කිලෝව 200කින් ග‍්‍රෑම් 400 රු. 78කින් කිරිපිටි මිල උස්සන්න සමාගම් අඬයි – සිමෙන්ති, තිරිගු පිටි මිලත් ඉහළට!

427

ආනයනික කිරිපිටි කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 200කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් හා මුදල් අමාත්‍යාංශය අතර පැවති සාකච්ඡුාවකදී එකඟතාවකට පැමිණ ඇත.

එහිදී ආනයකරුවන් විසින් කිරිපිටි කිලෝවක් රුපියල් 350කින් ඉහළ දැමීමට ඉල්ලීම් කර තිබේ. නමුත් දෙපාර්ශ්වය අතර එකඟත්වය ඇතිවී ඇත්තේ රුපියල් 200කින් කිරිපිටි කිලෝග‍්‍රෑමයක මිල වැඩි කිරීමටය. මේ පිළිබඳ කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික, ලක්ෂ්මන් වීරසූරිය මහතා අදහස් දැක්වමින් මෙසේ පැවසීය.

‘‘වර්තමානයේ පවතින කිරිපිටි කිලෝවක මිල රුපියල් 945 කට හදා තියෙන්නේ කිරිපිටි ටොන් එකක් ඩොලර් 2,800ක්ව තිබියදීය. එවිට අමෙරිකානු ඩොලරයක් ලංකාවේ රුපියල් වලින් 186කට තිබුණේ. දැන් අමෙරිකානු ඩොලර් එකක් රුපියල් 203යි කියලා බැංකුවේ සටහන් වුණාට අපි ගන්නේ රුපියල් 238කට. එතකොට කිරිපිටි ටොන් එකක් ඩොලර් 4,100ක් 4,200ක් වෙනවා. මේ වෙනස රුපියල් 350ක් වෙනවා. එනිසා අපි රු. 350ක් ඉල්ලූවා. මෙසේ සාකච්ඡුා වට කිහිපයකට පසු රුපියල් 200කට දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ කැමැත්ත අනුව ඉදිරි සතියේදී ගිවිසුම් අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි පැහැදිලිවම කිව්වා රුපියල් 200 ගන්නේ රුපියල් 203ට ඩොලර් එක තිබුණොත් විතරයි කියලා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව එළඹෙන සතියේ ජීවන වියදම් කමිටුව විසින් ගනු ලබන බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

දැනට වෙළෙඳපොළේ කිරිපිටි කිලෝවක මිල රුපියල් 945ක් වන අතර මෙලෙස රුපියල් 200කින් මිල ඉහළ නැංවුවහොත් කිරිපිටි කිලෝවක මිල රුපියල් 1,145ක් දක්වා ඉහළ යනු ඇත. එමෙන්ම දැනට වෙළඳපොළේ පවතින ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 78කින් ඉහළ යන අතර ඒ අනුව ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 458ක් දක්වා ඉහළ යයි.

මේ අතර සිමෙන්ති සහ තිරිඟු පිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියෙන් සිමෙන්ති නිෂ්පාදන සමාගම් සහ තිරිඟු පිටි ආනායන සමාගම් ඉල්ලා ඇත.

ජාත්‍යන්තර වෙළෙඳ පොළේ සිමෙන්ති නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල සහ තිරිඟු පිටි මිල ඉහළ ගොස් ඇති නිසා මාස හයක කාලයක් තිස්සේ මෙම භාණ්ඩ මිල ඉහළ දැමීමට ඉල්ලීම් කර ඇතැයි පාරිභෝගික නිලධාරියෙක් පැවැසීය.

උපාලි ද සේරම් සහ අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment