කිරි කතාව

1756

කෙටි කාලයක් තුළ කිරි පිටි මිල ඩබල් විය. මේ වන විට කිරි පිටි කිලෝවක් රුපියල් 2000 තෙක් ඉහළ නැග තිබේ. කිරි තේ කෝප්පයක් ඊයේ වන විටම රුපියල් 100 දක්වා මිල වැඩිවී තිබිණ. මේ මිල ඉහළ යෑම අතරතුර ඉතා විශිෂ්ට පෝෂණ වේදියෙක් බිහිවිය. ඔහුගේ නම ඞී. බී. හේරත් ය. පශු සංවර්ධන සහ බිත්තර පිළිබඳ රාජ්‍ය ඇමැති වූ හෙතෙම කිරි පිටි සම්බන්ධයෙන් කදිම දේශපාලන අර්ථකථනයක් ඉදිරිපත් කර ඇත. ඒ මෙසේයත කිරි පිටි යනු දියර කිරිවල ඇති පෝෂ්‍ය කොටස් ඉවත් කර වියළා සාදන ලද සුදු පාට කුඩකි. දියර කිරි, පිටි කිරි බවට පත් කිරීමේදී එහි ඇති ප්‍රෝටීන් වෙනුවට මෙලමයින් එකතු කරනු ලැබේ. මේදය වෙනුවට පාම් ඔයිල් එකතු කරනු ලැබේ. ඉවත් කරන පෝෂ්‍ය කොටස් වෙනුවට වෙනත් රසායනික ද්‍රව්‍යය කිරි පිටිවලට එකතු කරනු ලැබේ. එම රසායනික ද්‍රව්‍යය ශරීරයට හානිකරය. ඒ නිසා අප දියර කිරි පානයට පුරුදු විය යුතුය.

 ඉහත සඳහන් ප‍්‍රකාශය මගින් පශු සම්පත් ඇමැතිතුමා පශු සම්පතක්ම බවට පත්වේ. එකම පුරස්නය වන්නේ එතුමා වෙතින් දියර කිරි ලබා ගැනීමට නොහැකි වීමත් එබැවින් ඞී. බී. හේරත් බ‍්‍රෑන්ඞ් එකේ කිරි පිටි පානය කිරීමට අවස්ථාව අපට නොලැබීමත්ය. කිරි පිටි මිල ඉහළ නගින හැම අවස්ථාවකම එම මිල පහළ හෙළීම වෙනුවට දේශපාලනඥයෝ මෙවැනි විකාර කතා පවසති. කිරි පිටි යනු දියර කිරි තරම් හොඳ දෙයක් නොවේ. එය තනිකරම ඇත්තය. එහෙත් හැම ගෙදරකම හරක් පට්ටියක් පවත්වාගෙන යෑමට බැරි නිසාත් ඝර්ම කලාපීය රටවල ඇතැම් අයට දියර කිරි පානය කළ පසු බඩ යන නිසාත් දියර කිරි නිෂ්පාදන අතිරික්තය තවත් කල් තබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු සුදුසුම ක‍්‍රමය ඒවා පිටි බවට පත් කිරීම නිසාත් කිරි පිටි කර්මාන්තය බිහිවිය. කිරි පිටි ඒකාධිකාරය යනු වෙනම ත‍්‍රස්තවාදී සීන් එකකි. කිරි පිටි වලට මෙලමයින් එකතු කිරීම එම සීන් එකේම තවත් පැත්තකි. කිරි පිටි වලට මෙලමයින් එකතු කිරීම නිසා මෙයට අවුරුදු පහළොවකට පමණ පෙර ආසියානු ජන සමාජයේ විශාල අර්බුදයක් ඇතිවිය. ඒ කතාව මෙසේය. චීනයේ ඇතැම් ගොවිපළවල ව්‍යාජ කිරි නිෂ්පාදනය කරනු ලැබේ. මේ ව්‍යාජ කිරි නිෂ්පාදනය කිරීමට ඇල් වතුර සහ සුදු පාට ඩයි එකක් යොදාගැනේ. එහෙත් කිරි මිලට ගන්නා සමාගම් මෙවැනි සුදු පාට වතුර මිලට නොගනිති. කිරිවලට වතුර මිශ‍්‍ර කර ඇත්ද යන්න දැන ගැනීම සඳහා දියර කිරි මිලට ගන්නා කිරි එකතු කරන සමාගම් එම කිරි බඳුන්වලට කුඩා මීටර් පොල්ලක් ඔබා බලති. කිරි වලට වතුර මිශ‍්‍ර කළ විට එහි ඝනත්වය අඩු වන බැවින් මීටර් පොල්ලට එම හොරය අසුවේ. මේ නිසා චීන ගොවියන් කළේ සුදු පැහැය එකතු කළ දියරයට රසායනික ද්‍රව්‍යක් මිශ‍්‍ර කිරීමය. මෙවිට සැබෑ කිරිවල ඝනත්වය එකී ව්‍යාජ කිරිවල හටගනී. ව්‍යාජ කිරි නිෂ්පාදකයෝ මෙයින් නවතින්නේ නැත. ඔවුන් කැල්සියම් ද එළවළු තෙල්ද සුදුසු ප‍්‍රමාණ වලින් ව්‍යාජ කිරි වලට එකතු කර යන්ත‍්‍රානුසාරයෙන් මිශ‍්‍ර කරති. ඊළඟට මෙලමයින්ද එකතු කරති. එවිට එම ව්‍යාජ කිරිවල ප්‍රෝටීන් තිබෙන බවක් පෙනීයයි. එතැන් සිට ව්‍යාජ එළකිරි සහ හොඳ එළකිරි අතර වෙනස හඳුනාගැනීමට බැරිය. ඉන්පසු එම ව්‍යාජ කිරි මිලට ගන්නා කිරි එකතු කරන සමාගම් ව්‍යාජ කිරි සහ හොඳ කිරි යන දෙකම මිශ‍්‍රකර කිරිපිටි සාදති. පැය 24 ක් ගතවන විට සැබෑ කිරි නරක් වෙයි. එහෙත් දහ අවුරුද්දක් තැබුවත් ව්‍යාජ කිරි නරක් වන්නේ නැත. එසේම ව්‍යාජ කිරි පානය කිරීමට හැර යෝගට් හෝ චීස් නිපදවීමට යොදාගත නොහැක. මෙලමයින් ශරීරයට ගිය විට පිළිකා ඇති කරයි. පශු සම්පත් හා බිත්තර ඇමැතිතුමා හදිසියේම අවදි වී කිරිපිටිවලට විරුද්ධව කතා කරන්නේ කිරිපිටි මිල ඉහළ යෑමේ අපවාදයෙන් ආණ්ඩුව බේරා ගැනීමටය. කෙසේ වුවද කිරි පිටි වලින් ඉවත්විය යුතු බවට ඇමැතිතුමා දරන මතවාදය අපි අගය කරමු. කිසිම ක්ෂීරපායි සතෙක් ළදරු විය ඉක්මවූ පසු කිරි නොබොන බවත් එසේ කිරි බොන එකම සතා මිනිසා පමණක් බවත් කියන කිරි විරෝධීහු අප අවට ඕනෑ තරම් සිටිති. එහෙත් කිරි නමැති සාධකය මනුෂ්‍ය සමාජයට මුසුවීම පිළිබඳ පුවත ඔවුන් කියන්නේ නැත. කිරි යනු ශිෂ්ටාචාරය සමග ඉදිරියට පැමිණි දියර විශේෂයකි. මෙයට අවුරුදු දස දහසකට පෙර භාගෙට හෙළුවෙන් සිටි මිනිස් සමාජය පවා වැඩිහිටියන් වූ පසුද කිරි පානය කළහ. මනුෂ්‍යයා ක‍්‍රමයෙන් දියුණු වීමත් සමගම කිරි වීදුරුවක ඇති පෝෂ්‍ය ගුණය විද්‍යාත්මකව අවබෝධ කරගන්නා ලදී. දියුණු වූ මනුෂ්‍යයා තවදුරටත් තිරිසනෙක් නොවීය. තිරිසනුන් මෙන් මීයන් කටුස්සන් ගෙම්බන් වැනි සතුන් පණ පිටින් අල්ලා බොකු බඩවැල් සමගම අනුභව කර ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන සහ කැල්සියම් ලබා ගැනීමට ඔවුනට බැරිවිය. ඒ සමගම කිරි නමැති සාධකය ජන සංස්කෘතිය හා බැඳෙන්නට විය. මිනිස්සු සෑම වැදගත් අවස්ථාවකටම එළ කිරි, එළු කිරි, ඔටු කිරි වැනි කිරි වර්ග පාවිච්චි කිරීමට පටන් ගත්හ. කිරි නිෂ්පාදනය කර්මාන්තයක් වශයෙන් දියුණු වූ පසු අතිරික්ත කිරි කල් තබා ගැනීමටත් පහසුවෙන් ගබඩා කිරීමටත් යෝග්‍යතම ක‍්‍රමය කිරි වලින් පිටි සෑදීම බව මිනිස්සු අවබෝධ කරගත්හ. එය තාක්ෂණයේ දියුණුව සමග සමපාත වූ ක‍්‍රියාවලියකි. දියර කිරි, පිටි බවට පත් කිරීමේදී එහි ඇති විවිධ පෝෂ්‍ය පදාර්ථ විනාශ වන නිසා ඒවා පිටතින් එකතු කළ යුතුය. විශේෂයෙන්ම ප්‍රෝටීන් සහ කැල්සියම් මෙසේ එකතු කරනු ලැබේ. ඊට අමතරව වාණිජ පරමාර්ථ සාර්ථක ගැනීම සඳහා ස්වභාව ධර්මය විසින් අසාවත් නැති විටමින් වර්ගද කිරි පිටි වලට දමනු ලැබේ. කිරි පිටි ව්‍යාපාරය යනු හෙරොයින් ව්‍යාපාරය වැනි මාරක තරගයක් ඇති දරුණු ව්‍යාපාරයකි. දොස්තරලා කුලියට ගැනීම කිරි පිටි සමාගම්වලට ඉතා පහසුය. හැබැයි කිරි පිටි ඉහළ යන මේ වෙලාවේදී මේ කිසිදු කතාවකින් වැඩක් නොවේ. අවශ්‍ය එකම කාරණය ජනතාව අතට ලාබෙට කිරි පිටි ලබා දීමය.

advertistmentadvertistment
advertistmentadvertistment