කිවිලකර – බණ මග දත් සොඳුරු සහපති අටමස්ථාන අධිපති
පල්ලේගම හේමරතන නාහිමියෝ

277

අභිනව අටමස්ථානාධිපති ධුරය හොබවන්නාහු පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේය. එම ධුරය වූ කලී සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම අප්‍රමාණ ගෞරවයට, බුහුමනට පාත්‍ර වන්නාවූ උතුම් පදවියක් මෙන්ම කවර ආකාරයේ බෞද්ධ නාහිමියන් වහන්සේ නමකට වුවද අතිශය දුර්ලභව හිමි වන්නා වූ අමිල අභීෂ්ට පුණ්‍ය මහිමයක අග්‍රඵලයක් වන්නේය. පල්ලේගම නාහිමියෝ ඒ අරභයා කරන ලද සංසාර ප්‍රාර්ථනා කෙබඳුදැයි පුහුදුන් සිතකට සිතන්නට පවා අසීරු වේ. එයට හේතු බොහෝය. මෙහිලා ඒ පිළිබඳ විවරණයකට අවකාශ මඳය. එසේ වුවද සැකෙවින් හෝ යමක් සඳහන් නොකළහොත් අඩුවකට වඩා වරදකැයි හඟමි.

අනුරාධපුරය යනු සිංහල බෞද්ධ සංස්කෘතියේ නිජබිම මතුනොව දෙදහස් පන්සිය වසරක් ඉක්මවූ සිංහල ජාතියෙහි ආධ්‍යාත්මයද සාඩම්බරයද ලොවටම විදහා දක්වන අසිරිමත් පුරවරයකි. වැව් බැඳි රාජ්‍යයෙහි සව් සිරියක් අහස් කුස සිඹින මහා දාගැබ් මතින් ඇදී එන මඳ නලත් එපුර සරණා යන එන සියලු දනන් ගිම් නිවා සුවපත් කරවයි. පෙර රජ දවස මනරම් ඉතිහාසයක විසිතුරු ලකුණු සේ නැඟී සිටින සඳකඩ පහණ වරක් දුටු සැණින් දෑත් හිස මුදුන් තබා පා මුල හොවන සමාධි බුදුපිළිම වහන්සේ වුවද දාගැබෙන් නැඟුණු වැවෙන් පිබිදුනු සංස්කෘතික ආධ්‍යාත්මයෙහි මහිම විදහා පාන්නේය. ආවා වූද නොආවා වූද සියලු බොදු දනන් ගේ අපමණ බුහුමනට පූජාවට, වන්දනාවට පාත්‍රවූ ජයශ්‍රී මහා බෝ සමිඳුන් සමග මේ බිම කොතැනක හෝ දිස්වන සියලු ආකාර චෛත්‍යයන්ට ප්‍රමුඛ වන්නාවූ ස්වර්ණමාලී චෛත්‍ය රාජයන් හෙවත් රුවන්වැලි සෑ රඳුන් සේ සුපතල බුදු ගුණම නිදන් කළ ඒ මහ සෑයද අනුරාධපුරයේ කිතු ගොස සඳෙව් ලොවටම රැගෙන යයි. එවන් සංස්කෘතික ආධ්‍යාත්මික සුවඳින් පිරිපුන් පින් බිමක සුපහස තරම් ශාන්ත සුවයක් බොදුණුවකුට කොතැනින් හෝ ලද හැකිද? මේ මහඟු පුරවරයේ සක්මන් කරන ගිහි පැවිදි කවරකුට වුවද එය සිංහල බෞද්ධ සංස්කෘතික සීමාවෙන් එපිට වූ ජගත් මානව සංස්කෘතියෙහිම අනූපම වූ අර්ථ සිද්ධියක් ලෙස පසක් වනු ඇත.

පල්ලේගම නාහිමියෝ මේ පින් බිමට සම්ප්‍රාප්ත වන්නාහු හැටේ දශකයේ අගභාගයේ තෙළෙස් හැවිරිදි වියෙහිදී පමණය. මාතලේ දිස්ත්‍රික්කයෙහි දඹුල්ලට නුදුරු පල්ලේගමදී උපන් උන්වහන්සේගේ මව්පියෝ පල්ලේගම කරඳගහගොල්ලේ වලව්වේ කිරිබණ්ඩා හා කරුණා කුමාරිහාමි වූහ. කරඳගොල්ල වලව්වේ නන්දරත්න යන ගිහි නමින් ළමා විය ගෙවූ නාහිමියන් සිප් සතර උගත්තේද ඒ ගමෙහි එනම් බුලගල ප්‍රාථමික විදුහලෙනි. කෙළි දෙළෙන් ගම්දොර නිදහසේ වැඩුණු සුපින්වත් දරුවකුගේ ඉරණම වෙනස් වූයේද සසර පෙර පැතුමක් නිසාය. දෙමව්පියෝ වෙසතුරු සිරිත සිහිකරමින් තම පුතු සසුනට පිදූහ. ඒ සඳහා එදා එගම්වාසී උන්වහන්සේගේ සීයා කෙනෙක්ද මැදිහත්වී ඇත. උන්වහන්සේ සාමණේර නමක් ලෙස ගෙවූ අවදිය මෙන්ම උපසපන් හිමිනමක් වසයෙන් පසු කල කාලයත් වඩා අර්ථ සම්පන්න එකක් විය. ඒ සඳහා පදනම් වූ පිරිවෙන් අධ්‍යාපනය මෙන්ම පශ්චාත් උපාධි ලද විද්‍යාලංකාර විශ්වවිද්‍යාල යුගය ගැනද නාහිමියෝ බෙහෙවින් තෘප්තිමත් වෙති. වියත්, සිල්වත් සුපම්පන්න හා උජුපටින්න නාහිමිවරුන්ගේ ඇසුරත් එයට අප්‍රමාණ අනුබලයක් වී ඇත.

කිවිලකර - බණ මග දත් සොඳුරු සහපති අටමස්ථාන අධිපති<br>පල්ලේගම හේමරතන නාහිමියෝ

වත්මන් කැලණිය විශ්වවිද්‍යාලයේ ආරම්භ වූයේ මෙරටේ බෞද්ධ සම්ප්‍රදායෙහි සාර ලකුණු අගය කළ යති පරපුරක දායකත්වය නිසාය. එහිදී භාෂා, ශාස්ත්‍ර දර්ශන දැනුමක් සමග පුරාවිද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගැනීමටද පල්ලේගම නාහිමියෝ භාග්‍යවන්ත වූහ. ගිහි සමාජයත් සඟ සසුනත් නිරවුල්ව හා පුළුල්ව වෙන වෙනම පසක් කරගත් උන්වහන්සේ බෙහෙවින් සරල වූද චාම් මෙන්ම සරල පැවැත්මෙන්ද යුතු වූහ. භික්‍ෂුව සියල්ලන්ටම ආලෝකය සපයන ප්‍රදීපස්ථම්භයක් විය යුතු බවත් භේද මැද පිරුණු කැළඹුණු සමාජ කොළහලය වටහා ගනිමින් නිශ්චල හා ප්‍රබුද්ධ සත්‍යයට ගරු කළ යුතු බවත් උන්වහන්සේ පැවසූහ. පුද්ගලවාදී ධනවාදී සමාජ ක්‍රමයක විපත ඉතා නිවැරදිව වටහා ගත් පල්ලේගම හිමියෝ ඒ සඳහා භාවිත කළ සුභාවිත ගීතයෙන්ද අප්‍රමාණ සමාජ ආමන්ත්‍රණයක් කළහ.

පල්ලේගම නාහිමියන් තේමාකර ගත් ලිපියක උන්වහන්සේ විසින් ඒ සුභාවිත ගීතයට කරන ලද සම්ප්‍රදානයන් නොතකා හැරිය නොහැක. ඒ වූ කලී අනුරාධපුර අසිරිය ගැන ලිවීමේදී රුවන්වැලි සෑ රඳුන්, ජයශ්‍රී මහ බෝ සමිඳුන් වැනි විශිෂ්ට සැමරුම් නොතකා හැරීමක් වැන්න. එහෙත් මේ සංක්‍ෂිප්ත ලිඛිතය මා වාරණය කරයි. එසේ වුවද ඒ සීතල ගී ගඟුලෙන් බිඳුවක් මම ඔබ වෙත පිරිනමනු රිසියෙමි.

මේ වනවිට උන්වහන්සේ විසින් ගීත තුන්සියයකට අසන්න ප්‍රමාණයක්ද රචනා කරනු ලැබ ඇත. එහි සුවිශේෂත්වය වන්නේ පණ්ඩිත් අමරදේව, ආචාර්ය නන්දා මාලනී ප්‍රමුඛ සියලුම ගායන ශිල්පීන් හා ශිල්පිනියන් මෙන්ම නව පරපුරේ අය විසින්ද ඒවා ගායනා කර තිබීමය. ගීත සංග්‍රහ හතරක් එළි දක්වා තිබෙන අතර රාජ්‍ය සම්මානයෙන්ද උන්වහන්සේ පිදුම් ලැබ ඇත.

භික්‍ෂූන් වහන්සේ යනු පරමාර්ථ සහ ක්‍රියා මාර්ග අනුව බුදුකුරුදම් පුරණ බෝධි සත්වයෙකැයි යන පදනමෙහි පිහිටි ගිහි පැවිදි දෙපිරිසෙන්ම ගීත රචනය සඳහා භික්‍ෂූන් වහන්සේ ඉදිරිපත්වීම පිළිබඳ විවේචන නැඟුණි. එහෙත් ‘පෙදෙන් බුදු සිරිත්‘ ලියූ සම්භාවය හිමිවරුන් අනුදත් මගෙහි පිහිටි නූතන භික්‍ෂූන් වහන්සේලා ගීත නිර්මාණය සඳහා ඉදිරිපත් වූහ. වැලිමිටියාවේ ධම්මරක්ඛිත හිමියන් ඒ සඳහා යොමු වූ අතර ඒ ගී මග බුදුගී ගඟුලක් කළ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ මැදිහත්වීම පල්ලේගම නාහිමියන් ප්‍රමුඛ පසුකාලීන යති ගී පරපුරට අප්‍රමාණ අනුබලයක් ද ධෛර්යයක්ද විය. පල්ලේගම නාහිමියන් ගේ ගීතය බුදුසිරිත, බුදුමහිමය විශද කෙරෙන ආධ්‍යාත්මික ස්වර කම්පනයක් බවට අප්‍රමාණ නිදසුන් හමුවේ. රුවන්වැලි සෑ රඳුන්ගේ අනුහස, ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අනන්ත ගුණ සමුදාය මෙන්ම බොදු උල්පත්වලින් භරිත ළයක් ඒ හැම ගීයකම රැඳී තිබුණු බව සඳහන් කළ යුතුය.

පල්ලේගම නාහිමියන් විරබිත ‘අතීතය සිහිනයක් පමණයි’ ගීතය විවාදාත්මක වූයේ එහි ප්‍රේමණීය ස්මරණයක් ඇතැයි මතුවූ අදහසක් නිසාය. ප්‍රේමය බුදුමග අනුදත් මහා කරුණාව වුවද සමහරු එය නොඉවසූහ. එහෙත් එම ගීයෙන් අවධානය කළේ ප්‍රේමයේ ශෝකයයි. ‘පේමතො ජායතී සොකො’ යනු පරම බුද්ධ භාෂිතයයි. පෙදෙහි රස හව් විඳිනා දෙනෙක් දුලබ බව අපි දනිමු. එහෙත් අප නාහිමියන්ගේ ගීතාවලිය සසර ගිම් නිවන භාවනාවක ශාන්තියක් වැන්න. කිවිලකර හා බණමග ඉඳුරා දත් උන්වහන්සේගේ ගීතය මෙරටේ සුභාවිත ගීත සාහිත්‍යයට පිරිනමන ලද සුවිශිෂ්ට සම්ප්‍රදානයක් ලෙස රසිකයෝ පිළිගනිති. සංසාර ගිරි දුර්ගය නැඟීමට අත්වැළක් බඳු වූද ජීවිත අඳුර නසාලන ආලෝකයක් සදිසි වූද ගීත රැසක් උන්වහන්සේ රසිකයන්ට දායාද කර සිටිති.

පල්ලේගම හේමරතන නාහිමියෝ මෙරටේ සමාජ-කලා සංස්කෘතික ක්‍ෂේත්‍රවල නිබඳ ගෞරවයට පාත්‍ර වන්නාහුය. ඒ ප්‍රසාදජනක බුහුමන්වලින් උන්වහන්සේ වඩාත් නිහතමානී වූහ. ස්වකීය අභිමානයත් අඳීනත්වයත් අතීත විලාසයත් උන්වහන්සේට අනන්‍ය විය. අප මුල්වරට උන්වහන්සේ දැන හඳුනාගන්නා විට උන්වහන්සේ ජේතවනාරාමාධිපති ධුරය හෙබවූහ. (අපට ඒ ඇසුරට දොර හැර දුන්නේ රඹුකන සිද්ධාර්ථ හිමියන් විසිනි.) අනතුරුව උන්වහන්සේ රුවන්වැලි සෑ රඳුන්ගේ භාරකාරත්වයට පත්ව නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ධුරයෙන්ද පිදුම් ලදහ. දේශපාලන ප්‍රශස්ති ගායනය නොරිසි උන්වහන්සේ කිසිවිටෙක ලෞකික යස ඉසුරු තරගයටද නොඑළඹුණාහ. එනිසාම උන්වහන්සේ බුද්ධ චීවරයේ අභිමානය, ගෞරවය, පූජනීයත්වය සුරකින ස්වල්පයක් වූ බුද්ධ පුත්‍ර ගණයට වැටෙන උතුම් හිමිනමකි. අටමස්ථානාධිපති ධුරය බැබළවීමට එයටත් වඩා කුමක් අවශ්‍ය වන්නේද? අප නාහිමියන්ට ආයු, වර්ණ, සුඛ, බල වේවා!

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment