කි‍්‍රකට් කී‍්‍රඩකයින්ගේ සමාජ මාධ්‍ය ජාලා තහනම් කළ යුතුයි – අර්ජුන රණතුංග

727

කි‍්‍රකට් විනාශයට පරිපාලනය මෙන්ම ඒජන්තවරුත් වගකියන්න ඕනි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ සමාජ මාධ්‍ය පරිහරණය තහනම් කළ යුතු බව හිටපු ටෙස්ට් සහ එක්දින ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ඊයේ (08 වැනිද) ‘දිවයින’ට පැවසීය.

ඔවුන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරත කාල පරිච්ෙඡ්දය තුළ තාවකාලිකව මෙම තහනම සිදුකළ යුතු බවත් හෙතෙම කීවේය.

ඇතැම් ක‍්‍රීඩකයන්ගේ කළමනාකරුවන් නොහොත් ඒජන්තවරුන් තම තමන්ගේ ක‍්‍රීඩකයන් ප‍්‍රවර්ධනය කිරීම සඳහා විශාල වියදමක් දරමින් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඇතැයිද රණතුංග මහතා පැවසීය.

මුදල් ගෙවා සමාජ මාධ්‍ය තුළ ජනප‍්‍රිය කරවීම ක‍්‍රීඩා කෞෂල්‍යය ඉහළ යෑමට හේතුවක් නොවන බව කී අර්ජුන රණතුංග මහතා එහෙයින් ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සාධාරණ නොවන එහෙත් ආයෝජනාත්මක එවැනි තීන්දු ගත යුතුව ඇති බවත් හෙතෙම කියා සිටියේය.

තමා ක‍්‍රිකට් පරිපාලනය තුළ සිටියේ නම් අනිවාර්යයෙන්ම මෙම තීරණය ක‍්‍රියාත්මක කරන බවත් ඔහු පැවසීය.

එසේම තමා ඉන් එහාට ද ගොස් ක‍්‍රීඩකයන්ගේ මානසික මට්ටම් බිඳ වැටෙන සේ ඇතැම් අදහස් පළ කරන ක‍්‍රීඩාලෝලී සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් ගෙන් එවැනි දෑ නොකරන මෙන් ගෞරවනීය ඉල්ලීමක් සිදු කිරීමට අමතක නොකරන බවත් අර්ජුන රණතුංග මහතා කීවේය.

මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව විනාශ වීමට ක‍්‍රිකට් පරිපාලනය මෙන්ම ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ සිටින ඒජන්තවරුන් නොහොත් කළමනාකරුවන් සෘජුව වගකිව යුතුව ඇතැයි හෙතෙම චෝදනා කළේය.

මෙම ඒජන්තවරුන් මුදල් ඉපයීම මුඛ්‍ය පරමාර්ථය කර ගනිමින් දිගින් දිගටම කටයුතු කිරීම තුළ ක‍්‍රීඩාව කබලෙන් ළිපට වැටී ඇති බවත් කී රණතුංග මහතා මෙම ඒජන්තවරුන් තේරීම් කමිටුවට මෙන්ම ක‍්‍රිකට් පරිපාලනයට දැඩි බලපෑම් එල්ල කරමින් කටයුතු කරන බවත් හෙතෙම තවදුරටත් චෝදනා කළේය.

එසේම ඇතැම් ක‍්‍රීඩකයන් ආගම් ප‍්‍රචාරණය කිරීමේ මාධ්‍යයක් ලෙස ක‍්‍රිකට් ක‍්‍රීඩාව යොදාගෙන ඇති බවත් කී අර්ජුන රණතුංග මහතා ඇතැම් ක‍්‍රීඩකයන් පිටිය තුළ ඕනෑවටත් වඩා සිදුකරන ක‍්‍රියාකාරකම් තුළ ඒ පිළිබඳ ඇති සැකය තවත් තීව‍්‍ර කරවන්නක් බවත් වැඩිදුරටත් ‘දිවයින’ට සඳහන් කළේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment