කිරි පැණි විවාහ ජීවිත පසුව තිත්ත වන හැටි

345

ස්ත්‍රියකගේ හා පුරුෂයකුගේ නැවුම් ආදාරය කිරි පැණිවලට සමාන කළ සමාජ රටාවක ජීවත් වන යුගයක සිටින අප බොහෝ දෙනකුට මුහුණ දීමට සිදුවන කාලීන ගැටලුවක් ගැන ජ්‍යොතිෂමය විග්‍රහයක් ඉදිරිපත් කිරීම මාගේ උත්සාහය බව මුලින්ම සඳහන් කරමි.

කිරිවලට පැණි එකතු කර ආහාරයට ගැනීමේදී ඉතා රසවත් බවක් දැනේ. ඒ හා සමානව ස්ත්‍රී පුරුෂ දෙදෙනකුගේ ආදර සබඳතාවය ආරම්භ වේ. ඉන්පසුව දෙමාපියන්ගේ ඉල්ලීම පිට හෝ තමාගේ කැමැත්ත අනුව දෙදෙනා කේන්ද්‍ර දෙක පරීක්ෂා කරවා හොඳ නරක ගැළපීම් කෙසේද යන්න සොයා බලනු ඇත. කෙසේ නමුත් දෙදෙනාගේ ස්ථාවර සබඳතාවය කතාබහ කරගෙන කේන්ද්‍ර හොඳ වුණත් නරක වුණත් ඇති කරගත් සබඳතාවය වෙනස් නොකරන තත්ත්වයකට පත්වේ. එහි ප්‍රතිඵලය වශයෙන් ටික දිනකින් විවාහ ජීවිතයට පා තබනු ඇත. ඒ අනුව මාසයයි, දෙකයි, තුනයි, අවුරුද්දයි, මෙසේ කාලය ගෙවෙමින් තිබෙන අතරතුර දෙදෙනාගේ හැසිරීම් විලාසය, කතාබහ ආදී තරමක් අමිහිරි ස්වභාවයක් ගනී. ඒ සමගම දරුඵල සලකුණු ද මතුවේ. එසේ නැතිනම් දරුඵල හීනවන ස්වභාවයක් මතුවේ. දෙදෙනා අතර නිතර නිතර සමගිය තුරන් වී මුරණ්ඩු ස්වභාවයක් ඇතිවේ.

මේ ආකාරයට කිරි පැණි ක්‍රමයෙන් අමිරස වී පසුව තිත්ත වන තත්ත්වයකට පත්වේ. කිරි පැණි අමා රසයෙන් ආරම්භ වූ ප්‍රේම සබඳතාවය පසුව විවාහය නමැති ඇස්බැන්දුම් සුන්දර නිවහනකට ඇතුළු වී පසුව ටික කාලයකින් එම නිවහන ගිනිබත් වන තත්ත්වයකට පත්වන්නේ කුමන ග්‍රහ බලපෑමක් මත ද යන්න විමසිල්ලෙන් සොයා බලමු.

ස්ත්‍රී කේන්ද්‍රයේ හෝ පුරුෂ කේන්ද්‍රයේ 12 වැන්නේ සෙනසුරු උපතින් සතුරු වී යෙදී නවාංශක කේන්ද්‍රයේ ද සතුරු තත්ත්වයෙන් හත්වැන්නේ යෙදී ඇතිනම් එවැනි අයකුගේ විවාහය අසාර්ථක වන්නේය. මුලදී කිරි පැණි සබඳතාවය පසුව තිත්ත වන්නේය. ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ කේන්ද්‍රයේ සෙනසුරු ගෝචරය 12, 1, 2, 4, 5, 7, 8 යන භාවවලදී චන්ද්‍රයාගේ ගෝචරය සමග මෙම භාව තුළදී සංයෝග වූ දිනවලදී දෙදෙනා අතර ආරවුල්, මුරණ්ඩුකම්, ගැටුම් ආදිය ඇතිවේ. ඒ අතරම කුජ ද ඉහත කී භාවවලදී ගෝචරයේ යෙදෙන දිනවලදී සඳුගේ ගෝචර දිනවලදී ද එකී භාව තුළදී සංයෝගවීමෙන් අඹු සැමි දෙදෙනාගේ ගැටුම් ඉතා තදින් සිදු වේ. ලග්නයෙන් අටවැන්නේ ශනි හා කුජ උපතින් සතුරු තත්ත්වයෙන් සිටීම විවාහ සබඳතා බිඳ වැටීමට හේතු වේ. බොහෝ අවස්ථාවල ශනි කුජ අටවැන්නේ මිත්‍ර හෝ ස්වක්ෂේත්‍ර උච්ච බලයෙන් සිටියත් විවාහය අවුල් වී ඇති ආකාරය මා දුටුවෙමි.

ශනි, කුජ සමග සිකුරු 2, 7, 8, 4, 12 යන ස්ථානයක උපතින් තම කේන්ද්‍රයේ යෙදුන පුද්ගලයා ප්‍රථම විවාහය ගැටුම් අවුල් මධ්‍යයේ කැඩී ගිය පසු දෙවැනි විවාහයට ඇතුළු වන්නේය. ප්‍රථම විවාහය ආදර සබඳතාවකින් කිරි පැණි මෙන් ආරම්භ කළත් පසුව තිත්ත වීමට ශනි කුජ හේතු වේ. දෙවැන්න, සතරවැන්න, හත්වැන්න, අටවැන්න දොළොස්වැන්න මෙම ස්ථානයක උපතින්ම කේන්ද්‍රයේ කුජ යෙදී සිටී නම් යෝජනාවකින් ප්‍රථම විවාහය සිදුවී පසුව එය අවුල් ගැටලු මධ්‍යයේ කැඩී බිඳී ගොස් දෙවැනි විවාහය සිදු වන්නේය.

යම් අයකුගේ කේන්ද්‍රයේ උපතින්ම සෙනසුරු දෙවැන්නේ හෝ රාහු හත්වැන්නේ පිහිටියේ නම් ස්ත්‍රියක් වුවත් පුරුෂයෙක් වුවත් පළමු විවාහ සබඳතාවය කිරි පැණි මෙන් ඉඳ පසුව අවුල්, ගැටුම් මධ්‍යයේ වෙනස් වී කලකින් දෙවැනි විවාහය සිදු වේ.

එසේම ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ උපතින් කේන්ද්‍රයේ හත්වැන්නේ රාහු සමග සිකුරු පිහිටියේ නම් පාසල් ජීවිතයේ පටන්ම අවිචාර ලෙස ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන පසුව වයස 18, 20 වනවිට විවාහ දිවියට පත්වී කිරි පැණි හා සමාන ජීවිතයක් ගතකර ටික කලකින් අනියම් සබඳතාවක් පසුපස යෑම නිසා විවාහය තුළ ගැටුම් ඇතිවීමෙන් ිකිරි පැණි තිත්ත බවට පත්වේ. ලග්නයේ කුජ, සිකුරු, රාහු කේන්ද්‍රයේ උපතින් යෙදී හත්වැන්නේ කේතු, සෙනසුරු අව සඳු සංයෝගය යෙදුනහොත් යෞවන වියේදී කිරිවලට පැණි සංයෝග වූවා මෙන් ආදර සබඳතාව ඇතිවී පසුව විවාහ ජීවිතයට පිවිස ටික කලකදී ස්නායු දුර්වලතාවක් හේතු කොටගෙන දෙදෙනා අතර අසමගිය ඇති වී විවාහය තිත්ත වේ. කිරි පැණි තිත්ත වේ.

යම් අයකුගේ උපතින් මෙම ග්‍රහ තත්ත්වයන් කේන්ද්‍රයේ යෙදී තිබුණත් අද සමාජයේ බොහෝ තරුණ තරුණියන් මෙම හඳහන කියන සංකල්පය සමච්චලයට ලක් කරමින් ආදරය නමැති බෝට්ටුවට නැඟී ශීත, සිසල් සුළං පහස විඳිමින් ජලයේ වැවක හෝ ගංගාවක ගමන් කරනු ඇත. මෙම අවස්ථාවකදී හදිසියේ වේගවත් සැඩ සුළඟක් සමග ජල ධාරාවක් පැමිණ ආදර බෝට්ටුව ගසාගෙන ගොස් අනතුරට පත්වේ. මෙහිදී වේගවත් ජල පහර යනු පාප ග්‍රහයන්ගේ බලපෑම බව සඳහන් කරමි. වැව හෝ ගංගාව විවාහ ජීවිතයයි. මේ අනුව ඔබ විවාහ වෙනවා නම් හඳහන, ග්‍රහ බලය විශ්වාස කර කටයුතු කරන්න.

කෙසේ නමුත් යුග දිවියට බැසීමට සිටින ඔබට මා දන්නා තරමින් අත්දැකීම් අනුව කිරි පැණි යුග දිවිය තිත්ත වන ග්‍රහ බල තවත් පෙන්වා දෙමි.

ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ කේන්ද්‍රයේ උපතින් හයවැන්න අධිපතියා සුබයෙක් වී හත්වැන්න අධිපති සමග අටවැන්නේ යෙදීම නිසා බලවත් රෝගාබාධයකින් විවාහ ජීවිතය දුර්වල වී දෙදෙනා අතර අසමගිය ඇති වී ජීවිතයත් විවාහයත් තිත්ත වේ. වෘශ්චික ලග්නයේ දෙවැනි දෙර්කාණයෙන් උපත ලැබූ ස්ත්‍රියකගේ කේන්ද්‍රයේ ගුරු අටවැන්නේ සිකුරු සමග යෙදීමෙන් විවාහය ආදර සබඳතාවකින් ඇති වී පසුව දරුඵල නොමැති වීම හේතුවෙන් අසමගිය, නොසතුට, කලකිරීම ඇති වී ක්‍රමයෙන් විවාහ ජීවිතය තිත්ත වේ.

පුරුෂයකුගේ උපතින් කේන්ද්‍රයේ ලග්න ස්ථානයේ රවි, කුජ, ශනි, ත්‍රිග්‍රහ සංයෝගය යෙදී හත්වැන්නේ සිකුරු යෙදී ඇතිනම් බාල වයසේ සිටම කාමුක හැඟීම් උත්සන්න වී පසුව වයස 17, 18 කාලසීමාවේදී ආදර සබඳතාවක් ඇති කරගෙන මුරණ්ඩු ස්වභාවයෙන් දෙමාපියන්ට අකීකරු වෙමින් හදිසි විවාහයකට පත්වී කිරි පැණි මෙන් ජීවත්වී පසුව නොයෙකුත් අගහිඟතාවන් මධ්‍යයේ දෙදෙනාගේ අසමගිය, ගැටුම්වලින් පිරී ඉතිරී පවුල් ජීවිතය තිත්ත වන්නේය.

මෙතැන් සිට පැරණි පඬිවරුන් විසින් විවාහය සම්බන්ධව ස්ත්‍රීන්ට – පුරුෂයන්ට පෙන්වා දී ඇති කරුණු කීපයක් මෙලෙස පෙන්වා දෙමි. එය මේ ආකාරයෙනි.

“ශුභෘශුභං පූර්‍ව ජනෛවිර්පාතාත්
සිමන්තිනී නාමපියත් ඵලංහි
විවාහ කාලාත්පරතඃ ප්‍රවීණෛඃ
සුසම්භවාත් තත් පතිෂුප්‍ර කලප්‍යම්”

පෙර භවයේ කරන ලද කුසල අකුසල කර්ම හේතුවෙන් ස්ත්‍රීන්ගේ යම් සුබ හෝ අසුබ ඵලයක් තිබේ ද එකී ඵල සියල්ල විවාහයෙන් පසුව හෙවත් ස්ත්‍රී පුරුෂ සංසර්ගයෙන් පසු පුරුෂයා කෙරෙහි ද බලපානු ඇත. යනුවෙන් මෙහි අදහස වේ. එසේ වූ කල ස්ත්‍රීන්ගේ දියුණුවට පුරුෂයන් ද, පුරුෂයන්ගේ දියුණුවට ස්ත්‍රීන් ද මුල් වේ. එමෙන්ම පුරුෂයාගේ අකුසල කර්ම මත අසුබ පල නිසා ස්ත්‍රීන්ගේ විනාශය ද, ස්ත්‍රීන්ගේ අකුසල කර්ම මත අසුබ පල නිසා පුරුෂයාගේ විනාශය ද සිදු වේ. එසේම විශේෂයෙන් පුරුෂයන්ට සියලු සැප සම්පත් ලැබීමටත්, සියලුම කටුක දුක් විදීමටත් ස්ත්‍රීන් මුල්වන බව ද පැරණි පඬිවරු පෙන්වා දී ඇත. එසේම යහපත් ලකුණු හා යහපත් චාරිත්‍ර ඇති වාසනාවන්ත ස්ත්‍රීන් විවාහ කර ගැනීමෙන් අල්පායුෂ ඇති මාරක සහිත පුරුෂයන්ගේ ආයුෂ වර්ධනය කරමින් සැප ලබන බව ද පඬිවරු පෙන්වා දී ඇත. තවද ගුරු හත්වැන්නේ, සිකුරු සිව්වැන්නේ බල සහිතව උපතින් පිහිටි පුරුෂ පක්ෂය සමග විවාහ වන සහකාරියගේ අපල දුරු වී වාසනාවන්ත විවාහ ජීවිතයක් ගතකිරීමේ ශක්තිය ද ලැබේ.

මේ ආකාරයෙන් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් යෞවන වයසේදී ආදර සබඳතාවක් කිරි පැණි මෙන් ඇති කරගෙන පසුව විවාහ ජීවිතයට ඇතුළු වී ටික කලකින් කිරි පැණි තිත්ත වන, මා පෙන්වා දුන් මෙම ජ්‍යොතිෂමය කරුණු ඔබගේ යහපතට හේතු වේවා.

ජ්‍යොතීර්වේදී ජේ. ගුණපාල
170, අරමණාගොල්ල, හොරණ.
0774347574

advertistmentadvertistment
advertistmentadvertistment