කිහිල්ලේ දහදියෙන් කාංසාවට සාර්ථක ප්‍රතිකාරයක්

747

කාංසාව නමැති රෝග තත්ත්වය සුව කිරීම සඳහා රෝගියාට වෙනත් අයකුගේ කිහිලිවල පවතින දහදිය ආඝ්‍රාණය කිරීමට සැලැස්වීම සාර්ථක ප්‍රතිකාරයක් බව ස්වීඩනයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තිබේ.

මෙහිදී ස්වෙච්ජා සේවකයන්ගෙන් ලබා ගත් කිහිලිවලින් මතු වූ දහදිය කාංසාව රෝග තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ට ආඝ්‍රාණය කිරීමට සලස්වා ඇති අතර එසේ කිරීමෙන් එම රෝගීන්ගේ රෝග තත්ත්වය යහපත් අතට හැරී ඇති බව පර්යේෂකයෝ පවසති.

මෙහිදී කාංසාව සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය දහදිය එකතු කර සැපයූ අයට සතුටුදායක හැඟීම් හෝ බියජනක හැඟීම් පහළ වන චිත්‍රපටයක් නරඹන විට එකතු කරගත් දහදිය සපයන ලෙස පර්යේෂකයන් කළ දැනුම් දීමට අනුව එම දහදිය සපයා දී තිබේ. අධ්‍යයනයට සහභාගි කරගත් කාංසාවෙන් පෙළෙන පුද්ගලයන් පිරිසෙන් කොටසකට මෙම ස්වෙච්ඡා සේවකයන් විසින් ලබා දුන් දහදිය ආඝ්‍රාණය කිරීමට ලබා දී ඇති අතර සෙසු පිරිසට පිරිසිදු වාතය ආශ්වාස කිරීමට ලබා දී තිබේ. මෙහිදී දහදිය ආඝ්‍රාණය කිරීමට සැලැස්වූ පිරිස සෙසු පිරිසට වඩා සුව වන ප්‍රවණතාවක් පෙන්වා ඇති බව ඉකුත් සතියේ පැරිස් නගරයේ පැවති වෛද්‍ය සමුළුවකදී මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල එළිදක්වමින් පර්යේෂකයන් විසින් සඳහන් කර තිබේ.

තම සමීපතමයන්ගේ ඇසුරෙන් ඈත්ව සිටීම යමෙකුට මානසික අවපීඩනය (ඩිප්‍රේෂන්) හා අන් අයගෙන් කොන්වී ඇති බවට ඍණාත්මක සිතුවිලි පහළ වීමට හේතු වන බව පෙන්වා දී ඇති පර්යේෂකයන් ශරීරයෙන් නික්මෙන සුවඳ හා මානසික සෞඛ්‍යය අතර දැඩි සබඳතාවක් පවතින බව මෙම අධ්‍යයනයේදී හෙළි වූ බව අවධාරණය කර තිබේ. මිනිසාගේ ශරීරයෙන් පිටවන දහදිය බොහෝ විට සුවඳක් නොමැති වන අතර ඉකිළි හා කිහිලි ප්‍රදේශවලින් නිකුත් කෙරෙන දහදිය සංයෝග නිපදවීම නිසා ඒවායෙන් යම් සුගන්ධයක් නිකුත් කෙරෙන බව වෛද්‍ය මතය වී තිබේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment