කිසිම බියක් ඇතිකර ගන්න එපා මම අගමැතිකමින් යන්නේ නෑ

119

අර්බුද විසඳීමට මිත්‍ර රටවල සහයෝගය ලැබෙනවා

අගමැති ධුරයෙන් තමා ඉල්ලා අස්නොවන බවත් ඒ ගැන බියක් ඇතිකර ගත යුතු නැති බවත් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු පළාත් සභා මන්ත්‍රී සංසදය ඊයේ (26 දා) හමුවූ අවස්ථාවේදී පැවසීය.

ඉන්ධන, ගෑස්, විදුලිය හා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් පවතින බාධා මෙන්ම ඒ වෙනුවෙන් පවතින පෝලීම් ක්‍රමය අප විසින් වහා නතර කළ යුතු යැයි පැවසූ අගමැතිවරයා කෙටි කාලයක් තුළ පෝලිම් නතර කිරීමේ හැකියාව ඇති බවට විශ්වාසය පළකරමින් එම ප්‍රශ්න නිරාකරණය කළ වහාම භාණ්ඩ මිල පාලනය කරන සාකච්ඡා ආරම්භ කළ යුතු යයිද කීය.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හෝ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු නැති බවට එම පළාත් සභා මන්ත්‍රී සංසදය ඊයේ (26 දා) අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී ඔවුන් විසින් ඒකමතිකව යෝජනාවක් සම්මත කර ගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ අගමැතිවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද කීය.

රට හමුවේ ඉතා තීරණාත්මක කාලයක් ගෙවෙමින් තියෙද්දී තමයි අද ඔබ හමුවන්නේ. ඔබ දන්නවා රටත් ජනතාවත් මොනතරම් දුෂ්කරතාවලට මුහුණ දෙනවාද කියන එක මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපි සියලු දෙනා ඒක දන්නවා. රජය වශයෙන් අපි දිවා රෑ වෙහෙසෙන්නෙ මේ රටේ තියෙන මේ අභියෝගය ජයගන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ.

ප්‍රශ්නයක් විසඳගන්න ඕන සාකච්ඡා මාර්ගයෙන්. ගෝල්ෆේස් එකට ආපු කණ්ඩායම්වලටත් ඔවුන් නියෝජනය කරන නායකයන්ටත් අපි එන්න කිව්වා. අපි සමග සාකච්ඡා කරමු කිව්වා. අපි විවෘත ආරාධනාවක් කළා. අදත් ඒ ආරාධනාව කරනවා. ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ අපි එක්ක ආණ්ඩුවක් හදන්න, අමාත්‍ය වගකීම් දරන්න කියලා විරුද්ධ පක්‍ෂයටත් ඒ මන්ත්‍රීවරුන්ටත් අපි ආරාධනා කළා. ඔවුන්ට අවශ්‍ය රට හදන එක නම් අපිත් එක්ක එකතුවෙලා වැඩ කරමු කියලා කිව්වා. ඒ අවස්ථාව මග හැරලා අද මාධ්‍ය ඉදිරියට ඇවිත් අපි රටට ආදරෙයි කියන අයද ඇත්තටම රටට ආදරේ කියලා අපිට අහන්න වෙලා තියෙනවා.

අපිට විරෝධතාකරුවන් සමග ගැටුමක් නැහැ. විරුද්ධ මත ඉවසීමේ පුරුද්ද අපට දේශපාලනයෙන් පසුගිය අවුරුදු ගණනාවකම තිස්සේ ලැබුණු අත්දැකීමක්. හැබැයි මේ වෙලාවේ සමහර පිරිසක් ඉන්නවා අපේ රටට උදව් කරන්න එපා කියලා, අපි සාකච්ඡා කරන මූල්‍ය ආයතනවලට, මිතුරු රටවල්වලට විවිධ බලපෑම් කරනවා. ඒ විතරක් නෙමෙයි රජයට එරෙහිව කරන විරෝධතා බව කියමින් දෛනික ජීවිතයේ වැඩකරන මිනිස්සුන්ට විවිධ බාධා ඇති කරනවා. ඔවුන්ගේ සාමකාමී දිවි පෙවත අඩාල කරනවා. හැබැයි ඒක හොඳ දෙයක් නෙමෙයි.

රටේ මේ වෙලාවේ උද්ගතවෙලා තියෙන තත්ත්වය අපි එකින් එක විසඳමිනුයි ඉන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝකු බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි සංවිධාන වගේම මිත්‍ර රටවල් අපිට මේ වෙලාවේ උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. පසුගිය දවස්වල චීනයේ අගමැතිතුමාට කතා කළා. තව වෙන රටවල අගමැතිවරුන්ට කතා කළා. ඔවුන්ගේ සහයෝගය අපිට දෙනවා කියල පොරොන්දුවෙලා තියෙනවා.

ඔබ අපි එක්වෙලා පළමුවෙන් රටේ තියෙන මේ පෝලිම් යුගය නවත්වලා, නවත්වන්න කටයුතු කරලා, කෙටි කාලයක් තුළ කරන්න පුළුවන් වැඩපිළිවෙළ අපි දියත් කරන්න ඕනේ කියලයි මම විශ්වාස කරන්නේ. කිසිම හිඟයකින් තොරව ඉන්ධන දෙන්න පුළුවන් කියන විශ්වාසය අපි ජනතාවට දෙන්න ඕන. මොකද බූලිවලට ගහල, ෆුල් ටෑන්ක් කරගෙන, බෝතල්වලට අරගෙන යන්න පටන් ගත්තා පසුගිය කාලේ. මේවායින් තමයි අපිට ප්‍රශ්න ඇති වුණේ. විදුලිය කප්පාදුව ගත්තත්, මිනිත්තුවෙන් මිනිත්තුව හරි විදුලි කප්පාදුව අඩු කරන්න අපිට

පසුගිය කාලේ හැකි වුණා. ගෑස් ප්‍රශ්නයත් අපිට සති කිහිපයක් තුළ විසඳන්න පුළුවන්. ඒ ප්‍රශ්න ටිකට පිළිතුරු සොයාගෙන ඇවිත් අපි ඊළඟට භාණ්ඩ මිල පාලනය කරන, එහෙම නැතිනම් අඩුකරන සාකච්ඡාව ආරම්භ කරන්න ඕනේ. එයත් කරන්න පුළුවන්. අපි එකතු වුණොත් මේ හැමදේම විසඳන්න අපිට පුළුවන් වෙයි.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment