කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමේ සැලසුම්

325

ශ‍්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීමේ සංවර්ධන සැලැස්මේ නියමුවන් ලෙස කටයුතු කරන රජයේ පශු වෛද්‍යවරුන්ගේ සේවය අගය කරමින් තිළිණ ප‍්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

පශු සම්පත් ගොවිපළ ප‍්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඞී. බී. හේරත් මහතා ද මෙයට සහභාගි වූ අතර දිවයිනේ විවිධ ප‍්‍රදේශ නියෝජනය කරමින් පශු වෛද්‍යවරු ද සහභාගි වූහ.

ගම්බද කිරි ගොවියා ගමේ පන්සලේ හාමුදුරුවන්ට දේවත්වයෙන් සලකනවා මෙන්ම රජයේ පශු වෛද්‍යවරයාට කිරි සමුපකාර සමිතියේ සභාපතිවරයාට ද ගරු කරයි. දේවත්වයෙන් සැලකීමට අමතක නොකරයි. තම ගොවිපළේ ඇතිදැඩි කරනු ලබන කිරි එළදෙන ද තම පවුලේ සාමාජිකයකු ලෙස සලකා කටයුතු කිරීම දැක ගැනීමට ලැබීම විශේෂත්වයකි. මෙවැනි ගොවි මහතුන් රටට, ජාතියට ආදර්ශයකි. ශ‍්‍රී ලංකාව වැනි රටකට මහඟු සම්පතකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව 2025 වර්ෂය වනවිට රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට සැලසුම් කර ඇත. මේ සැලසුම්වල සඳහන් ඉලක්ක කරා යොමුවීමට විශාල කාර්යභාරයක් වගකිවයුතු අය විසින් ඉටුකළ යුතුව තිබේ.

දිවයිනේ පශු වෛද්‍ය කාර්යාලවල පවතින විවිධ තනතුරු සඳහා සේවක මණ්ඩල හිඟයක් පවතින අතර දිනපතා බල්ලන්ට, පූසන්ට, කිරි දෙනුන්ට ප‍්‍රතිකාර ලබා ගැනීමට වැඩි පිරිසක් පැමිණෙන නිසා පශු වෛද්‍යවරුන්ට දිවා රාත‍්‍රි නොබලා සේවය කිරීමට සිදුවී ඇත. ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක පශු වෛද්‍ය කාර්යාලය බැගින් පිහිටුවා තිබීම නිසා පශු වෛද්‍යවරුන්ට පැය ගණන් කාර්යාලයෙන් බැහැර ගොවිපළවලට ගොස් ප‍්‍රතිකාර කිරීමට සිදුවී ඇත.

සමහර පශු වෛද්‍ය කාර්යාලවල බෙහෙත් අවශ්‍ය තරමින් ගබඩා කර ගැනීමේ පහසුකම් නොමැති නිසා වෛද්‍යවරු බෙහෙත් පිටතින් මිලදී ගැනීම සඳහා තුණ්ඩු නිකුත් කිරීමත් සමඟම ගොවි මහත්වරුන්ට නගරයේ ‘ෆාමසි’ කරා ගොස් බෙහෙත් ලබාගැනීමට සිදු වේ. බෙහෙත් රැගෙන එන අතරමගදී ගවයන් මියගොස් ඇති අවස්ථා ද එමටය. මෙම හේතු කාරණා සැලකිල්ලට ගෙන පශු වෛද්‍ය කාර්යාලවලට අවශ්‍ය පහසුකම් සලසාදීම රජයේ වගකීමක් ද වේ.

ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා පශු වෛද්‍ය කාර්යාලවලට වැඩි පිරිසක් පැමිණෙන ප‍්‍රදේශ හඳුනාගෙන පශු වෛද්‍යවරුන් දෙදෙනකුගේ සේවය ලබාගැනීමට හැකිවන පරිදි පශු වෛද්‍යවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතුව ඇත. තවද පශු වෛද්‍යවරයෙක් නිවාඩු ලබා ගන්නා අවස්ථාවලදී වෙනත් කාර්යාලයක වෛද්‍යවරයකුට කාර්යාල දෙකක වැඩ ආවරණය කිරීමට සිදු වේ. මෙය එම වෛද්‍යවරයාට ද ප‍්‍රශ්නයකි. සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාවට ද ප‍්‍රශ්නයකි. මෙවැනි තත්ත්වයක් යටතේ රට කිරියෙන් ස්වයංපෝෂිත කිරීමට ගොවීන්ට හැකි දැයි ගොවියෝ ප‍්‍රශ්න කරති. පශු වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන ලද පිරිසක් රැකියා නොමැතිව සිටින අවස්ථාවක එම පිරිස් බඳවාගෙන පශු වෛද්‍ය සේවය විධිමත් කරන ලෙස ගොවීන් පශු සම්පත් ගොවිපළ ප‍්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඞී. බී. හේරත් මහතාගේ අවධානයට යොමුකර ඇත. කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමේ සංවර්ධන වැඩසටහනට දායක වන ගමේ කිරි ගොවි පවුල්, කෘත‍්‍රිම සිංචන ශිල්පීන්, සත්ත්ව සංවර්ධන නිලධාරීන්, ගම් මට්ටමින් කිරි එකතු කරන අය, ගමේ කිරි සමුපකාර සමිතියේ නිලධාරීන්ගේ සේවය අගේ කළ යුතුව ඇත. මෙම අය අව්ව, වැස්ස, දිවා රාත‍්‍රි නොබලා සේවය කරති. පශු වෛද්‍යවරුන්ට මෙන්ම ගොවීන්ගේ සේවයට උපහාර දැක්වීමක් ඉදිරියේදී සිදු කිරීම තුළින් කිරි නිෂ්පාදනය රැක ගැනීම වගකිවයුතු අයගේ අවධානයට යොමුවිය යුතුව ඇත.

කිරි ලීටරයකට රුපියල් 100 – 125 අතර මුදලක් ලබාගැනීමට හැකිව තිබෙන බව තේරුම් ගෙන තරුණ පිරිස් රජයේ රැකියා බලා නොඉඳ ‘කිරි නිෂ්පාදනය’ තෝරා ගැනීමට ඉදිරිපත් වී ඇත. එහෙත් එම පිරිසට අත හිත දීමට පහසුකම් සලසා දීමට වැඩපිළිවෙළක් නැත. ගවමඩු ඉදිකර ගැනීම, තෘණ වගාකර ගැනීම, උසස් වර්ගයේ වැස්සි පැටවුන් හෝ කිරි එළදෙනුන් මිලදී ගැනීමට පහසුකම් නැත.

විවිධ පොලී අනුපාත යටතේ බැංකු ණය ලබා ගැනීමට බැංකු කරා යන පිරිසට ලැබෙන උපදෙස් පරිදි වැස්සි පැටවුන්, කිරි එළදෙනුන් මිලදී ගැනීමට තැනක් නැත. මෙම ප‍්‍රශ්න නිසා කිරි නිෂ්පාදනයට අලූතින් පැමිණෙන තරුණයන් අසරණ වී තිබේ.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළවල් මගින් රටේ ජනතාවට අවශ්‍ය වැස්සි පැටවුන්, කිරිදෙනුන් සාධාරණ මිලකට ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කළ යුතු කාලය උදා වී ඇත. මේ සම්බන්ධයෙන් පශු වෛද්‍ය කාර්යාල හරහා දැනුවත් කිරීම් කළ යුතුව තිබේ.

කිරිපිටිවල මිල රුපියල් 540 දක්වා ප‍්‍රමාණයෙන් ග‍්‍රෑම් 400 පැකට්ටුවක මිල ඉහළ යෑමත් සමඟම ජනතාව දියර කිරි පානය කිරීමට ඉදිරිපත් වී සිටිති. මෙම ජනතාවට හිඟයකින් තොරව ‘දියර කිරි’ දිනපතා ලබා ගැනීමට හැකිවන පරිදි කිරි බහුල කිරීම රජයේ වගකීමක් ද වේ.

කිරිපිටි ආනයනය කළ එක්තරා කිරි සමාගමක් මේ වනවිට දියර කිරි පැකට්ටුවක් රුපියල් 300 ක මුදලකට දේශීය නැවුම් එළකිරි වශයෙන් ඉදිරිපත් කර ඇත. අනිකුත් සමාගම් ද එළකිරි දේශීය වශයෙන් එකතු කර වෙළෙඳපොළට ඉදිරිපත් කරනු ඇතැයි පාරිභෝගික ජනතාව විශ්වාසය පළ කරති.

දියර කිරි එකතු කිරීමට පැමිණෙන සමාගම්වලට අවශ්‍ය තරම් කිරි නැත. කිරි ලබාගැනීමට කළ යුත්තේ රටපුරා සිටින එළගවයින් දොළොස්ලක්‍ෂ තිස්දහසකට ආසන්න සංඛ්‍යාවෙන් කිරි ලබා ගැනීමට ගොවි මහතුන් උනන්දු කරවීමයි.

රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන පරිදි කිරි දෙනුන් දෙලක්‍ෂ පනස්දහසකට (250,000) ආසන්න පිරිසකගෙන් කිරි දොවා ගනු ලබන අතර වැඩි කිරි ප‍්‍රමාණයක් රට තුළ ඇතත් එය දොවා ගැනීමට ගොවියාට පහසුකම් සලසා දී නැත. රට තුළ සැඟවී ඇති මෙම කිරි සම්පත වැඩි වැඩියෙන් ලබාගැනීමට කිරි මිලදී ගනු ලබන සමාගම් ගොවීන්ට අතහිත දීමේ වැඩපිළිවෙළක් දියත් කළ යුතුව තිබේ.

සැඟවී ඇති කිරි සම්පත් ලබා ගැනීමේදී උසස් වර්ගයේ තෘණ වගා කිරීමටත්, සකස් කර ගන්නා ගව ආහාර දෙනුන්ට ලබාදීමට හැකිවන පරිදි කිරි ගොවීන්ට සහන මිලට ගව ආහාර ලබාදීමේ වැඩසටහනක් දියත් කළ යුතුව ඇත. කිරි එළදෙනුන්ට සැලකීමට ගොවීන් උනන්දු කිරීමත් සමඟම සැ`ගවී ඇති කිරි සම්පත රටට නෙළාගැනීමට හැකිවනු ඇත.

මෙම කිරි සම්පත ලබාගැනීමත් සමඟම කිරි ගොවියාට උදේ කිරිවලට වඩා සවස කිරිවලට වැඩි මිලක් ලබා දී කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කළ හැක. දේශීය වශයෙන් නැවුම් එළකිරි රට තුළ බහුල කොට ජනතාවට කිරි ලීටරය රුපියල් 150 ක පමණ මුදලකට සැපයීමට හැකියාව ඇත.

මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට රජය කළ යුත්තේ සියලූම දේශීය කිරි සමාගම්වලට අවශ්‍ය කිරි ප‍්‍රමාණය හඳුනාගෙන කිරි එකතු කිරීම සඳහා ගම් මට්ටමින් සමුපකාර කිරි සමිති පිහිටුවීමයි. එසේම එම කිරි සමුපකාර සමිති හරහා සමාගම්වලට අවශ්‍ය කිරි මිලදී ගැනීමට පහසුකම් සලසා දීමයි. කිරි මිලදී ගැනීමේදී විවිධ සමාගම්,

ගම්වලට ගොස් ගොවීන් භේද භින්න කර විවිධ තරග ඇති කර ප‍්‍රමිතියෙන් අඩු කිරි එකතු කිරීම සිදුවන මෙවන් අවස්ථාවක ගොවීන් දැනුවත් කර පිරිසිදු ගුණාත්මක තත්ත්වයෙන් උසස් කිරි පමණක් මිලදී ගැනීමට සමාගම් කටයුතු කළ යුතුව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්මට අනුව රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට නම් කිරි මිලදී ගැනීමේදී සමාගම් අතර පවතින තරගය නතර කර සමාගම්වලට එක් එක් පළාත් වෙන්කර දී ඒ පළාත්වල ගොවීන් සංවර්ධනය කොට කිරි නිපදවාගැනීම කළ යුතුව තිබේ. මේ තුළින් රටට සහ ජනතාවට අවශ්‍ය ගුණාත්මක උසස් තත්ත්වයේ කිරි නිපදවා ගැනීම පහසුවෙනවා ඇත.

කේ. වී. සී. ධර්මවර්ධන
ශ‍්‍රී ලංකා කිරි නිපදවන්නන්ගේ
සමුපකාර සමිති සංවර්ධන උපදේශක

advertistmentadvertistment
advertistmentadvertistment