කිරි අම්මාවරුන්ගේ දානය හරියටම තියන හැටි

5032

පත්තිනි දානය, කිරි අම්මා දානය, කිරි දානය, කිරි දේව දානය යන පර්යාය පද ගණනාවකින් විවිධ ප්‍රදේශවල හඳුන්වනු ලබන කිරි අම්මාවරුන්ගේ දානය පුරාණයේ සිට අද දක්වාම ලංකාව තුළ ඉතා ප්‍රචලිත බාරහාර ඔප්පු කිරීමකි. පත්තිනි මෑණියන්ගේ පිහිට, ආරක්‍ෂාව, රැකවරණය ලබා ගැනීමට බාර වී එම බාරය ඔප්පු කිරීමට කිරි දානය දීම සිදු කරයි. මුල් කාලීනව කුඩා දරුවන් උදෙසා මෙන්ම ගැබිනියන් උදෙසා කිරි දාන බාර වුවද අද මෙන්ම මෙය බාල, වැඩිහිටි, තරුණ, මහලු යන සියලුම වයස් මට්ටම්වල අය සඳහා ද බාර වීම දැකිය හැක.

පත්තිනි දේවිය උදෙසා දෙන කිරි දානය දෙවියන් විසින් නොසැදුව ද, දෙවියන් විසින් සාදනවා යැයි ජනප්‍රවාදයේ ඇති ‘දෙයියන්ගේ ලෙඩ’ එනම් සරම්ප, පැපොල, කම්මුල්ගාය, කක්කල්කැස්ස වැනි වෛරස් රෝග දුරුකර ගැනීමට මෙන්ම දරුවකු මව්කුස පිළිසඳ ගැනීමේ සිට දරුවා ප්‍රසූත කරන තුරු ඇති විය හැකි ලෙඩ රෝග සමනයට පත්තිනි දේවියට පුදනු ලබයි. ඊට අමතරව ආර්ථිකය යහපත් කර ගැනීමට වතුපිටි, ඉඩකඩම් ආරක්‍ෂා කර ගැනීමට, කුඹුරු ගොවිතැන් ආදිය සරුකර ගැනීමට, ඇස් වහ, කටහව, හෝවහ, අඬෝවැඬියා, වස්දොස් ආදී දෝෂ හරණයට, අමුනුෂ්‍ය බිය, අණවින, කොඩිවින හදිහූනියම් ආදිය නැති කර ගැනීමට මෙම පත්තිනි දේවිය උදෙසා දෙන කිරි දානය භාවිතා කරයි. අතැම් නිවෙස්වල චාරිත්‍රයක් ලෙස වසරක් පාසා කිරි දානය දීම ද දැකිය හැක. ඔවුන් එයින් නිවසට ශ්‍රියාකාන්තාව හෙවත් ලක්‍ෂ්මි දේවිය වැඩම කරවා ගැනීමට අපේක්‍ෂා කරයි.

කිරි අම්මා දානය, පත්තිනි දේවිය උදෙසාම පවත්වනුයේ පතිවෘත්තා බලය හේතුකොට ගෙනය. පුරාණයේ කිරිඅම්මා ලෙස පතිදම් රැකි පත්තිනි දේවිය හැරුණු කොට තවත් පතිදම් රැකි කිරි අම්මලා කිහිප දෙනෙකි. එනම් වෙල්ලස්සේ කිරි අම්මා, සලම කුමාරි කිරි අම්මා, කුකුලාපොළ කිරි අම්මා, උනාපාන කිරි අම්මා, හඳුන් කුමාරි කිරි අම්මා, ගෝනතලාවේ කිරි අම්මා, ඉඳිගොල්ලේ කිරි අම්මා, කොස්ගම කිරි අම්මා ලෙසයි. මොවුන් විවිධ ප්‍රදේශවල පූජනීය කොට සැලකූ අය වේ. පුරාණ පොතපත අනුව හඳුන් කුමාරි කිරි අම්මා හා සලම කුමාරි කිරි අම්මා ලෙස හැඳින්වූයේ පත්තිනි දේවියම බව ද සඳහන්ය. ජනප්‍රවාදවලට අනුව කුකුලාපොල කිරි අම්මා කුවේණිය ලෙසත්, කොස්ගම, කිරි අම්මා කොස්ගම දෙවිඳුන්ගේ දේවිය බවත් කියැවේ.

කිරි අම්මා දානය සඳහා සහභාගි විය යුත්තේ පාතිවෘත්තාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රකින, ළඟදී දරුවන් බිහිකළ කිරි දෙන මව්වරුන්ය. එහෙත් අද නූතනයේ ළඟදී දරුවන් බිහිකළ මව්වරු සොයා ගැනීමේ අපහසුව නිසා දරුවන් සිටින වැඩිහිටි හෝ මහලු කාන්තාවන් මේ සඳහා සහභාගි කර ගනී. නමුත් එය සාර්ථක ක්‍රියාවක් නොවන බව ද දත යුතුය. එක් කිරි අම්මා කෙනකු එක් පත්තිනි දේවිය බැගින් නියෝජනය කරයි. එලෙස පත්තිනි දේවියන් 7 දෙනකු කිරි අම්මාවරු 7 දෙනා නියෝජනය කරයි. ඒ නිසාම මෙම කාන්තාවන් චරිතය යහපත් අය විය යුතුයි. එලෙස නියෝජනය වන පත්තිනි දේවීන් 7 දෙනා මෙසේය. සිද්ධ පත්තිනි, සලඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිනි හා සත් පත්තිනි ලෙසය.

කිරි අම්මා දානයට සහභාගි වන කාන්තාවන් පතිවෘත්තාව රකින අය වනවා සමගම දරුවන් ඇති ස්වාමි භාක්තිය ඇති හා ආගමනුකූලව ජීවත් වන අය ද විය යුතුයි. කිරි අම්මා දානයට කිසිසේත්ම සහභාගි නොවිය යුතු පිරිසක් ද පුරාණ පොත පතේ සඳහන්ය. ඒ අතර ඉතා මහලු, හැරමිටියෙන් යන ස්ත්‍රීන්, සුවකළ නොහැකි රෝගවලින් පෙළෙන ස්ත්‍රීන්, අන්ධ, බිහිරි, ගොළු ස්ත්‍රීන්, වැන්දඹු ස්ත්‍රීන්, අංගවිකල ස්ත්‍රීන්, වඳ ස්ත්‍රීන්, අංශභාග හෝ අපස්මාර රෝගීන් මත්ද්‍රව්‍ය භාවිතා කරන ස්ත්‍රීන්, මස් මාංශ විකුණන ස්ත්‍රීන්, නිතර දබර කරන ස්ත්‍රීන්, කේලාම් කියන ස්ත්‍රීන්, ගණිකා වෘත්තියේ යෙදෙන ස්ත්‍රීන්, අවිවාහක ස්ත්‍රීන්, අශුද්ධ ස්ත්‍රීන් ප්‍රධාන තැනක් ගනී.

කිරි අම්මා දානයෙන් පිදුම් ලබන පත්තිනි දේවිය විවිධ පර්යාය නම් රැසකින් හඳුන්වනු ලබයි. ඒ අතර කලඹ කුමාරි, හඳුන් කුමාරි, සිරිමා පත්තිනි, මහා පත්තිනි, කන්නතී, කනක බිසෝ, අම්මා දේවී, මා පත්තිනි, අඹ දේවි, ජානකී, පද්මිණී යන නම් ප්‍රධාන වේ. මුල්කාලීනව සිද්ධ පත්තිනි දේවිය 12 වතාවක් මෙලොව උපන් නිසාවෙන් කිරි අම්මා දානයට කිරි මව්වරු 12 දෙනෙක් සහභාගි කරගත් අතර පසුකාලීනව සත්පත්තිනි මෑණියන් 7 වරක් මෙලෙව උපන් නිසාවෙන් කිරි මව්වරු 7 දෙනෙක් සහභාගි කර ගත්හ.

රූපශ්‍රියාවෙන් අති සුන්දර දෙවඟනක් වන මහා පත්තිනි දේවිය උදෙසා දෙන කිරි දානය දීමට මුලින්ම දිනයක් තෝරා ගත යුතුයි. ඒ සඳහා පුර පාර්ශ්වයේ කෙම්මුර දිනයක් වන බදාදා හෝ සෙනසුරාදා දිනයක් විය යුතුයි. දානය දීම සඳහා නිවැසියන් පේවිය යුතුයි. පේවීම අමාවක පසුවී දින 3 ක පටන් සතියක පමණ කාලයක් කළ යුතුය. මෙම සතියක කාලය තුළ කිලි කුණුවලින් තොර වීම ද අනිවාර්ය වේ.

කිරි අම්මාවරුන්ගේ දානය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා පූජා භාණ්ඩ ලෙස බුලත් කොළ 7, මැටි පහන් 7, පහන් තිර 7, පඬුරු 7, බුලත් විට 7, කපුරු පැකට් 1, කිරිබත් කෑලි 49 ක්, කැවුම් 49 ක්, කෙසෙල් ගෙඩි 49 ක්, කිරියා කෑලි 49 ක්, කෝපි කෝප්ප 7 ක් දැක්විය හැක. වැඩිදුරටත් විවස්තර කළහොත් කැකුළු හාල් කිලෝ 7 ක කිරිබත්, කිලෝ 2 ක හාල් කිරියා, කිලෝ 2 ක කැවුම්, කෙසෙල් ගෙඩි 49 ක්, කිතුල් හකුරු කෑලි 7 ක්, කෙසෙල් කොළ 7, කිරි අම්මාවරු දානය ගත්පසු ඉතිරි කෑම රැගෙන යෑමට ලොකු බෑග් 7 ක් ලෙසය.

දානයට අවශ්‍ය කැවිලි පිළියෙල කිරීමට ප්‍රථම අඩුක්කු වෙන්කර පොල් ගහක කොළ බැඳ කිරි අම්මලාට දානයක් දෙන බවට පොරොන්දු වී පඬුරක් බැඳ දිනයක් වෙන්කර බාරවෙයි. පසුව බුලත් දී කිරි අම්මලා 7 දෙනකු වැඩම වීමට ආරාධනා කරයි. දාන දීමට කොළ බැඳි පොල් ගහේ ගෙඩි කඩාගෙන නොයිඳුල් තෙල් හිඳ කැවුම් ප්‍රධාන කොට සාදන කැවිලි සියල්ල කිරි දානයට දිනකට පමණ පෙර සාදා ගනු ලබයි. ඒ අතර කිරියා කෑලි ද ප්‍රධාන වේ. කිරි අම්මා දානය පැවැත්වීමට පෙර දින එළිමහනේ කැවිලි පිළියෙල කළ යුතු අතර නිවසේ ඇති මකුළුදැල් කඩා නිවස සෝදා පිරිසිදු කර ගත යුතුය. සෝදා ගත් නිවසට සඳුන් හා පොල් කිරි මිශ්‍ර කර සඳුන් කිරි පැන් සාදා කුඩා අඹ හෝ දෙහි අත්තකින් නිවස පුරා ඉසීම සිදුකරයි. ඉන්පසු කට්ටකුමංජල් දුම් ඇල්ලීම ද සිදුකරයි. සඳුන් කිරි පැන් ඉසීම හා කට්ටකුමංජල් දුම් ඇල්ලීම නිවස තුළ පමණක් නොව මුළු වත්ත පුරාම ද කළ යුතුයි. මෙසේ සිදුකළ පසු නිවස ඉදිරිපිට මල්පැලක් ද නිවස තුළ මල්යහනක් ද සෑදීම සිදුකරයි. එළිමහනේ සෑදු මල්පැලේ කෙසෙල් කොළයක් එලා ඒ මත බුලත් කොළ 7 ක් අතුරා මල්, පහන්, හඳුන්කූරු තබයි.

ගෙයි සාදන මල්යහන පුටුවක ගොක් කොළවලින් සරසා ඒ තුළ කෙසෙල් කොළයක් අතුරා බුලත් කොළ 12 ක් අතුරනු ලබයි. ඊට සමන් මල් කැකුළු, ඊතණ, හෙල අබ, සුනුසහල්, විලඳ යන දෙයින් සුසැදි ලදපස්මල් හා පිනිදිය ඉසිනු ලබයි. ඉන්පසු කපුරු, සුවඳ දුම් අල්ලා පත්තිනි දේවිය උදෙසා ගැටගැසූ බාරය ද එහිම තැන්පත් කරයි. නිවසෙන් පිට හා නිවස තුළ සාදන මල්පැල හා යහන ඊසාන දිශාවේ හෝ උතුරු දිශාවේ සෑදිය යුතු අතර නිවසේ හෝ ඉඩමේ බ්‍රහ්ම පාදයට හසුනොවිය යුතුයි.

කිරි අම්මාවරු සුදු ඇඳුමින් සැරසී එක පෙළට අදාළ නිවසට පැමිණේ. එසේ එන පළමු කිරි අම්මා අතේ පත්තිනි දේවියගේ රූපයක් වේ. එක පෙළට පැමිණෙන කිරි අම්මාවරු 7 දෙනා අදාළ නිවසේ ගේට්ටුව ළඟ නැවතී නායක කිරි අම්මා දානයට පැමිණි බව කවියෙන් දැනුම් දෙයි. එවිට ගෙහිමියන්ගෙන් කෙනෙක් සුදු මල් වට්ටියක් රැගෙන කිරි අම්මාවරු වෙතට ගොස් මල් වට්ටිය දී කිරි අම්මාවරු දානයට පිළිගනී.

ඉන්පසු කිරි අම්මාවරු වට්ටියේ ඇති මල් මිදුලට දමමින් ගමන් කරයි. අවසන් කිරි අම්මා වට්ටියේ ඇති සියලුම මල් බිම දමා පා සෝදන ස්ථානයට පැමිණේ. පා සේදීමට කහ හා දෙහි දියකළ වතුර බේසමක් ගෙට ඇතුළු වන තැන තැබිය යුතුය. මෙම කාර්යය සඳහා කුඩා දැරියක් තෝරා ගත යුතුයි. කොළ බැඳි පොල් ගහෙන් කපාගත් පොල් අත්තකින් වියූ ගොක් අතු කැබැල්ලක් උඩදී කුඩා දියණිය එම කිරි අම්මාවරු 7 දෙනාගේ පා දෝවනය කරනු ලබයි. පා දෝවනය කළ ස්ථානයේ සිට වාඩිවීම සඳහා සුදු රෙදි එලා තිබෙන පැදුර වෙත පැමිණීම සුදු පාවඩයක් මතින් සිදුවේ.

පහන්පැල හා යහන තුළ ආහාර තැන්පත් කිරීම මීළඟ කාර්යයයි. එහිදී එළියේ ඇති පහන්පැලේ මල්, සුවඳ දුම්, පහන් ආදිය දල්වා සැදූ කිරිබත් ප්‍රමුඛ සියලුම කැවිලි වර්ග තබා බුද්ධ පූජාව තබනු ලබයි. ගෙතුළේ ඇති යහනේ නායක කිරි අම්මා වඩම්මවාගෙන ආ පත්තිනි දේවියගේ රූපය තබා පත්තිනි දේවියට පූජා තබනු ලබයි. පත්තිනි දේවියගේ පූජාවට තබන ද්‍රව්‍ය සම්මතයේ සඳහන් වන පරිදි මෙසේය. ලදපස්මල්, අඩි 6 ක් දිග මල් මාලා 7 ක්, හත්මාලුවක්, පලතුරු පූජාව ලෙස හොඳින් ඉදුණු සුවඳ හමන පලතුරු වර්ග 7 ක්, කළු උක්, කෙසෙල්, අඹ, බෙලි, ඇස්ස කැපූ තැඹිලි ගෙඩියක්, කැවිලි පූජාව සඳහා නොයිඳුල් කිරිබත් කෑලි, කිරියා කෑලි, අග්ගලා, කැවුම්, කෙසෙල්,  තල කැරලි, මුං කැවුම් ආදියෙන් එක් වර්ගයකින් කෑලි 7 බැගින් තැබීම සිදු කරයි.

බුදුන් උදෙසා හා දෙවියන් උදෙසා පූජාව තැබූ පසු කිරි අම්මාවරු දානය පිණිස සුදු රෙදි එලූ පැදුර මත වාඩිවේ. එවිට ඔවුන් 7 දෙනා ඉදිරියෙන් කෙසෙල් කොලය බැගින් තබා මුලින්ම කිරිබත් බෙදනු ලබයි. ඉන්පසුව කැවුම් 7 ක්, හාල් කිරිය කෑලි 7 ක්, කෙසෙල් ගෙඩි 7 ක්, හකුරු කැබැල්ලක්, බුලත් විටක් හා පඬුරු බෙදීම සිදුකරයි. ආහාර වළඳා අවසානයේ කෝපි කෝප්පයක් දීම ද සිරිත වේ. ඉන්පසු කිරි අම්මා දානය පැවැත්වෙන විට කිරි අම්මාවරුන් විසින් උස පොල්තෙල් පහනකට තිර 7 ක් දමා දල්වනු ලබයි. මෙහි එක් තිරයක් එක් කිරි අම්මා බැගින් දල්වනු ලබයි. එම දැල්වූ පහන්, දානය අවසානයේ කිරි අම්මාවරුන් නිවෙස් බලා යෑමේදී කිරි පීරිසියක දමා නිවා දමයි.

කිරි අම්මාවරු දානයට පැමිණ කරන වත්පිළිවෙත්වල ද අනුපිළිවෙළක් ඇත. මුලින්ම කිරි අම්මාවරුන් කරනුයේ සත්පත්තිනි පහනේ තිර 7 දැල්වීමය. එය එක කිරි අම්මා කෙනකු එක් තිරයක් බැගින් කිරි අම්මාවරු 7 දෙනා තිර 7 දල්වයි. මෙය ඇතැම් ප්‍රදේශවල මැටි පහන් 7 ක් ලෙස දල්වා කිරි අම්මා වාඩිවී සිටින පැදුරේ ඉදිරියෙන් තබා ගනී. ඉන්පසු දෙවනුව කරනුයේ හඬනඟා පන්සිල් ගැනීමයි. ඉන්පසු පත්තිනි හෑල්ලේ කවි ගායනා කරයි. දානය වැළඳීම සිදුකරන්නේ ඉන් පසුවයි. ගාථා කියා දෙවියන්ට වැඳීම දානය ගැනීමෙන් පසු සිදුකරන ප්‍රධාන කාර්යයයි. ඉන්පසු සත්පත්තිනි පහනේ ඇති තමාට අදාළ තිරය බැගින් ගෙන කිරි අම්මාවරු හත්දෙනාම ගෙදර සිටින සියලුදෙනාගේ හිසේ සිට පාදාන්තය දක්වා එම තිරය ගෙනයමින් සෙත් පැතීම සිදු කරයි. ඉන්පසු එම දැල්වෙන තිර, පොල් කිරි භාජනයට දමා නිවා දමයි. ඉන්පසු තමාට බෙදූ ආහාරවල ඉතිරියක් ඇත්නම් ඒවා එකතුකර මල්ලක දමාගෙන කිරි අම්මාවරු 7 දෙනා පිටුපස නොබලා තම තමන්ගේ නිවෙස් කරා එක පෙළට ගමන් කරයි. කිරි අම්මා දානයේ සියලු කටයුතු මිනිත්තු 50කට අඩු කාලයක් තුළ සිදුවිය යුතු බව ද දත යුතුය. තවද කිරි අම්මා දානය පාන්දරම දී පාන්දරම ඉවර කළ යුතුය.

කිරි අම්මා දානයෙන් පසු ගෙතුළ සැදූ මල්යහන ඉදිරිපිට කිරි ඉතිරවීම සිදුකරයි. ඒ සඳහා නැවුම් ගඩොල් කැට 3 ක්, නැවුම් මුට්ටියක් හා එළකිරි යොදාගනී. දහනය සඳහා සඳුන් දර, රත්හඳුන් දර, කුරුඳු දර වැනි සුවඳ හමන දර වර්ගයක් භාවිත කරයි. ළිප දල්වා එළකිරි පිරුණු මුට්ටිය ළිප මත තැබූ පසු ළිප ඇවිලීමට කටින් පිඹීම සිදු නොකළ යුතුයි. ඒ සඳහා වෙනත් උපකරණයක් භාවිතා කළ යුතුයි. කිරි උතුරවා

අවසානයේ එම කිරි ද දෙහි අත්තක් ආධාරයෙන් ගෙයි හා වත්තේ ඉසීම සිදු කරයි. ඇතැම් ප්‍රදේශවල එම ඉතිරි කිරි, මුට්ටියේ කට බැඳ ගෙයි මැද ප්‍රධාන බාල්කයේ එල්ලීම ද සිදුකරනු දැකිය හැක.

කිරි අම්මා දානය අවසානයේ ඉතිරි වන කැවිලි කිරිබත්, කෙසෙල් ආදිය අසල්වාසී නිවෙස්වලට දීම සිරිතයි. එහිදී ධන ධාන්‍යවලින් පොහොසත්, නිරෝගී පුද්ගලයන් ජීවත්වන, ගුණවත්, සිල්වත් මිනිසුන් සිටින නිවෙස්වලට දීමෙන් බොහෝ සෙතක් හිමිවේ යැයි මතයයි. අපලයකට උපද්‍රවයකට කිරි දානය දුනි නම් එයින් ඉතිරි වූ කැවිලි වැඩි දෙනකුට බෙදා දීමෙන් එම අපල උපද්‍රවයේ ඇති අශුභ ඔවුන් සමග බෙදී ගොස් අපල හිමියාට මහත් සහනයක් උදාවනු ඇත. එනිසා කිරි දානයේ ඉතිරිය වැඩි පිරිසකට බෙදා දීමට වගබලා ගන්න.

කිරි අම්මා දානයේ චාරිත්‍ර වාරිත්‍ර ප්‍රදේශයෙන් ප්‍රදේශයට සුළු වශයෙන් වෙනස් වේ. සෙත් ප්‍රාර්ථනා කිරීමේදී දෙවියන්ට පිං දීමේදී දේව කන්නලව් කිරීමේදී ගායනා කරන ස්තෝත්‍රවල වෙනස්වීම් දැකිය හැක. තවද යාදින්න කවි, ආරාධනා කවි, කිරි ඉතිරවීමේ කවි, පහන් නිවීමේ කවි, ජය පිරිත, මළගිය ඥාතීන්ට පිං දීම්, දෙවියන්ට පිං දීමේ ගාථා, සෙත් සාන්ති කවි, නවග්‍රහ ලග්න සඳහා කවි ආදිය කිරි අම්මා දානයේදී කිරි අම්මාවරු විසින් ගායනා කරයි. මෙම කවිවල ද සුළු සුළු වෙනස්කම් ප්‍රදේශ අනුව දැකිය හැක.

කිරි අම්මාවරුන්ගේ දානය පිළිබඳව හරියාකාරව නිවැරදිව දැනගෙන පත්තිනි දේවියට ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව කිරි අම්මා දානය සිදුකර සෙතක් ශාන්තියක්, යහපතක්, ආශීර්වාදයක් ලබා ගන්න.

කිරි අම්මාවරුන්ගේ දානය හරියටම තියන හැටි

ජ්‍යොතිර්වේදිනී, දේශබන්ධු ආචාර්ය මංජුලා  පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
දුරකතන අංකය 077-9282653

advertistmentadvertistment
advertistmentadvertistment