(කිරි) පිටි මකුණා 1

1930

ඉතා හොඳින් ගහ කොළ වැවෙන සාරවත් භූමියක පිහිටි වහලය අබලන්, එනිසාම වහින විට ගේ ඇතුළට වතුර එන කුලී නිවසක පස් දෙනෙක්ගෙන් සමන්විත පවුලක් ජීවත් වෙති. මේ පවුලේ තාත්තාට රස්සාවක් නැත. උදේට නිවසින් පිට වී පාර දිගේ ඇවිදගෙන යන තාත්තා කිසියම් කුලියක් මලියක් ලැබුනොත් පමණක් කීයක් හෝ ගෙදර ගෙනෙයි. මේ ගෙදර සිටින දරුවන් අතුරින් ලොකු පුතාට ස්ථිර රස්සාවක් නැත. ඒත් ඔහුට පාර්ට් ටයිම් ජොබ් එකක් තිබේ. ඒ වූකලී හොර පොල් කැඞීමය. ? එළිවන තුරු සිය චෞර වෘත්තියේ යෙදෙන තරුණ තෙමේ පාන්දරින්ම හොර පොල් ටික විකුණා ඒ මුදලින් කසිප්පු බී සවස් වනතුරු නිදාගනී. මේ ගෙදර සිටින දෙවැනි පුතා පාසල් දරුවෙකි. එහෙත් වත්කමක් නැති කමින් පාසල් නොයන හෙතෙම මුළු දවසම බීඩි බිබී කාලය ගත කරයි. මේ පවුලේ දියණිය අතේ සතේ නැති විලාසිතාකාරියකි. රූපලාවන්‍ය කටයුතු පිණිස ඇයට මුදල් වුවමනාය. ඒ සඳහා ඇය වැය කරන්නේ ණයට ගත් සල්ලි ය. ගෙදර අඩුපාඩු පිරිමසා ගැනීම සඳහා අම්මා නිතරම මුදල් ණයට ගනී. පියා ගෙනෙන මුදලින් කෑම බීම වලට වැය කළ පසු කිසිත් ඉතිරි නොවන නිසා ඇය තව තවත් ණය වේ. කිසියම් ආකාරයකින් ඇය අතට ලොකු මුදලක් ලැබුනොත් ඇය එයින් ණය සල්ලි ස්වල්පයක් ගෙවා යළිත් ණය වේ. ඉහත සඳහන් පවුල පිළිබඳ පිංතූරය ශ‍්‍රී ලංකාවේ නූතන පිංතූරය බව අපි වගකීමෙන් කියමු. ස්ටූඩියෝ එකකට ලංකාව ගෙන ගොස් එය එහි සිටුවා පිංතූරයක් ගත හැකි කැමරාවක් වෙතොත් ඉන් එන්නේ ඉහත පිංතූරය ය. ආදායම් නොමැතිකම, ණය බර, බොරු අලංකාර සඳහා කරන වියදම් යනාදියෙන් ඒ පිංතූරය පිරී තිබේ. අපේ කතාව පටන් ගන්නේ මෙතැන් සිටය.

පිටි මකුණා නමැති පුස් වර්ගයක් මේ රටේ ගහ කොළවල ජීවත් වෙයි. Mealy Bug නමැති මේ මකුණු ගහනය හිටි හැටියේම විශාල වශයෙන් වර්ධනය වී ගහ කොළ කා දමන්නට පටන් ගනී. අපි මුලින් කියූ ෙඡ්දයෙහි සිටින පවුල ජීවත්වන ගෙවත්ත ද පිටි මකුණන් විසින් ආක‍්‍රමණය කර තිබේ. ඒ නිසා මේ ගෙදර නිවැසියන්ට කිසිදු වගාවක් කරගැනීමට ඉඩ නැත. පිටි යනු කිසිදු හිතකර භාවයක් ඇති දෙයක් නොවේ. තිරිඟු ඉතා හොඳය. එහෙත් එහි කුරුට්ට ඉවත්කර පිටි කළ පසු එහි මෙලෝ ගුණයක් නැත. සහල් ඉතා හොඳය. එහි කුරුට්ට ඉවත් කර පිටි කළ පසු එය කාබෝහයිඩ්‍රේට් ගොඩක් පමණි. දියර කිරි ඉතා ගුණදායකය. එහෙත් එය පිටි බවට පත්කළ පසු එයින් එතරම් ප‍්‍රයෝජනයක් නැත. ශ‍්‍රී ලංකාව සාමාන්‍යයෙන් අවුරුද්දකට පිට රටින් කිරි පිටි ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 400 හෙවත් රුපියල් බිලියන 5 ක් වැය කරයි. පහුගිය දිනවල ජාත්‍යන්තරයට ගෙවිය යුතු ඩොලර් ණය වාරිකයෙන් ඩොලර් බිලියන 2 ක් ගෙවීමට වුවමනා වූ කළ ආණ්ඩුව අන්තිම අමාරුවට පත් විය. බංග්ලාදේශයෙන් පවා ඩොලර් මිලියන 250 ක් ණයට ගැනීමට ආණ්ඩුවට සිදුවිය. එසේ තිබියදී කිරි පිටි සඳහා අවුරුද්දකට ඩොලර් මිලියන 400 වැය කිරීමට සිදුවීම බඩ බුරුල්වන තත්ත්වයකි. පෙර ෙඡ්දයේ සඳහන් පවුලේ සිටින පුතුන් දෙදෙනාටත් දියණියටත් පියාටත් ස්ථිර ආදායම් මාර්ග තිබුණේ නම් රට වටේ හිඟා කමින් මුදල් ණයට ගැනීමට අම්මාට සිදුවන්නේ නැත.

ශ‍්‍රී ලංකාව මේ මොහොතේදී ආදායම් අතින් නැට්ටටම හිරවී ඇත. ඒ අතර රට තුළ ගෑස් හිඟයක් සහ කිරි පිටි හිඟයක් නිර්මාණය වී ඇති අතර මිනිස්සු පිස්සු වැටී සිටිති. මේ රටේ ජනයා සොයන්නේම කිරි පිටි ය. කිරි පිටි කොතරම් හිඟ වුණත් දියර කිරි වෙළෙඳසල්වල වේලෙමින් පවතී. කිරි පිටි යනු  ශ‍්‍රී ලංකාවට අලූතෙන් පුරුදු කරන ලද ආහාරයකි. ශ‍්‍රී ලංකාවට නිදහස ලැබෙන 1948 දීත් මේ රටේ කිරි පිටි තිබුණේ නැත. එහෙත් 1950, 55, 60 වනවිට  ශ‍්‍රී ලංකාව ක‍්‍රමයෙන් කිරි පිටි වලට පුරුදු වන්නට පටන් ගත්තේය. අද වනවිට නවසීලන්තය නමැති රටේ ප‍්‍රධානතම ආදායම් මාර්ගය වී ඇත්තේ ලංකාවට කිරි පිටි විකිණීමය. ඒ රට කිරි පිටි නිෂ්පාදනය පිළිබඳ ජාත්‍යන්තර යෝධයෙකි. නවසීලන්තයේ කිරි නිෂ්පාදන ඒකාධිකාරය තිබෙන්නේ සමූපකාර සමිතියක් අතේය. එය ඒ රටේ කිරි ගොවියන් සියලූම දෙනා එකතු වී පිහිටුවා ගන්නා ලද සමූපකාරයකි. එය දවසින් දවස දියුණු වූ අතර ඒ රටට විදේශ විනිමය ගෙනෙන ප‍්‍රමුඛ ආයතනය බවට පත්විය. එවැනි සමූපකාරයක් ලංකාවේ තිබුණේ නම් මේ වනවිට ඉතිරි වන්නේ සමූපකාර ගොඩනැගිල්ලේ කණු ටික පමණි. මෙය එපමණටම  හොරුන්ගෙන් ගහන රටකි. මෙහි හොඳ හරිය හෙට සාකච්ඡා කරනු ලැබේ.

ඉතිරි කොටස හෙට

advertistmentadvertistment
advertistmentadvertistment