(කිරි) පිටි මකුණා (02)

1319

Mealy Bug යනුවෙන් හැඳින්වෙන පිටි මකුණා මේ රටේ වගාව විනාශ කරන අයුරුත් කිරි පිටි මකුණා මේ රටේ මහා භාණ්ඩාගාරය කා දමන අයුරුත් මේ තීරය ඔස්සේ ඊයේ අපි සාකච්ඡුා කළෙමු. මේ මොහොතේදී ශ‍්‍රී ලංකාව තුළ උග‍්‍ර කිරි පිටි හිඟයක් පවතී. දියර කිරි බීමට අකමැති මේ රටේ ජනයා කිරි පිටි මිලට ගැනීම සඳහා මෙ සමයෙහි සුපිරි වෙළෙඳසල්වල රාක්ක පීරති. කිරි පිටි යනු යටත්විජිතවාදීන් විසින් මේ රටට පුරුදු කරන ලද විනාශකාරී පානයකි. එක්දහස් නවසිය පනස් ගණන්වල සිට මෙරටට පුරුදු කරන ලද කිරි පිටි වලින් ගැලවීමට මේ රටේ ජනයාට කිසි කලෙකත් නොහැකි වන බව අපගේ වැටහීමයි. ඒ නිසා මේ මොහොතේදී කිරි පිටි හිඟය ජාතික ප‍්‍රශ්නයක් බවට පත්වී තිබේ. සාමාන්‍යයෙන් අපේ සංස්කෘතියට අනුව ජනතාව වැස්සත් බණින්නේ ආණ්ඩුවට ය. පෑව්වත් බණින්නේ ආණ්ඩුවට ය. ගෑස් හිඟයේ දීත් ඔවුහු ආණ්ඩුවට බැන වැදුණහ. (ගෑස් හිඟය තවමත් එහෙමම පවතී* කොවිඞ් 19 පැතිර යෑම සම්බන්ධයෙනුත් ඔවුහු ආණ්ඩුවටම බණිති. චීනයේ වූහාන් නගරයෙන් මතුවූ කොරෝනා විෂ බීජය සහ ගෝඨාභය රාජපක්ෂ අතර කිසිදු සම්බන්ධයක් නැතත් කොරෝනා විෂ බීජයට බණින විට ඔවුහු ගෝඨාභයටත් බණිති. මෙය ශ‍්‍රී ලංකාවේ ජන විඥානයේ ස්වරූපය යි. මේ රටේ ඇතැම් පිරිමි කසිප්පුපළකට රිංගා ? දෙගොඩහරිය වන තුරු කසිප්පු බී ගෙදර විත් කසිප්පු වලට හෝ වෙරි මතට කිසිදු සම්බන්ධයක් නැති බිරිඳට කුණුහරපයෙන් බනිමින් තඩි බාන්නට පටන් ගනී. මෙබඳු බේබදු පියෙක් දිනපතා බීමත්ව පැමිණ සිය මවට පහරදෙනු නොඉවසූ නව යොවුන් පුතෙක් උදැල්ලෙන් පහර දී පියා මැරීය. පියා මැරීම යනු ආනන්තරීය පාප කර්මයකි. එහෙත් අසාධාරණය නොඉවසන තරුණ හිතකට උදැල්ලක් ලැබුන විට නඩුව විසඳෙන්නේ විනිශ්චයකාරයන් නැතුවමය. අපේ කතාව අන් අතක යන බව පෙනේ. නැවතත් මාතෘකාවට බසිමු.

කිරි පිටි ගෙන්වීම සඳහා ජාතික ධනයෙන් විශාල මුදලක් හෙවත් ඩොලර් මිලියන හාරසියයක් පමණ වාර්ෂිකව වියදම් කිරීමට ආණ්ඩුවට සිදු වේ. මේ අතර බලයට පත්වූ හැම ආණ්ඩුවකටම කිරි බීමට තබා ප්ලේන්ටියක් බීමටවත් සල්ලි නැතිවන වකවානු එළඹෙයි. යුද ජයග‍්‍රහණයෙන් පසු රාජපක්ෂවරුන් ආණ්ඩු කළ සමයේදී එක් අවස්ථාවක ඩොලර් අර්බුදයක් මතුවිය. ඒ සමගම කිරි පිටි හිඟයක් ද ඇති විය. එවිට කිරි පිටි වලට විරුද්ධව ව්‍යාපාරයක් ගෙන ගොස් ඒවා ජනතාව වෙතින් තුරන් කිරීම මැනවයි කල්පනා කළ ආණ්ඩුව පහත සඳහන් කරුණු ජනතාවට ඉදිරිපත් කළේය. එනම්,

1. ක්ෂීරපායි සතුන් අතරින් මරණ මංචකය තෙක්ම කිරි බොන එකම සතා මනුෂ්‍යයා පමණි. අනෙක් සියලූම සතුන් ළදරු වියේදී මව් කිරි පානය කර එම පුරුද්ද අත්හැර දමනු ලැබේ.

2. කිරි පිටිවල විෂ තිබෙන්නට පුළුවන. විකිරණ ද්‍රව්‍යය තිබෙන්නට ද පුළුවන. මේ නිසා කිරි පිටි පානය කිරීමෙන් පිළිකා හට ගැනීමට ඉඩ තිබේ.

3. වඩා ආරක්ෂාදායී වන්නේ දියර කිරි පානය කිරීමයි. එබැවින් හැම දෙනාම දියර කිරි වලට හුරුවිය යුතුය.

ඉහත සඳහන් කරුණු ප‍්‍රවර්ධනය කිරීම සඳහා ජනමාධ්‍ය මගින් ද වෙනත් ප‍්‍රචාරක ක‍්‍රම මගින් ද විශාල ප‍්‍රචාරයක් ලබාදෙන ලදී. එකල සෝෂල් මීඩියා නොතිබුණු අතර මෙරට ජනයා ෆේස්බුක් ගැන වැඩිපුර අහලා තිබුනේ නැත. ඉහත සඳහන් කරුණු මිනිසුන්ගේ මොළයට කාන්දු කිරීම සඳහා කවර උත්සහයක් ගත්ත ද කවුරුත් දියර කිරි පානයට හුරුවුණේ නැත. ශ‍්‍රී ලංකාව තුළ දියර කිරි පිළිබඳ ප‍්‍රශ්නයක් පවතී. මේ රටේ වැඩි දෙනකුට දියර කිරි පානය කළවිට Lactic Intolerance තත්ත්වයක් හටගනී. එනම් දියර කිරි පානය කළ විට බඩ බුරුල් වීමය. දෙවනුව සෙම ඇවිස්සෙයි. ඇවිස්සුණු සෙම වියළා ගැනීමට එළු කිරි අවශ්‍ය වෙයි. ඊළඟට අපේ රටේ බහුතර ජනයා තේ වලට කිරි පිටි මිශ‍්‍රකර පානය කිරීමට පුරුදුව සිටිති. දියර කිරි කලවම් කළවිට තේ වල කහට සාන්ද්‍රණය තනුක වේ. එය මිනිසුන්ට අල්ලන්නේ නැත. ඊළඟට දියර කිරි ලීටරයක් රුපියල් 280 සිට ඉහළට මිල නියම කර ඇත. ග‍්‍රෑම් හාරසියයක කිරි පිටි පැකට්ටුවක් රුපියල් තුන්සිය අසූවකි. තේ සැදීමේ කර්මාන්තයේදී දියර කිරි ලීටරයක අස්වැන්න මෙන් තුන් ගුණයක අස්වැන්නක් ග‍්‍රෑම් හාරසියයේ කිරි පිටි පැකට්ටුවකින් ලබාගත හැකිය. මේ නිසා මේ රටේ දේශකයන් සරම් ඇඳගෙන ඔලූවෙන් හිටගෙන දේශන පැවැත්තුවත් මේ රටේ ජනයා කිරි පිටි වෙත ඇති පේ‍්‍රමය අත්හරින්නේ නැත. එබැවින් මේ වෙලාවේ ආණ්ඩුව විසින් කළ යුත්තේ කිරි පිටි පිළිබඳ ඒකාධිකාරය සියතට ගැනීමය. කවුරු කොහොම කිව්වත් ලංකාවේ සිටින එළදෙනුන්ට මේ රටේ සමස්ථ කිරි අවශ්‍යතාවයට දායක විය නොහැක. ලංකාවේ කිරි එළදෙනුන්ගේ කිරි බුරුලූ කෙහෙල් මුහ බඳුව තිබියදී නවසීලන්තයේ කිරි එළදෙනුන්ගේ කිරි බුරුලූ තෙල් බැරල් මෙන් විශාලව පවතී. ඒ නිසා මේ රටේ කිරි හරක් සම්පත ක‍්‍රමානුකූලව වර්ධනය වනතුරු කිරි පිටි නැව් එන තෙක් ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය දිහා බලාගෙන සිටීමට අපට සිදු වේ. මේ කතන්දරය මෙතනින් නිම නොවේ. මේ ගැන මතුයම් දවසකදී ද අපි සාකච්ඡා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment