කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා!…අරගලය අපි හැමෝගෙමයි

100

දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස් වෙත හාල් පොත, ආහාර මුද්දර, දිළිඳු සහන වැනි ආණ්ඩුවේ සෘජු ආධාර සැපයෙන ක්‍රමවේද වෙනුවට ‘ජනසවිය’ වැඩසටහන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හඳුන්වා දුන් අතර, අනතුරුව බලයට පැමිණි පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව ‘සමෘද්ධි’ යනුවෙන් එය වෙනස් කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ එය ‘දිවිනැගුම’ විය. නැවත කැබිනට් පත්‍රිකාවකින් නම වෙනස් කළ යහපාලන ආණ්ඩුව එයම සමෘද්ධිය ලෙස නම් කළේය. විවිධ නම්වලින් එකම ක්‍රියාදාමය වසර ගණනක් පුරා මේ අයුරින් ක්‍රියාත්මක වුවද අපේක්ෂිත ප්‍රතිඵල නම් ළඟා කර ගත නොහැකි වී ඇති බව මේ වන විට පැහැදිලිය.

කෙසේ වුවද රට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ අපහසුතාවට පත් වී සිටින ජනතාව වෙත සහන සැලසීමේ අවශ්‍යතාවට ප්‍රමුඛත්වය දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද 2022 අතුරු අය වැය යෝජනා මේ වන විටත් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. අතුරු අයවැයෙන් ඒ සඳහා විශාල අරමුදල් ප්‍රමාණයක් වෙන් කරනු ලැබීය. එසේම “සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය” නැවත පණ ගන්වා, එයින් අපේක්ෂිත අරමුණ සාක්ෂාත් කර ගැනීමට වත්මන් රජය ක්‍රියාත්මක වී තිබේ.

සුදුසුම හා අවශ්‍යම පුද්ගලයන්ට ප්‍රතිලාභ හිමි කර දීමත්, එම ක්‍රියාවලිය කඩිනම් කිරීමත් සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ඊට නව යාන්ත්‍රණයක් හඳුන්වා දෙනු ලැබීය. දැනට ක්‍රියාත්මක මහජන සුබ සාධන වැඩසටහන් වන සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන් මෙන්ම වත්මන් ආර්ථික අර්බුදය හමුවේ රජයේ සුබසාධක ප්‍රතිලාභ බලාපොරොත්තු වන පිරිස් ද එමඟින් හඳුනා ගැනීමට බලාපොරොත්තු වේ. පවුල් මිලියන 3.9ක් මෙම වැඩසටහන හරහා අයැදුම් කරනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර කඩිනම් ක්‍රියාවලියක් හරහා මේ වසර අවසන් වීමට පෙර එම වැඩසටහන සම්පූර්ණ කිරීමට නියමිතය.

ජනාධිතිවරයාගේ උපදෙස් පරිදි ආරම්භ කළ මෙම “කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා!” කඩිනම් වැඩසටහනට මේ වන විටත් සුබසාධක ප්‍රතිලාභ ලබන අයට මෙන්ම එසේ නොලබන, නමුත් සුබසාධක ප්‍රතිලාභ බලාපොරොත්තු වන ඕනෑම අයකුට අයැදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත.

ඔක්තෝබර් 28 දක්වා අයදුම් කළ හැකියි

ලැබෙන වාර්තා අනුව පසුගිය බදාදා වන විට අයැදුම්පත් මිලියන 2.3 ක් පමණ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා තහවුරු කළේය. අයැදුම්පත් බාර ගැනීමේ දිනය ඔක්තෝබර් 28 දා දක්වා දීර්ඝ කර කරමින් තවදුරටත් අයැදුම් කළ නොහැකි වූ පිරිසට ඊට අයැදුම් කිරීමට අවස්ථාව සලසා තිබේ.

අයැදුම්පත් පද්ධතිගත කිරීම

කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා!…අරගලය අපි හැමෝගෙමයි

අයැදුම්පත් පරිගණකගත කිරීම සඳහා සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සංවර්ධනය කර ඇති සුබසාධක ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය (Welfare Benefit Information System) සමඟ කටයුතු කිරීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සුබසාධන ප්‍රතිලාභ තොරතුරු නිලධාරීන් අනුයුක්ත කර තිබේ. ඔවුන් විසින් මේ වන විටත් ලැබී ඇති අයැදුම්පත්, පද්ධතිය මඟින් ලබා දී ඇති යොමුව (Link) හරහා පරිගණකගත කරමින් සිටී. සියලු අයැදුම්පත් සඳහා QR කේතයක් වෙන් කෙරෙන්නේ මෙම ක්‍රියාවලියෙනි.

දත්ත රැස් කිරීමට ගෙයින් ගෙට

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් දත්ත රැස් කිරීමට ප්‍රදේශීය ලේකම් විසින් ක්ෂේත්‍ර නිලධාරීන් යොදවා තිබේ. ඒ අනුව ඔවුන් විසින් ජංගම දුරකථන හා ජංගම දුරකථන යෙදවුමක් භාවිතයෙන් සියලු අයැදුම්කරුවන්ගේ නිවෙස් වෙත ගොස් අදාළ දත්ත රැස් කිරීම සිදු කෙරේ. මෙම යෙදවුම (App) භාෂා තුනෙන්ම ක්‍රියාත්මකය. එසේම අන්තර්ජාල පහසුකම ඇතුව හෝ නැතුව එය භාවිත කළ හැකි වීම විශේෂත්වයකි. QR කේතය අයැදුම්කරුවන්ට ලබා දෙන්නේ ඉන් අනතුරුවය. මෙසේ එක් රැස් කළ දත්ත සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය හිමි වූ පසු, එම අයැදුම්කරුවන්ගේ නාම ලේඛනය පද්ධතිගත වේ. විශේෂයෙන් මේ වන විටත් ප්‍රතිලාභ ලබා ගන්නා පිරිස කොපමණද? කොපමණ පිරිසකට අලුතින් ප්‍රතිලාභ ලබා දිය යුතුද? යන්න පිළිබඳ මෙමඟින් හඳුනා ගත හැකිය.

“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා !”

වැඩසටහනේ වඩාත්ම වැදගත් පියවර මෙයයි. 2019. 06. 20 දින නිකුත් කරන ලද 2128/24 දරන ගැසට් පත්‍රයෙන් ඒ සඳහා පැහැදිලි නිර්ණායක 06ක් ඉදිරිපත් කර තිබේ. ඊට අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථික මට්ටම, වත්කම්, නිවාස තත්ත්වය සහ පවුලේ ජන විකාශනය ඇතුළත් අතර අදාළ දර්ශක 22ක් යටතේ සූත්‍රගත ක්‍රමයකට දරිද්‍රතාව ගණනය කෙරේ. මෙම ක්‍රියාවලියෙන් අයැදුම්කරුවන් කිසිවකුත් මඟ නොහැරෙන අතර ඔවුන්ට හිමි වන ලකුණු අනුව සුබසාධක ප්‍රතිලාභ සඳහා “සුදුසුම” අයැදුම්කරුවන් හඳුනා ගෙන දෙසැම්බර් 15 වන දින වන විට ඔවුන්ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අනිවාර්යයෙන් ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමටත් අවස්ථාව

ප්‍රදර්ශනය කරන නාම ලේඛනය අනුව යම් විරෝධතාවක් මෙන්ම අභියාචනාවක් තිබේ නම් ඒවා ඉදිරිපත් කිරීමට ද යම් කාල සීමාවක් ලබා දේ. ඒ ප්‍රසිද්ධ නිවේදනයක් මඟිනි. ඒවා ලබා දිය යුත්තේද ප්‍රදේශීය ලේකම් කාර්යාලයටය. සුබසාධක ප්‍රතිලාභ පනතේ අංක 12(1)ට අනුව පත් කෙරෙන අභියාචනා කමිටු මඟින් ඒවා විමර්ශනයට ලක් කෙරෙන අතර එම තීරණ ද ප්‍රදේශීය ලේකම්ට හා මණ්ඩලයට දැනුම් දෙනු ඇත.

මෙම ක්‍රියාවලියේ අවසන් අදියර වන්නේ ප්‍රතිලාභී අවසන් ලැයිස්තුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමයි. අනතුරුව එම නාම ලේඛනය ප්‍රසිද්ධියට පත් කරනු ලැබේ.

මෙහිදී අවධාරණය කළ යුතු වැදගත් කරුණකි. එනම් මේ වන විටත් ප්‍රතිලාභ ලබන්නන්ට මෙම වැඩසටහනට මාරු වන තුරු සුපුරුදු පරිදි අදාළ ප්‍රතිලාභය හිමි වේ. ඒ ඒ යෝජනා ක්‍රමයන්ට අනුව ඔවුන් ලබන ප්‍රතිලාභය කොපමණ දැයි තීරණය වන්නේ දෙසැම්බර් මාසයේ දී සිදු කරන සමාජ ප්‍රතිලාභ ලැයිස්තුව සැකසීමෙන් පසුවයි. දීමනා ගෙවීම සිදු වන්නේ ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුවය. කෙසේ වුව ද 2023 මුල් මාස දෙක ඇතුළත මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.

මේ අර්බුදය අවසන් කිරීමට නම් අප රටක් ලෙස සාමූහික විය යුතුමය. ඒ වෙනුවෙන් බිම් මට්ටමේ සිට ඉහළට ක්‍රමානුකූලව ප්‍රතිසංවිධානය විය යුතුය. මෙම ක්‍රියාවලිය එහි මූලික පදනම බව කිව හැකිය. නිශ්චිත වසර කිහිපයක් ඇතුළත මෙම සුබසාධක ප්‍රතිලාභ ලබන පිරිස් ඉන් ඔබ්බට ගෙන යා යුතුමය. ඒ සඳහා ඔවුන් සවිබල ගන්වා ආර්ථිකය ශක්තිමත් කළ යුතු වේ. මෙම යාන්ත්‍රණයෙන් අපේක්ෂා කරනුයේ මෙරට ආර්ථික ස්ථාවරත්වයට පදනම සැකසෙන පුළුල් සැලැස්මකි.

මිත්‍ර හෙට්ටිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment