කිඹුලාවල හන්දියේ ෂූටින් කරපු පෝර්ක් වීදිය

435

කොවිඞ් හින්දා නළු නිළියන්ගෙන් පොල් රොටි විකුණනවද කියලත් අහලා

 අලූතින් යමක් හිතන පුද්ගලයකුට වසංගතයක් කියන දෙය අදාළ වෙන්නේම නැහැ කියලයි අපිට හිතෙන්නේ. මේ කතාව කියවන්න පටන් ගත්ත කෙනකුට හිතෙන්න පුළුවන් ඇයි අපි එහෙම කියන්නේ කියලා. අපි එහෙම කියන්නේ මේ වසංගතයෙන් පස්සේ අපේ රටේ මිනිස්සු මහපාරට ඇවිත් තරාතිරම නොබලා ජීවත් වෙන්න පනම් හතරක් හොයන්න පටන් ගත්තා. මේ පනම් හතර හොයන විදිහ සියැසින්ම දැක්ක නිර්මාණකරුවෙක් ඒක වෙනස්ම විදිහට කතාවකට නගලා හෙට (28 වැනිදා) ඉඳන් සතියේ හැමදාම රාත‍්‍රී 8.30ට පවුලේ නාලිකාව වන ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය වෙන්න පටන් ගන්නවා. ඇත්තටම ඒ කතාව අපි කියනවාට වඩා ඔහුම කියන එක හොඳයි කියලා අපි හිතුවා.

 මම සාලින්ද රත්නායක ඇත්තටම මම හොඳ වැඩක් කරන්න හිත හිත හිටපු කාලයක මම දැක්කා පසුගිය කාලයේ ආපු කොවිඞ් ප‍්‍රශ්නයත් එක්ක පාරේ පි‍්‍රයර්ස් කාර් එකක් නවත්වලා පොල් විකුණනවා. සී එච් ආර් එකක් නවත්වලා ඒකේ මාක්ස් විකුණනවා. බී එම් ඩබ්ලිව්, බෙන්ස්, හොන්ඩා කාර්වල පොල් රොටියි පෝර්ක් කරියි විකුණනවා. ඉතිං මම මගේ පිටපත් රචක අසංක නානායක්කාර සමඟ කතාබහ කරලා මේ මිනිස්සු ගැන කතා කරමුද ඇහුවා. ඊට පස්සේ කාලයක් යනකොට මේ වැඬේ මෝරලා අපිට වැඬේ පටන් ගන්න පුළුවන් විදිහට ආවා. අන්තිමේ පෝර්ක් වීදිය කියලා අපි මේ ටෙලි කතාව රසිකයන්ට තිළිණ කරන්න හිතුවා.

 ඇත්තටම පෝර්ක් වීදියට කොරෝනා කියන මාතෘකාව සම්බන්ධ නැහැ. ස්ප‍්‍රීට් ෆුට් කියන මාතෘකාව ලෝකයේ ජනපි‍්‍රය වෙන කාලයක ඒක ලංකාවට ආවා. අපේ කලාකාරයෝ ඒ ගොල්ලන්ගේ බෙන්ස් එක නවත්වලා මේ වගේ බිස්නස් කරනවා කියලත් මම අහලා තිබුණා. ජනපි‍්‍රය පුවත්පත්වේදියකුත් එහෙම කළා කියලා දැනගෙන හිටියා. මේක මොඩර්න් කන්සෙප්ට් එකක්. මේක තවත් ජනපි‍්‍රය වුණේ කොරෝනා වසංගතයෙන් පසුවයි.

 මේ කතාවට මම පසුතලය තෝරාගත්තේ කිඹුලාවල හන්දිය. මේ වැඬේ එතැන මම කරනවත් දැකල තිබුණා. සුජානි මේනකා සහ සනත් විමලසිරි චරිත දෙක පියර්ස් එකක තියා ගෙන පොල් රොටි විකුණනවා. මෙතැන වී අයි පී ලා ජොගින් යන තැනක්. මෙතැන ෂූටින් කරන එකත් ලොකු අභියෝගයක් වුණා.

 ඇත්තටම මම 2007 වසරේ ඉඳලා ක්‍ෂේත‍්‍රයේ ඉන්න කෙනෙක්. අධ්‍යක්‍ෂවරයෙක් වෙන්න ඕනෑ කියන එකට අඩිතාලම දාගත්ත මම මේ ක්‍ෂේත‍්‍රයේ විවිධ දේවල් කරනවා. ක්‍ෂේත‍්‍රයේ අය සාලින්ද රත්නායක කිව්වහම දන්නවා. එක එක නාට්‍යවලදී මම එක එක චරිත වලින් හම්බවෙලා තියෙනවා. නිෂ්පාදන කළමනාකාරවරයෙක්, සහාය අධ්‍යක්‍ෂවරයෙක්. දෙවන සහාය අධ්‍යක්‍ෂවරයෙක්, අදහස් වර්ධනය කරන්නෙක් ලෙස නිර්මාණ සියයකට එකසිය විස්සකට දායක වෙලා තියෙනවා. අධ්‍යක්‍ෂකවරයෙක් විදිහට මම පළමුවෙන්ම මේ වැඬේ කළාට මේ ක්‍ෂේත‍්‍රයේ විවිධ භූමිකාවල් නැත්නම් රස්සාවල් කරලා තියෙනවා.

 මේ නිර්මාණයට ලංකාවේ ප‍්‍රවීණ නළු නිළියන් විස්සකට ආසන්න පිරිසක් රංගනයෙන් දායක වෙනවා. ඇත්තටම මේ වගේ කාලයක ඒ වගේ නළු නිළි පිරිසක් එකතු කරගන්නවා කියන්නේ දැවැන්ත අභියෝගයක්. මම විශ්වාස කරන දේ තමයි කාස්ටින් කියන දේ තමයි නිර්මාණයක වැදගත්ම කාරණය. මම කුඩා චරිතයක් තෝරාගන්න කොටත් ඒකට සාධාරණයක් කරන්න පුළුවන් ඒකට හැඩයක් හදන්න පුළුවන් නළුවෙක් නිළියක් තෝරාගන්න පෙළඹුණා. ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි.

 ඇත්තටම දැන් මිනිස්සු කිඹුලාවල හන්දියට කියන්නේ ඇත්ත පෝර්ක් වීදිය කියලා. අපි එතැන පෝර්ක් වීදිය කියල බෝර්ඞ් එකක් දැම්මා. රූගත කිරීම් වලට. එතැන ඇත්තටම බිස්නස් කරපු අයත් මගෙත් එක්ක කිව්වා මහත්තය දැන් මෙතැනට කියන්නේ පෝර්ක් වීදිය කියලා. ටෙලිනාට්‍ය විකාශනය වෙන්නත් කලින් එහෙම රැුල්ලක් හැදුන එක ගැන ඇත්තටම සතුටුයි. අන්තිම හරිය ෂූටින් කරනකොට පී එච් අයි මහත්තයගෙන් ප‍්‍රශ්න ආවා. පළමු අදියර ෂූටින් කරන කොට

 ඔයගොල්ලො කොහොමද මෙතැන ෂූටින් කරන්නේ කියලා ප‍්‍රශ්න ආපු වාර අනන්තයි. මේ ප‍්‍රශ්නය විසඳන්නම වෙනම කෙනෙක් තියලා තිබ්බා.

 මෙතැන ෂූටින් නවත්වන්න කියලා ආපු වාර අනන්තයි. අවසර හම්බවෙනකම් ඉඳගෙන හිටපු වාර අනන්තයි.

 තවත් දෙයක් තමයි නළු නිළියන්ගෙන් අහනව අපිට රොටි ගන්න පුළුවන්ද කියලා. වාහන නවත්වලා අහලා යනව. දැන් ඔයගොල්ලො බිස්නස් කරනවාද කියලා. කොවිඞ් හින්දා පොල් රොටි විකුණනවාද කියලත් කට්ටිය අහපු වාර අනන්තයි. අපි ඒ වෙලාවේ නාට්‍යයක් කරන්නේ කියලා කිව්වෙත් නැහැ. සනත් අයියගෙන් අපිට රොටි ගන්න පුළුවන්ද කියලත් අහලා යනවා. ඒ වෙලාවට කියනවා තවම ඇරලා නැහැ කියලා. කලාකරුවෙක් විදිහට විශ්වාස කරන දෙය තමයි නිර්මාණයක් හරි මොකක් හරි දෙයක් කරන කොට මිනිස්සුන්ව පුදුම කරවන්න ඕනෑ කියන කාරණාව. නළු නිළියන් වුණත් ඇත්ත පොළවේ පහගහලා ඉන්න අය ගන්න ඕනෑ වුණා. මේක ඇතුලේ ලයිෆ් තමයි තියෙන්නේ.



  දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment