කිරිපිටි පැකට් එකක වාසනාවක්

144

මගේ බිරිඳට ලැබුණු දුරකථන පණිවුඩයෙන් ඇය කලබලයට පත් වූවාය.

ඒයි හරි වැඩේ හෙට කැලණියේ නිමලා අපේ ගෙදරට එනවලු… දැන් නිමලට කිරි තේ එකක්වත් දෙන්න ඕනෑ.

කිරි තේ එක උණු හින්දා නිමලා නිමල නිමලට තේ එකක් දෙමු යැයි මම කීවෙමි.

කෙහෙල්මල මේ මනුස්සයා හැමදෙයක්ම විහිළුවට ගන්නේ…

මනුස්සයෙක් ගෙදරට ආවාම කිරි තේ එකක්වත් දෙන්න ඕනෑ. එතකොට අපිට තත්ත්වයක් තියෙනවා මම කල්පනා කළේ අර අල්මාරියේ හංගල තියෙන කිරිපිටි තේ හැඳි හත අටවත් අරගෙන නිමලට තේ එකක් දෙන්න යැයි ඇය කීවාය.

නිමලට කෑමට දෙන්න තමයි දෙයක් නැත්තේ.. කොහෙද බිස්කට් පැකට් එකත් දැන් ගිනි ගණන් ගිහිල්ලා. බිරිඳ තනිවම කීවාය.

ඔයා එයාට කියන්න ගෙදර තිබුණ බිස්කට් පැකට් එක නෝමන් මහත්තයයි පුතයි කාලා ඉවරකරලා කියලා. එතකොට එයා ඒක පිළිගනියි.

චිකේ මට බැහැ බොරු කියන්න අර හංගපු බිස්කට් පැකට් එකක් තියෙනවා. ඒකත් අපිට චම්පා රණසිංහ අපේ ගෙදරට ගෙනාපු එකක්. ඒක හැංගුවේ නැතිනම් ගෙදර ඉන්න මීයෝ දෙන්නා ඒක කාලා ඉවර කරයි. ඇය පිළිතුරු දුන්නාය.

නිමලා දවල් කෑමට හිටියොත් තමයි ප්‍රශ්නය. එයාට කෑමට මුකුත් දෙන්න ඕනෑ. එයා හුඟක් කාලයකට පස්සේ මෙහෙ එන්නේ බිරිඳ කීවාය.

අපි කන විදිහට පරිප්පුයි බතුයි දෙමු මම යෝජනා කළෙමි.

එතකොට අපේ තත්ත්වය මොකක්ද අර හංගපු කරෝල කෑල්ලක් තියෙනවා. දැන් ඒකත් අබිං වගේ.. ඒ කාරෝල කූරිය ගෙනැත් දුන්නේ ජූඩ් මහත්මයා. අපි පරිප්පුයි, කරෝලයි, බිත්තරයකුයි කෑමට හදමු.

කිකිළියෝ හැමදා ම බිත්තර ගණන් උත්සනවා. යකෝ බිත්තර මිල පහත දාන්න කිසිම ජගතෙකුට බැහැ. ඒත් කතාව නම් දෝලාවෙන් ගමන පයින් කියමින් බිරිඳ කුටු කුටු ගෑවාය.

පසුදා හිරු උදාවිය. බිරිඳ කුස්සියේ වැඩ ඇරඹුවාය. අද කොහොම හරි ගෑස් ටික පිරිමහ ගන්න ඕනෑ.

දැන් ගෑස් ටිකත් අබිං වගේ. ඔයා ගිහින් එළියේ කුස්සියේ ළිපට දර කෑලි ටිකක් ලෑස්ති කරන්න දර නැහැ කියලා. අපේ මඟුල් ෆොටෝවල ලී රාමු කඩන්න එහෙම එපා යැයි ඇය දැනුම් දීමක් සිදු කළාය.

උදෑසන අට වෙනකොට නිමලා අපේ ගෙදරට පැමිණියා ය.

ඇය අතේ ඇඹුල් කෙසෙල් ඇවරියක් තිබුණා ය.

අත වන වනා ගේකට එන්න බැරි හින්දා මම මේ කෙහෙල් ඇවරිය ගත්තා. ඒකත් දැන් ගිනි ගණන්. දැන් කෝලිකුට්ටු ඇවරියක් රුපියල් හාරසීයක් වෙනවා. කොහෙන්ද මෙයා සල්ලි තියෙන්නේ දැන් දොස්තරලා කියනවා වැඩිය කෝලිකුට්ටු කන්න හොඳ නැහැ කියලා.

තාම මම උදේට කෑවෙත් නැහැ. නිමලා කීවාය. එය ඇසූ බිරිඳට තරු විසිවුණා.

ඇය මට කුටු කුටු ගෑවාය. ඔයා ගිහින් කිඹුලා බනිස් ගෙඩියක් ගේන්න. මම මේ තේ එක හදන්නම්.

මම කඩේට දිව්වෙමි.

නිවාස යෝජනා ක්‍රමයේ ජගත් මහත්මයා මගේ ඉස්සරහට පැමිණියේය.

නෝමන් මහත්මයා දැන් පැන්ෂන් ද මහත්මයා පත්තර බලන්නේ නැතිව ඇති නේද මම ඇසුවෙමි.

කොහෙද පත්තර බලන්න අපිට වෙලාවක් නැහැනේ.

ටීවී එකක්වත් බලන්නේ නැද්ද ඔහු මා ගැන නොදන්නවා ට (ලොකු කුඩා කවුරුත් මා ගැන දනිති.)

රටේ ලෝකයේ කොහිද අපිට කිසිම වෙලාවක් නැහැ. ඔහු කීවේය.

(ඒ අතින් කාක්කෝ හොඳයි)

අපේ රටේ ආදිවාසි ජනතාවත් අද ටීවී බලන යුගයේ ජගත් මහත්මයා ටීවී එකක් නොබලා උදේ ඉඳලා මහ රෑ වෙනතුරු රාජකාරියේ. ජගත් මහත්මයා කොහොම කෙනෙක්ද කියලා කවුරුත් දන්නවා. ඒ මහත්මා අපරාදේ කියන්න බැහැ නොදන්නා දේකුත් නැහැ. දන්න දේකුත් නැහැ.

මිනිහෙක් එක දවසක් ගෙදර හිටියොත් දැන් වැඩට යන්නේ නැද්ද අද නිවාඩුද දැන් පැන්ෂන් ද කියලා වැඩ නැති උදවිය නිතර විමසීම රටේ සිරිතකි.

බිරිඳ කිඹුලා බනිස් ගෙඩිය සමග කිරි කෝප්පය නිමලට පිළිගැන්නුවා.

හරි ෂෝක් කිරි තේ එක මම කාලයකින් මේ වගේ තේ එකක් බිව්වේ.

අපිට කිරිපිටි වලින් හිඟයක් නැහැ. අපේ නෝමන් මහත්මයා කිරිපිටි සමාගමක ලොක්කෙක් අල්ලාගෙන පැකට් තුන හතරක් ගෙන්න ගත්තා.

බිරිඳ අමු ටොන් පචයක් කීවාය.

ඒකට අපේ ගෙදර එක්කෙනා පහුගිය මාසේම කිරිපිටි පැකට් එකක් හොයා ගන්න බැරිව දුක්වින්ඳා දැන් මගේ කෙල්ලගේ දුවට කිරිපිටි නැතිව නිකම් තේ දුන්නා. අනේ මෙයා තරහ නැතිව මටත් කිරිපිටි පැකට් එකක් දෙන්න. මම ඔයාට සල්ලි දෙන්නම් යැයි නිමලා කීවාය.

මගේ බිරිඳට තරු පෙනුණි. ඔයත් බොරු කියලා ඇමැතිවරුන්ගේ තත්ත්වයට වැටෙන්න එපා යැයි මම බිරිඳට රහසින් කීවෙමි.

කිරිපිටි පැකට් එකක් කඩෙන් හරි ගෙනැල්ලා නම්බුව පිරිමහ ගන්න ඕනෑ කියමින් බිරිඳ කීවාය.

මම පස්ස දොරෙන් හති අරිමින් කඩේට දිව්වේ නම්බුව පිරිමසා ගැනීමට ය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment