කිරියෙන් ඉතිරුණු රටක්ද? පිටිකිරිවලට යටවූ රටක්ද?

160

පිටිකිරිවල පෝෂණ ගුණය නැත්තේම නොවේ. නමුත් පිටිකිරිවලින් ලබාගන්නා කැල්සියම්, ප්‍රෝටීන්, විටමින් ආදිය අපට වෙනත් ආහාර පාන මගින් ඉතා පහසුවෙන් ලබාගත හැකිය.

ඉස්සර කාලේ අපේ රටේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වගේ ලොකු ලොකු අයට හැදෙන ලෙඩ රෝග තිබුණේ නැහැ. එදා අපි තුන්වේලම කෑවේ බත්, ආදී ලෙසින් වැඩිහිටියෝ පවසති. සෞඛ්‍ය විද්‍යාත්මකව මේ පිළිබඳව විමසා බැලූවහොත් එහි ඇති සත්‍යයනම් දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝගාබාධ වැලදෙන්නේ පෝෂ්‍යදායී ආහාර පාන වැඩිපුර ගනිමින් ව්‍යායාම ආදී කටයුතුවල අඩුවෙන් නිරත වෙමින් අලස ජීවිතයක් ගත කරන පුද්ගලයන්ටය.

මීට වසර 40කට පමණ පෙර අප රට පැවැතියේ මන්දපෝෂණයෙන් පුද්ගලයන් බහුලව සිටින රටක් ලෙසය. එනිසා එම කාලයේ අප රටේ බහුලව දැකිය හැකි රෝග වූයේ රක්තහීනතාවය, මන්දපෝෂණය ආදියයි.

නමුත් 1978 වසරින් පසු ඇතිවූ විවෘත ආර්ථිකයත් සමග අප රටට පිටරටින් බොහෝ ආහාරපාන ආනයනය කරන්නට විය. කිරි එළදෙනුන්ගෙන් දොවාගත් නැවුම් කිරි පානය වෙනුවට ඉතා පහසුවෙන් මිලදී ගත හැකි පිටිකිරි වෙළෙඳ පොළෙහි බහුල වන්නට විය.

චීස්, බටර්, ක්‍ෂණික ආහාර පාන ආදිය රටට ගලා එන්නට විය. අල බතල, කොස් දෙල්, ගමේ ගොඬේ කෑම ලෙස පහත් අයුරින් සිතන්නටත් පිටරටින් එන ක්‍ෂණික ආහාර පාන සුපිරි ආහාර පාන ලෙස සිතන්නටත් බහුජාතික සමාගම් අප රටේ ජනතාවගේ ආකල්ප වෙනස් කිරීමට ඉතා සියුම් ලෙස පියවර ගනු ලැබීය. මව් කිරිවලට වඩා පිටිකිරි ගුණදායක යැයි කියන්නට තරම් ඇතැම් වෛද්‍යවරුද බහුජාතික සමාගම්වල මුදලට යටවූහ. කිරිපිටි යනු පෝෂණයෙන් අඩු ආහාරයක් නොවේ. එය බොහෝ ආහාර පාන නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමු ද්‍රව්‍යයකි. ළදරු කිරිපිටි ලෙස පෝෂ්‍ය ද්‍රව්‍ය එක්කර මව් කිරිවලට ආදේශකයක් ලෙස ලබාදේ. රසකැවිලි නිෂ්පාදන, බේකරි නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස යොදාගනී. මේදය සහිත කිරිපිටි සහ මේදය රහිත කිරිපිටි ලෙසද ඒවා නිෂ්පාදනය කරයි. ලෝකයේ වැඩිපුරම කිරිපිටි භාවිතා කරන රටවල් අතර චීනය, ඇමරිකාව, බ‍්‍රසීලය, නවසීලන්තය, ඔස්ටේ‍්‍රලියාව, ආර්ජන්ටිනාව මුල් පෙළේ සිටී. 2017 වසරේදී ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි වෙළෙඳ පොළ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 27,783.3ක් ලෙස වාර්තා විය. එය 2025 වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 38,086.1 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කරයි.

ඊට හේතුවී ඇත්තේ කිරිපිටි පරිභෝජනය ඉහළ යෑම නොව කිරිපිටි යොදා නිපදවන ආහාර පාන නිෂ්පාදනය ඉහළ යෑමය. අප රටේ බොහෝ දෙනා කිරිපිටි භාවිතා කරන්නේ පෝෂණ වේලක් ලෙසය. එනිසා ඇතැම් උදෑසන ආහාර වේල ලෙස පිටිකිරි වීදුරුවක් පානයට පමණක් යොමුවී ඇත. ඒ අතර ඇතැම් දෙනා කිරිපිටි පානයට ඇබ්බැහිවී සිටිති. මෙම ඇබ්බැහිවීම හුරුකර ඇත්තේ දෙමාපියන්, වැඩිහිටියන් කුඩාකල දරුවන්ට මව්කිරිවලින් පසු පිටිකිරි පානයට දීමෙනි.

පිටිකිරිවල පෝෂණ ගුණය නැත්තේම නොවේ. නමුත් පිටිකිරිවලින් ලබාගන්නා කැල්සියම්, ප්‍රෝටීන්, විටමින් ආදිය අපට වෙනත් ආහාර පාන මගින් ඉතා පහසුවෙන් ලබාගත හැකිය. කුඩා මාළු, එළවළු, ධාන්‍ය වර්ග, පලා වර්ග ආහාරයට ගැනීමෙන් දිනකට අපට අවශ්‍ය විටමින්, කැල්සියම්, ප්‍රෝටීන් ප‍්‍රමාණය අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා ලබාගත හැකිය. නමුත් ඇතැම් විශේෂ අවශ්‍යතා සහිත අවස්ථාවලදී අධිපෝෂණය සහිත පිටිකිරි වෛද්‍ය නිර්දේශ මත පානය කළ යුතුවේ. එනම් දරු උපතින් පසු මවට බරපතළ රෝගාබාධ ඇතිවී මව්කිරි දීමට අපහසුතා මතුවුවහොත් පෝෂණය සහිත ළදරු පිටිකිරි පානයට දිය යුතුවේ. නමුත් මෙවැනි තත්ත්ව මතුවන්නේ ඉතා කලාතුරකිනි.

ඒඞ්ස් රෝගී මවකට වුව තම දරුවාට මව්කිරි ලබාදිය හැකිය. මව්කිරි මගින් ඒඞ්ස් රෝගය දරුවාට වැළදෙන්නේ නැති බව හඳුනාගෙන ඇත. එනිසා අප පිටිකිරි පානයට යොමුවිය යුත්තේ අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී පමණි. රසකැවිලි නිෂ්පාදනයට, බේකරි කර්මාන්තයට පමණක් පිටිකිරි යොදාගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුතුය.

මේ වනවිට අප රටේ පුද්ගලයකුගේ සමස්ත මාසික පිටිකිරි පරිභෝජනය දියකිරි ලීටර් 110.33 ලෙස වාර්තාවේ. පිටිකිරි පරිභෝජනය ග‍්‍රෑම් 341.36 කි.

වාර්ෂිකව පිටිකිරි මෙටි‍්‍රක් ටොන් 94,000ක් පමණ ආනයනය කරයි. ඒ සඳහා වැයකරන මුදල රුපියල් බිලියන 33කට අධිකය. ලෝකයේ වැඩිපුරම කිරිපිටි පරිභෝජනය කරන රට වන චීනයේ වාර්ෂික පරිභෝජනය මෙටි‍්‍රක් ටොන් 2,185,000කි. කිරිපිටි නිපදවන ප‍්‍රධාන රටවල් වන නවසීලන්තයේ වාර්ෂික පරිභෝජනය මෙටි‍්‍රක් ටොන් 1,561,000කි. ඔස්ටේ‍්‍රලියාව මෙටි‍්‍රක් ටොන් 75,000කි.

එනිසා අප දියර කිරි සහ කිරිපිටි පානයට වඩා අතිරේක නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස යොදාගෙන කෝපි, තේ, බෙලිමල්, රණවරා, ඉරමුසු ආදී පාන සඳහා යොමු වුවහොත් අප රටටද කිරියෙන් ඉතිරුණු රටක් බවට පත්විය හැකිය. එසේ නොවුණහොත් සිදුවන්නේ පිටිකිරි වලට යටවූ රටක් බවට පත්වීමටය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment