කිරි ගෙදරින් ලොව ජයගත් රන් කිරිල්ලිය  

248

හබරණ තිබලව ප‍්‍රදේශයේ කිරි ගෙදරක් වේ. ඒ කිරි ගෙදර වෙසෙන්නෝ සමරකෝන්ලා වෙති. කොළඹ පැලැන්තියට කිරි ගෙදර අමුත්තක් වුවද හබරණට, තිබලවට කිරි ගෙදර ආභරණයකි. ඔවුන් එය ආභරණයක් කර ගත්තේ දිවි ගැට ගහ ගැනීමටය.වසරේ වැඩි කාලයක් නියං සායට හසුව කර්කශ වන ඒ කටුක බිම තුළ කිරි හරක් ඇති කර ඉන් ලැබෙන කිරි විකුණමින් සිය දරුවන් පෝෂණය කළ සමරකෝන් යුවළට ආභරණයක් වූ තවත් දෙයක් විය. ඒ ශ‍්‍රීමාලි සමරකෝන් නම් තම මද්දුම දියණියයි.ඇය එම නිවසට සහ හබරණට මතු නොව මුළු රටටම ආභරණයක්, ආඩම්බරයක් වූවාය.ශ‍්‍රීමාලී සමරකෝන් නම් මේ බර උසුලන්නිය දිවයින ඉරිදා සංග‍්‍රහයේ මීව්ත සමග මෙසේ සංවාදයට එක් වූයේ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියට සුදුසුකම් ලැබීමත් සමගය.

 ”මගේ ජීවිතේ තිබුණු ලොකු බලාපොරොත්තුත් තමයි පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම.

 සිංගප්පූරුවේ දී පසුගිය දා පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේදි මම රන් පදක්කමක් දිනා ගත්තා. ඒ ජයග‍්‍රහණයත් සමඟ පොදු පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබන්න සමත් වුණා.ලබන ජුලි මස එංගලන්තයේ බර්මින්හැම් නුවර දී තමයි තරගාවලිය පැවැත්වෙන්නේ.” ශ‍්‍රීමාලි අප සමඟ දොඩමළු වූයේ එසේය.
 පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ ශ‍්‍රීමාලී කිලෝ ග‍්‍රෑම් 45 බර පන්තියේ ශ‍්‍රී ලංකා වාර්තාව දරන්නීය. එසේම 2012 වසරේ සිට 2018 වසර දක්වා සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වෙ රන් පදක්කම් ලාභිනිය මෙන්ම දක්ෂතම ක‍්‍රීඩිකාව වන්නේද ශ‍්‍රීමාලි සමරකෝන් වේ. ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ ද ශ‍්‍රිමාලි සමරකෝන් නම රනින් බැබළෙන්නීය. එම ක‍්‍රීඩා උළෙලේ රන් පදක්කම් සහ රිදී පදක්කම් ලාභිනියක් වන ශ‍්‍රීමාලි සමත් වූයේ යකඩ බර දැරීමට පමණක් නොව. ලක්ෂ සංඛ්‍යාත පාසල් දරු දැරියන්ගේ සිහිනයක්වන සරසවි වරම් උරුම කර ගැනීමට ද ඇය සමත් වන්නීය. යකඩ බර දරමින් ජීවිතයේ බර සැහැල්ලූ කර ගැනීමට අප‍්‍රමාණ වෙහෙසක් දැරූ ශ‍්‍රීමාලි ඒ අතර වාරයේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්නේ බර ඉසිලීමට මෙන්ම අධ්‍යාපනයටද ඈ තුළ ඇති නිසග හැකියාව ඔප්පු කරමින්ය.

කිරි ගෙදරින් ලොව ජයගත් රන් කිරිල්ලිය  



 ”මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක‍්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණ විෂයය හදාරමින් සිටිනවා.දැන් දෙවන වසරේ ශිෂ්‍යාවක්. මහනුවර මහමායා විද්‍යාලයෙන් තමයි මම උසස් පෙළ සමත්වෙලා සරසවියට සුදුසුකම් ලැබුවේ. මගේ මුල්ම පාසල වුණේ හබරණ මහා විද්‍යාලය. 2010 වසරේදී තමයි මම බර ඉසිලීමට යොමු වුණේ. ඒ වනවිට මම හබරණ ඉස්කෝලෙදි වොලිබෝල්, මලල ක‍්‍රීඩා වගේ ක‍්‍රීඩාවන් සිදු කරමින් සිටියා. බර ඉසිලීමක් ගැන දැන ගෙන සිටියේ වත් නැහැ.”

 හබරණ මහා විද්‍යාලයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නොදැන සිටි බර ඉසිලීම එම පාසලට ගෙන ආවේ නදීක බණ්ඩාර ගුරු මහතාය. දුවමින්, පනිමින්, වොලිබෝල් ගසමින් සිටි ශ‍්‍රීමාලි බර ඉසිලීමට යොමු වන්නේ නදීක බණ්ඩාර මහතා ගේ මඟ පෙන්වීම මත ය.

 ”නදීක සර් තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය. ඔහු නැත්නම් බර ඉසිලීමේ ශ‍්‍රී ලංකා වාර්තා ලාභිනි ශ‍්‍රිමාලි සමරකෝන් කෙනෙක් නැහැ.අලූත් ගේම් එකක් විදිහට ඉස්කෝලෙට ආපු බර ඉසිලීමේ ක‍්‍රීඩාවට සම්බන්ධ වුණු ළමයි අතරට මමත් එකතු වුණා. ටික දවසකින් මට තේරුණා මම ඒ ක‍්‍රීඩාවට දක්ෂයි කියලා. ඒ නිසා මම දිගින් දිගටම පුහුණුවීම් වලට ගියා. බර ඉසිලීම කියන්නේ කෙල්ලන්ට නොගැලපෙන ක‍්‍රීඩාවක් කියලා අපේ අයියා මුලින් විරුද්ධ වුණා. ඒත් අම්මයි තාත්තයි නං මට විරුද්ධ වුණේ නැහැ. ඒගොල්ලො කිව්වේ දුව දක්ෂයි. දුවට කැමති දෙයක් කරන්න ඉඩ දෙන්න ඕනා කියලා. පසුව අයියගේ විරෝධතාවයක් නැති වුණා.”

 කිරි ගෙදර උපන් ශ‍්‍රීමාලි කනිෂ්ඨ පාසල් ක‍්‍රීඩා උළෙලේ දක්ෂතම ක‍්‍රීඩිකාව වෙමින් සිය දෙමව්පියන්ගේ සිතුම් පැතුම් පළමුවරට මල් දරන්නීය. ඒ දක්ෂතා මත 2015 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක‍්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබන ශ‍්‍රීමාලී එහිදී රිදී පදක්කමක් දිනා ගනිමින් ශ‍්‍රී ලංකා බලාපොරොත්තු ඉටු කරන්නීය. සැවොමා රාජ්‍යයේදී පැවති එම තරගාවලියට සුදුසුකම් ලබමින් සිටිය දී ශ‍්‍රීමාලි ගේ ජීවිතයේ තවත් කඩ ඉමක් සනිටුහන් විය. හබරණ මහා විද්‍යාලයට එම වසරේදී සමුදුන් ශ‍්‍රීමාලි සිය ගුරුවරයා සමග මහනුවර මහමායා විද්‍යාලයට ප‍්‍රවේශ වන්නීය.

කිරි ගෙදරින් ලොව ජයගත් රන් කිරිල්ලිය  



 ”සර්ට මහනුවර මහමායා විද්‍යාලයට මාරුවීමක් ලැබුණා. මමත් සර් එක්ක පාසල මාරු කරා. තවමත් සර් ළඟ ඉන්නේ. මින් තමයි මම පුහුණුවීම් කරන්නේ. ඉන්පසුව නේපාලයේ පැවති සාග් ක‍්‍රීඩා උළෙලේ දී කිලෝග‍්‍රෑම් 45 බර පංතියෙන් රිදී පදක්කමක් මම දිනාගත්තා.එහිදී මම ප‍්‍රදර්ශනය කළ දක්ෂතාවය ශ‍්‍රී ලංකා වාර්තාවක් ලෙස ද සටහන් වුණා. ඒ වගේම 2021 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය චැම්පියන්ෂිප් තරඟාවලියෙන් රිදී පදක්කම දිනා ගැනීමට මට හැකි වුණා.”

 කිලෝග‍්‍රෑම් 45 බර පන්තියේ දක්ෂ ක‍්‍රීඩිකාවක් වුවද ඇය ඉකුත්දා  සිංගප්පූරුවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සුදුසුකම් ලැබීමේ තරඟාවලියේදී රන් පදක්කම දිනාගනු ලැබුවේ කිලෝග‍්‍රෑම් 49 බර පන්තිය යටතේ ය. සුනේත‍්‍රා කුමාරිහාමි සහ ඞී. එම්. සමරකෝන් මහතාගේ පවුලේ දෙවැනි දරුවා ලෙස ඉපිද ඇය අද ලෝකයේ ඉදිරියේ දක්වන දක්ෂතාවයන් සුළුපටු නොවේ. එතරම් දුරක් ඇයට පැමිණීමට වරම් දුන් සිය ආදරණීය දෙමව්පියන්ව ද, නදීක සර්ව ද, මහනුවර මහමායා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය ද හබරණ විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය ද ශ‍්‍රීමාලි සිහිපත් කළේ මහත් කෘතගුණ පූර්වකය.

 කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment