කීර්ති නාමයට හානි කළැයි විමලවීර සහ කෝකිලාගෙන් රවි මිලියන 400ක් වන්දි ඉල්ලයි

158

සාවද්‍ය ප‍්‍රකාශයක් සිදු කිරීමෙන් තම කීර්තිනාමයට කළ හානිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරයකුට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියට විරුද්ධව නීතිමය පියවර ගෙන ඇත.

එම සාවද්‍ය ප‍්‍රකාශය මගින් තම කීර්තිනාමයට කළ හානියට සති දෙකක් ඇතුළත රු. මිලියන 200 බැගින් මිලියන 400 ක වන්දි මුදලක් ලබාදෙන ලෙස එම පාර්ශ්වයන් වෙත දැනුම් දී තිබේ.

රවී කරුණානායක මහතා විසින් මෙසේ නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත්තේ, රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියට විරුද්ධවය.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සීනි සඳහා බදු අඩු කිරීම, සීනි ආනයනය සහ ගබඩාකරණය වංචනික ලෙස සිදුකිරීම, ළඟම මිතුරන් සහ සමාගම්වලට සීනි ආනයනය වෙනුවෙන් තම ගබඩා පහසුකම් ලබාදීම ආදී වංචනික ක‍්‍රියාවන් රැුසක් සිදුකළ බවට 2021.08.07 දා එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට අපහාස කර ඇති අතර, එවැනිම සාවද්‍ය චෝදනාවන් ඉදිරිපත් කරමින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් 2021.08.05 දින වෙනත් නාලිකාවක ප.ව. 6.55 ප‍්‍රවෘත්ති විකාශයන්හිදී හිටපු අමාත්‍යවරයාගේ කීර්ති නාමයට හානිවන පරිදි ප‍්‍රකාශයන් සිදුකර තිබේ.

මෙසේ පදනම් විරහිත සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් අදාළ රාජ්‍ය අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරිය විසින් ප‍්‍රසිද්ධ මාධ්‍යයන් හරහා හුදෙක් ජනතාව නොමගහැරීමේ අභිලාශයෙන් සිදුකළ අසත්‍ය ප‍්‍රකාශයන් හේතුවෙන් පුද්ගලික වශයෙන් හා දේශපාලනමය වශයෙන් හිටපු අමාත්‍යවරයාගේ කීර්තිනාමට බලවත් හානියක් සිදුවූ අතර එමගින් ඒ මහතාගේ මානසිකත්වයටද එල්ල වී ඇත්තේ දැඩි ප‍්‍රහාරයකි.

රවි කරුණානායක මහතාගේ දියණියට අයත් සමාගමක් වෙතද පසුගියදා මෙවැනිම අසත්‍ය චෝදනාවන් ඉදිරිපත් වූ අතර එම චෝදනා සියල්ල සාවද්‍ය බවට තහවුරු කරමින් එම සමාගම මගින් මාධ්‍ය වෙත නිවේදනයන්ද නිකුත්කර තිබියදීත්, නැවත නැවත මේ ආකාරයෙන් දූෂමාණ ප‍්‍රචාරයන් මුදාහැරීම මගින් හිටපු අමාත්‍යවරයාගේ මෙන්ම ඔහුගේ පවුලේ කීර්තිනාමය වෙත දැඩි බලපෑමක් එල්ලවී ඇති අතර එයින් ඔවුන් ලැබූ මානසික පීඩනය ඉතාමත් දැඩිය.

අදාළ හානිය වෙනුවෙන් එක් අයෙකුගෙන් රු. මිලියන 200 බැගින් රු. මිලියන 400 ක වන්දියන් ඉල්ලා එන්තරවාසි යොමුකිරීමට මේ වනවිට පියවර ගෙන ඇති අතර, දෙසතියක් ඇතුළත අදාළ වන්දි මුදල් නොලැබුණහොත්, ඔවුනට විරුද්ධව ඉදිරි නීතිමය පියවර ගැනීමටද නියමිතය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment