආණ්ඩුවට සම්බන්ධ ආරක්ෂක අංශයක රණවිරුවන් කිහිප දෙනෙක් විසින් ප්‍රින්ස් කොලම්ට ‘යකඩ වෙඩි උණ්ඩය’ නමැති සම්මානය ප්‍රදානය කරන ලදී. කිඹුලා ඇළේ ගුණා ඊට කළින්ම ලංකාවෙන් පැන ගොස් තිබිණ. නොඑසේ නම් අඩු මිලට මිනී මැරීමේ වරදට ගුණාට මාරාන්තික සම්මානයක් දීම සඳහා ප්‍රින්ස් කොලම් කල්පනාවෙන් සිටියේය. ශ්‍රී ලංකාවේ පාතාල සාමාජිකයන් රට තුළ කෙළවාගත් සැණින්ම ඉන්දියාවේ තමිල්නාඩුවට පැනීමේ පුරුද්දක් තිබේ. කලකට පෙර මෙය ඉතා ලෙහෙසියෙන් කළ හැකි වැඩකි. මීගමුවට හෝ ජාඇලට ගොස් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂයක් පමණ දීමට හැකි නම් මේ රටේ සිටින ඕනෑම නීච අපරාධකාරයකුට ඉන්දියාවට පැන ගැනීමේ නිදහස මීට අවුරුදු කිහිපයකට පෙර ඉතා හොඳට තිබිණ. එහෙත් අද වනවිට මේ තත්ත්වය යම් ප්‍රමාණයකට මර්දනය වී ඇත්තේ ඉන්දියානු නාවික හමුදාව සහ වෙරළාරක්ෂක හමුදාව තම මුහුදු සීමාවට ඇතුළුවීමට එන සැක කටයුතු බෝට්ටුවක් දුටු සැණින් වෙඩි තබන බැවිනි. මෙය ඉතා හොඳ දෙයකි. රටින් පැන යන අපරාධකාරයන්ට වචනයක්වත් කතා නොකර එලොව යාමේ අවස්ථාව මෙයින් හිමි වේ. පසුගියදා කිඹුලා ඇළේ ගුණා එළිමහන් සිරකඳවුරේ සිටිමින් මාර ගේමක් ප්ලෑන් කර තිබිණ. ඒ වූ කලී පකිස්ථානයේ ත්‍රස්තවාදී කණ්ඩායම් එකක් හෝ කිහිපයක් හෝ සමග එක්ව ඉන්දියාවට ප්‍රහාරයක් එල්ල කිරීමය. ඉන්දියාව මෙවැනි දේවලට සම්බන්ධ අය නිකමටවත් අතඅරින්නේ නැත. ඉන්දියාවට කොයි ආණ්ඩුව ආවත් රටේ ස්වෛරීභාවය ගැන එසේ එන ආණ්ඩුවට ලොකු කැක්කුමක් තිබේ. ඉන්දියාව තුළ ජාතීන් කිහිපයක් සිටිති. ඒ අතරින් මුස්ලිම් ප්‍රජාව ඉතා විශාලය. සමහර කාලවලදී ඉන්දියාවේ හින්දු ජාතිකයනුත් මුස්ලිම් ප්‍රජාවත් ඉතා භයානක ලෙස ජාතිවාදී කෝලාහලවල නිරත වෙති. එවිට දෙපැත්තෙන්ම දහස් ගණනක් මැරෙති. හැබැයි පාකිස්ථානය, ඉන්දියාව සමග යුද්ධයට එනවිට ඉන්දියාවේ සිටින සියලුම මුස්ලිම් ප්‍රජාව පාකිස්ථානය සමග සටන් කිරීම සඳහා හින්දු ජාතිකයන් සමග අත්වැල් බැඳගෙන ඉදිරියට යති. ඒ අනුව ඉන්දියාවේ සිටින සියලුම ජාතීන්ට ස්වකීය භූමිය පිළිබඳ විශාල ආදරයක් ඇත. මේ අනුව කිඹුලා ඇළේ ගුණා ඉන්දියාවට විරුද්ධව ගේමක් ගැසීම සඳහා පාකිස්ථානය සමග එකතු වුණු බව ඔප්පු වුණොත් ඉන්දියන් රජය ගුණා සහ ගෝලයන් පිරිස හක්කේ තියා සෙම අරිනු ඇත.

ශ්‍රී ලංකාවේ අපරාධකරුවන්ගේ නම් ඉතා කැතය. සින්නයියා ගුණසේකරන් නමැති අපරාධකරු කිඹුලා ඇළේ ගුණා නමැති අව්‍යක්ත නම ලබා ගත්තේය. ඔහුගේ එක ගෝලයකුගේ නම පූකුඩිකන්නා ය. ගුණාගේ සිංහල අපරාධ ගෝලයන්ගෙන් එකකුගේ නම කොට ගාමිණී ය. අනෙක් සිංහල ගෝලයාගේ නම බුම්මා ය. ලඩියා නමැති සිංහල ගෝලයෙක් ද ගුණාට සිටී. මෙයින් හැඟෙන්නේ අපේ රටේ සිටින සමහරුන් අතට ගාණක් ලැබෙන සාපරාධී කොන්ත්‍රාත්තුවකදී ජාති ආගම් කුල භේද නොසලකා එකතු වන බවය.

ශ්‍රී ලංකාව තුළ ඇති තරම් අපරාධ කර වෙනත් රටවලට පැනගොස් සැපසේ ජීවත්වන අය ඕනෑ තරම් සිටිති. මිනීමරු පොට්ටුඅම්මන් ස්වීඩනයේ ජීවත්වන බවට පිළිගැනීමක් අදටත් රට තුළ තිබේ. යුද හමුදා නිලධාරීන් විශාල පිරිසක් ඝාතනය කරවූ අයිස් මංජු නමැති සිංහල කොටියා ප්‍රභාකරන් පැරදීමත් සමගම ඉන්දියාවට පැන ගත්තේය. මෙයට අවුරුදු ගණනාවකට කලින් ප්‍රමුඛ යනුවෙන් ඉතිරි කිරීමේ බැංකුවක් කොළඹදී විවෘත කරන ලදි. මේ බැංකුවේ සභාපතිතුමා මේ රටේ දුප්පත් ජනයාට රුපියල් බිලියන ගණනාවක් වංචාකර වෙනත් රටකට පැන ගොස් සුවසේ ජීවත් වෙයි. කිඹුලා ඇළේ ගුණා, බුම්මා සහ ලඩියා තරමටම මේ අය ද අපරාධ කර ඇත. ජාත්‍යන්තර අපරාධ සාගරයේ දිය කෙළින මේ පිරිස සමහරවිට කිසි කලෙකත් අල්ලා ගැනීමට බැරිවනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment