කිලෝව සත විසිපහේ බද්දට ගෙනා මුදා නොගත් සීනි ප‍්‍රදේශය

359

මහ බැංකුවට දෙවරක් ‘කෙළිය’ රටක මෙවැනි සීනි ජාවාරමක් සම්බන්ධයෙන් පුදුම විය යුතු නැත. ප‍්‍රභාකරන් මරා දැමීමෙන් පසුව කොටි ත‍්‍රස්තවාදීන්ගේ නායකයා වූ කුමරන් පත්මනාතන් මැලේසියාවට ගොස් එම රජයේ අනු දැනුම ඇතුව ශ‍්‍රී ලංකාවට ගෙන ඒමට සමත්වූ ජාතියකට වත්තල මාබෝලේ සඟවා තිබෙන සීනි මෙටි‍්‍රක් ටොන් 4,800 සහ සීදුව ප‍්‍රදේශයේ සීනි මෙටි‍්‍රක් ටොන් 600 සඟවා තිබෙන ගබඩා තුනක් සොයා ගැනීමට නොහැකිය.

 විස පොල් තෙල්, සීනි ජාවාරම් හෙළි කරන සමස්ත රාජ්‍ය තන්ත‍්‍රයේ පිරිහීම. කොවිඞ් ව්‍යසනයෙන් බැටකන ජනතාවට වැඩ දෙන නිලධාරී පැලැන්තිය සහ දේශපාලන බලවේග. ආචාර්ය ගුණදාස අමරසේකර කිරිපිට ආනයන සම්බන්ධයෙන් කරන ආන්දෝලනාත්මක ප‍්‍රකාශය අවධාරණය කරන ඔඩුදුවන දූෂණය.

කිලෝව සත විසිපහේ බද්දට ගෙනා මුදා නොගත් සීනි ප‍්‍රදේශය

දෙරණ නාලිකාවේ ‘උකුස්සා’ නොවන්නට අදටත් දේශපාලන ආරක්ෂාව හිමි ජාවාරම්කරුවන් කිලෝව සත 25 ක බද්දට ආනයනය කළ සීනි රුපියල් 220 ටත් ඉහළින් අලෙවි කරන බවට සැකයක් නැත. අගෝස්තු මස 28 සහ 29 දින වත්තල මාබෝලේ ගබඩාවක සහ සීදුව ප‍්‍රදේශයේ ගබඩා තුනක සඟවා තිබියදී දෙරණ මාධ්‍යවේදීන්ගේ මූලිකත්වයෙන් සීනි මෙටි‍්‍රක් ටොන් 5,455 සොයා ගැනීම විශේෂ සිදුවීමකි. ‘උකුස්සා’ වැඩසටහන ඉදිරිපත් කරන කණ්ඩායම ජනතාව වෙනුවෙන් කළ පළමු මැදිහත්වීම මෙය නොවේ. අදාළ විෂය සම්බන්ධව වගකිවයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අගෝස්තු 29 දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී ‘උකුස්සා’ කණ්ඩායමට ස්තුති කළේය.

 අගෝස්තු 30 වැනිදා උකුස්සා පාරිභෝගික අධිකාරිය සමඟ කළ මෙහෙයුම් හේතුවෙන් තවත් විශාල සීනි තොගයක් සොයාගැනීමට හැකිවිය. දින තුනකදී සොයාගත් සීනි තොගය මෙටි‍්‍රක් ටොන්  10,255 කි. මෙම මෙහෙයුම්වලදී ග්ලෝබල් ටේ‍්‍රඩින් කොම්පැනිය නිකුත් කළ ලිපි ලේඛන ගබඩාවල් භාරව සිටි පුද්ගලයින් ඉදිරිපත් කළ බව හෙළි විය. සීනි බද්ද අඩු කිරීමෙන් ලාභ ලැබුවේ ග්ලෝබල් ටේ‍්‍රඩින් කොම්පැනිය පමණක් නොවේ. අදාළ විෂය භාර අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසන්නේ අගෝස්තු 28, 29 සහ 30 සොයාගත් සීනි තොග වෙළෙඳ ආයතන තුනක් ආනයනය කර ඇති බවයි.

 අගෝස්තු 31 දින ‘උකුස්සා’ සම්බන්ධවී දීර්ඝ කාලයක් තිස්සේ ගබඩා කර තිබූ සීනි මෙටි‍්‍රක් ටොන් 11,070 වත්තල සහ අවට ප‍්‍රදේශවලින් සොයාගැනීම පිළිබඳව සමස්ත රාජ්‍ය ව්‍යුහයම ජනතාවගෙන් සමාව ගත යුතුය. එදින සොයාගත් තොග අතර දේශීයව නිෂ්පාදනය කළ සීනි තොග තිබීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතුමය. පුදුමය රජයට අයත් ගබඩාවක ද සීනි ගොඩගසා තිබීමය.

 ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය සැප්තැම්බර් 1 දින සවස අදාළ සීනි ආනයනකරුවන් නම් කළේය. පිරමිඞ් විල්මා (මෙටි‍්‍රක් ටොන් 6,200), ග්ලෝබල් ටේ‍්‍රඩින් (මෙටි‍්‍රක් ටොන් 4,900), විල්සන් ටේ‍්‍රඩින් (මෙටි‍්‍රක් ටොන් 14,000) සහ ආර්. ජී. ස්ටෝර්ස් (මෙටි‍්‍රක් ටොන් 800).

 මෙලෙස සීනි තොග සඟවා තිබෙන ගබඩා පොලීසි ආසන්නයේම ක‍්‍රියාත්මක බව රජය, අදාළ අමාත්‍යංශ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නොදැන සිටි බව පිළිගත නොහැක. වගකිව යුතු මහජන නියෝජිතයින් සහ නිලධාරීන් නිරුත්තරය. නිර්වස්ත‍්‍රය. මෙම සීනි ජාවාරම ඇත්තවශයෙන්ම රහසක් නොවේ. ‘සීනි කෙළිය’ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත බොහෝ කරුණු කාරණා පසුගිය මාස කිහිපය තුළම කතා බහ විය.

 ශ‍්‍රී ලංකාවට ආනයනය කළ සීනි තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනිවාර්යෙන්ම දැන ගත යුතුය. කොළඹ වරාය හරහා රට තුළට ආනයනය කරනු ලබන සීනි ප‍්‍රමාණය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට වරාය අධිකාරියෙන් දැන ගත හැකිය.

 ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගිය දෙසැම්බර් මාසයේදී සමස්ත සීනි කොල්ලය පාර්ලිමේන්තුව තුළදී හෙළි කළේය. ජවිපෙ නායකයාට එම හෙළිදරව්වට පූර්ණ ගෞරවය දිය යුතුය. සඟවා තිබෙන සීනි තොග කොපමණ සොයා ගත්තත් නිසි පරීක්ෂණයක් සිදු විය යුත්තේ අදාළ ගැසට්ටුව නිකුත් කළ ආකාරය විමර්ශනය කිරීමෙනි. එසේ නොවුණහොත් මෙම සිද්ධිය ද මාධ්‍ය සංදර්ශනයකින් නිමවනු ඇත. විස පොල්තෙල් සම්බන්ධව පොලිස් පරීක්ෂණ සහ අනෙකුත් විමර්ශන සිදු වූ ආකාරය ජනතාවට අමතකය. ජනතාව වස විස පොඞ්ඩ පොඞ්ඩ කන බව හිරු නාලිකාවේ පානුක රාජපක්ෂට පැවසූ ජාතික ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය සිද්ධිකා සේනාරත්න තවමත් එම ආයතනයේ රාජකාරි කිරීම අහඹු සිදුවීමක් නොවේ.

 මහ බැංකුවට දෙවරක් ‘කෙළිය’ රටක මෙවැනි සීනි ජාවාරමක් සම්බන්ධයෙන් පුදුම විය යුතු නැත. ප‍්‍රභාකරන් මරා දැමීමෙන් පසුව කොටි ත‍්‍රස්තවාදීන්ගේ නායකයා වූ කුමරන් පත්මනාතන් මැලේසියාවට ගොස් එම රජයේ අනු දැනුම ඇතුව ශ‍්‍රී ලංකාවට ගෙන ඒමට සමත්වූ ජාතියකට වත්තල මාබෝලේ සඟවා තිබෙන සීනි මෙටි‍්‍රක් ටොන් 4,800 සහ සීදුව ප‍්‍රදේශයේ සීනි මෙටි‍්‍රක් ටොන් 600 සඟවා තිබෙන ගබඩා තුනක් සොයා ගැනීමට නොහැකිය. සීනි තොග මුලතිව් කැලයේ සඟවා තැබුවා නම් සොයා ගැනීමේ අපහසුවක් තිබෙන්නට ඇත. නමුත් අඩි 40ක් දිග කන්ටේනර් ඇතුළු කළ හැකි භූමියේ ස්ථාපිත ගබඩා සොයා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් නිදහසට කරුණු තිබිය නොහැක. අගෝස්තු 30 වැනිදා සහ ඊට පසුව බලපත‍්‍ර ඇති සහ නොමැති ස්ථානවල තිබී සොයාගත් සීනි තොග සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ එයමය.

 සීනි කිලෝව රුපියල් 200 ඉක්මවා යනකම් වගකිවයුත්තෝ කළ දෙයක් නැත. පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව ජනවාරි 05 දින සීනි ජාවාරම හෙළිදරව් කළේය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්වූ කුරුණෑගල දිස්ත‍්‍රික්ක මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා එදින සැබැ තත්ත්වය පැහැදිලි කළේය. මුදල් අමාත්‍යංශය 2020 ඔක්තෝබර් 13 පැනවූ අංක 2197/12 දරණ ගැසට් පත‍්‍රය මගින් ආනයනය කළ සීනි කිලෝවකට එතෙක් අය කළ රුපියල් 50 ක බද්ද ශත 25 ක් කිරීමෙන් පාරිභෝගිකයන්ට කිසිදු සෙතක් වූයේ නැති බව නිර්භයව ප‍්‍රකාශ කළේය. මුදල් පිළිබඳ කාරක සභාව නියෝජනය කරන සියලූම මන්ත‍්‍රීවරුන්ට එම ගෞරවය හිමි විය යුතුය. එම සභාව අදාළ සීනි බදු සංශෝධනය පිළිබඳව අපක්ෂපාති සහ විමර්ශනාත්මක වාර්තාවක් මුදල් අමාත්‍යංශයෙන් කැඳවීම අවධාරණය කළේ සමස්ත රාජ්‍ය ක‍්‍රියාවලියේ ප‍්‍රශ්නකාරී බවයි.

 ‘උකුස්සා’ මෑතකදී කළ මෙහෙයුම පිළිබඳව විමසා බැලිය යුත්තේ මුදල් පිළිබඳ කාරක සභාව අවධානය යොමු කළ ‘සීනි කෙළිය’ සම්බන්ධයෙන් රජය ක‍්‍රියාත්මක නොවූ කරුණු කාරණා ද සැලකිල්ලට ගැනීමෙනි.

 පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව නොමැති ආකාරයට රජය කටයුතු කළ බව අමුතුවෙන් කිව යුතු නොවේ. මුදල් කාරක සභාව නැවතත් පෙබරවාරි 25 දින සීනි ජාවාරම සම්බන්ධයෙන් අවධානය යොමු කළේය. මාර්තු 2 දින පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය විසින් නිකුත් කරන ලද පිටු දෙකක වාර්තාවක රාජ්‍ය ඇමති විදුර වික‍්‍රමනායක සහ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පොහොට්ටු මන්ත‍්‍රී නලින් ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කර තිබුණේ සීනි බද්ද සංශෝධනය කිරීම නිසා රජයට සහ රටට පාඩුවී ඇති බවට එල්ලවන දැඩි විවේචන රජයට කළු පැල්ලමක් බවත් එම බදු සහනය දීමෙන් පාරිභෝගිකයාට වාසියක් නොලැබුණ බවත්ය. මුදල් පිළිබඳ කාරක සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේ ආනයන පාලන දෙපාර්තමේන්තුවට මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඇති වගකීමයි. එදින සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර ද සහභාගි වූ බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

 සීනි ජාවාරම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේදී සිදු කළ ආන්දෝලනාත්මක අදහස් ප‍්‍රකාශ කිරීම් පාර්ලිමේන්තුව විසින් සියලූම ජනමාධ්‍යයට නිකුත් කළ බව අමතක නොකරන්න. මෙම ලියුම්කරුට ඒ වාර්තා සියල්ල ලැබිණි. ඒ සම්බන්ධයෙන් එම සභාවේ සභාපති අනුර ප‍්‍රියදර්ශන යාපා ගෙන් කළ විමසීම්වලට පැහැදිලි පිළිතුරු ලැබිණි. නමුත් මාධ්‍ය කළ වාර්තා කිරීම් සම්බන්ධයෙන් රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය.

 මාර්තු මස දෙවන සතියේදී මුදල් ලේකම් එස්. ආර්. ආටිගල පැවසුවේ බදු සංශෝධනය නිසාවෙන් රජයට කිසිදු පාඩුවක් වූයේ නැති බවයි.

 ආනයනය කළ සීනි කිලෝවකට රුපියල් 50 ක තිබූ බද්ද ශත 25 කිරීම රජය දිගින් දිගටම සාධාරණීකරණය වටහා ගත නොහැක. එක්සත් ජාතික පක්ෂය 2015 ජනවාරි පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුව සුළුතර ආණ්ඩුවක් පිහිටුවා මහ බැංකුවට කළ හදිය සාධාරණීකරණය කිරීමට එදා එජාපය නියෝජනය කළ අද සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු නොකළ දෙයක් නැත. අද පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු එජාප මහජන නියෝජිතයකුට මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නායකත්වය අභියෝගයට ලක්කිරීමට ශක්තිය නොවීය. නීතිඥ සුජීව සේනසිංහ මන්ත‍්‍රීවරයා පළමුවන බැඳුම්කර වංචාවෙන් පසුව පොත් පිංචක් ප‍්‍රකාශයට පත් කළේ පක්ෂය සහ එවකට මහ බැංකු නායකත්වය ආරක්ෂා කරමිනි. එදා මහ බැංකු බැඳුම්කර වංචාවට අවි අමෝරා ගත් අද බලයේ සිටින කණ්ඩායමට සීනි ජාවාරම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා අවධාරණය කරන්නේ ශ‍්‍රී ලංකා දේශපාලනය පත්වී ඇති අවාසනාවන්ත තත්ත්වයයි.

 ‘උකුස්සා’ වත්තල මාබෝලේ පිහිටි සීනි ගබඩාව අගෝස්තු 28 දින හෙළි කරන තුරුම සීනි කිලෝවකට ශත 25 බද්ද ක‍්‍රියාත්මක විය. ශ‍්‍රී ලංකාව ජාවාරම්කරුවන්ට තෝතැන්නකි. බදු නොගෙවන ජාවාරම්කරුවන්ට සහන දීමට පනත් පාර්ලිමේන්තුවට ගෙන එම අවධාරණය කරන්නේ බරපතල අර්බුදයක් නොවේද?

 සීනි ජාවාරම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව, රජය, විපක්ෂය ක‍්‍රියාකරන ආකාරය ජනතාවගේ, විශේෂයෙන්ම සිවිල් ක‍්‍රියාකාරීන්ගේ අවධානයට යොමු විය යුතුය. ඇත්ත වශයෙන්ම මානව හිමිකම් කොමිසම දූෂණය, වංචාව සහ රාජ්‍ය අංශයේ වගකීම් විරහිත ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවම වශයෙන් විමසීමක්වත් කළ යුතුමය. අති බහුතර ජනතාවක් කොවිඞ් ව්‍යසනයෙන් පීඩාවට පත්වී ඇති මෙම අවස්ථාවේ දිගින් දිගටම ජාවාරම්කරුවන්ට අවශ්‍ය වටපිටාව සලසා දීමට දේශපාලන අධිකාරිය කටයුතු කරනවාද? විස පොල්තෙල් ජනතාවට විකිණීම සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් රට තුළ මීට මාස කිහිපයකට පෙර ඇතිවිය. පරීක්ෂණයට සිදු වූ දෙයක් නැත. වර්තමාන කතාව සීනි ජාවාරම සම්බන්ධයෙන් ය. දෙකටම සම්බන්ධ එකම කණ්ඩායමක් ද යන ප‍්‍රශ්නය ද නැගේ.

 කිරිපිටි ආනයනය සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ බරපතල ගැටලූකාරී තත්ත්වය හමුවේ ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යොමු කළ ලිපිය කොවිඞ් ව්‍යසනයට ගොදුරු වී ඇති ජනතාව සැම පැත්තකින්ම පීඩාවට පත්වන ආකාරය අපූරුවට පෙන්වා දී ඇත. අගෝස්තු 12 වන දින ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය රට මුහුණ දී ඇති අභියෝගය අවධාරණය කරයි. ආචාර්ය ගුණදාස අමරසේකර 2019 ජනාධිපතිවරණයේදී සහ 2020 මහමැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පූර්ණ ලෙස පෙනී සිටි බව ආණ්ඩුවට අමතක විය නොහැක. එවැනි තත්ත්වයක් තුළ කිරිපිටි ආනයනකරුවන් පොහොට්ටු රජයේ යම් පාර්ශ්වයක් අතර එකඟතාව මත නාට්‍යයක් රඟදක්වන බව පැවසීමට ආචාර්ය අමරසේකරට සිදුවීම පිළිබඳව ආණ්ඩුව ලජ්ජා විය යුතුය. ආචාර්ය අමරසේකර මෙම ලියුම්කරු සමඟ පැවසුවේ සමස්ත වෙළෙඳපොළ ක‍්‍රියාවලිය ජාවාරම්කරුවන්ගේ ග‍්‍රහණයට අසුවී ඇති බවයි. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙස තවමත් සක‍්‍රිය හමුදා සේවයේ සිටින මේජර් ජනරාල් එන්. ඞී.එස්.පී. නිවුන්හැල්ල පත් කිරීම සම්බන්ධයෙන් විමසා බැලීමට සිදුවන්නේ වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග ජාවාරම්කරුවන්ගේ අණසකට යටත් වී ඇති අවස්ථාවකය. ශ‍්‍රී ලංකාවම මුදා නොගත් ප‍්‍රදේශයක්දැයි ජනතාවට හැෙඟන තරමට තත්ත්වය භයානකය.

 පෞද්ගලික සහ රජයේ මාධ්‍ය හෙළිදරව් කරන දූෂණ, වංචා, අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කිසිදු රජයක් නිසියාකාරව ක‍්‍රියාත්මක වන්නේ නැත. බලයේ සිටින කණ්ඩායමට එරෙහි පුද්ගලයින්ට පමණක් නීතිය ක‍්‍රියාත්මක කිරීම සාමාන්‍ය තත්ත්වයකි. නීතිපති සහ අල්ලස් සහ වංචා දූෂණ විමර්ශන කොමිසම යහපාලන සමයේ පවරා තිබූ නඩු ගණනාවක් ඉවත්කර ගැනීම විමසා බැලිය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය උඩු යටිකුරු කර ඇති ශ‍්‍රී ලංකාවේ වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයකට යහපත් පාලනයක් ක‍්‍රියාත්මක කිරීමේ ගෞරවය හිමි වන්නේ නැත.

 ජාතික ආර්ථිකය බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති මෙම අවස්ථාවේ මහජන නියෝජිතයින්ට සැප වාහන ආනයනය කිරීමට රාජ්‍ය බැංකුවක් හරහා ණයවර ලිපි නිකුත් කළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවගෙන් සමාව ගත යුතුය. සැප වාහන ආනයනය කිරීමට ණයවර ලිපි නිකුත් කිරීම සහ සීනි බදු අදහාගත නොහැකි ආකාරයට පහළ දැමීම අතර වෙනසක් නැත. සමස්ත රාජ්‍ය ක‍්‍රියාවලියම අර්බුදයක බව අවධාරණය කළ යුතුමය.

 * ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment