කුඩය සහ අමුඩය – (ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සංස්කෘතිය)

1509

සෑම දියුණු රටකටම ප්‍රවාහන සංස්කෘතියක් තිබේ. ලංකාව වැනි දියුණුවීම මගදී කඩා වැටුණු රටවලටද ප්‍රවාහන සංස්කෘතියක් තිබේ. ඔබේ මී මුත්තා ගමන් ගියේ පයිනි. ඔහු භාණ්ඩ ප්‍රවාහනය කළේ හිස මත තබාගෙන හෝ කර මත තබාගෙනය. ඔහු විටෙක ඔරුවෙන්ද භාණ්ඩ ප්‍රවාහනය කළේය. ලෝකයේ ඉපැරණිම භාණ්ඩ ප්‍රවාහන මාධ්‍ය ඔරුව බවට විශ්වාසයක් පවතී. ඔරුව පිළිබඳ කතාව දුරදිග නොයවමු. ඔබේ මුත්තා ගමන් ගියේ බර කරත්තයෙනි. ඔහු භාණ්ඩ ප්‍රවාහනයට පාවිච්චි කළේද එම වාහනයයි. බර කරත්තයෙන් භාගයක් ලී වලින් තනා තිබේ. එහි ඉතිරි භාගය හෙවත් එන්ජිම වන ගොනා සජීවී සත්වයෙකි. අර්ධ යාන්ත්‍රික සහ අර්ධ ජීවී මනුෂ්‍යයකු නිෂ්පාදනය කළොත් ඔහු හඳුන්වනු ලබන්නේ SI-BOG වරයකු ලෙසය. ඒ අනුව ගොන් කරත්තයද SI-BOG වාහනයකි. ගොන් කරත්ත කතාව දුරදිග නොයවමු. ඔබේ සීයා ගමන් කළේ පා පැදියෙනි. ඔහුට මිල මුදල් යහමින් තිබුණේ නම් කාර් එකකුත් තිබෙන්නට ඇති. ඔබගේ පියා ගමන් ගියේ බස් එකෙන් දුම්රියෙන් හෝ මොටෝ රථයෙනි. ඔබ ගමන් යන්නේද මෙවැනි වාහනයකිනි. රටක ප්‍රවාහන සංස්කෘතිය පරිණාමය වන ආකාරය ඉතා ලුහුඬු ලෙස එසේ ලියා දක්වමු. එසේම ලංකාවේ ප්‍රවාහන සංස්කෘතියට කෙලවී ඇත්තේ කොතැනින් දැයි විග්‍රහ කර බලමු.

 මේ දවස්වල වැඩියෙන්ම ජනතාවට අවශ්‍ය එහෙත් මිලට ගැනීමට නොහැකි පාරිභෝගික භාණ්ඩය වූ කලී ඉන්ධන ය. ඒ වර්ගයේ ඊළඟ භාණ්ඩය වන්නේ බයිසිකල්ය. ලෝකයේ දියුණු රටවල් වැඩි හරියක ප්‍රවාහන සංස්කෘතිය තුළ බයිසිකලයට ලොකු තැනක් ලැබේ. ලංකාවේ ප්‍රවාහන සංස්කෘතිය තුළ බයිසිකලයට හිමිවන වර්තමාන තැන ඉතා සුළුය. ඊට වඩා ඉහළ තැනක් මෝටර් සයිකලයට තිබේ. ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් බයිසිකල් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මේ දිනවල මේ රටේ ජනතාව විසින්ම ක්‍රියාත්මක කරනු ලැබ ඇත. මේ නිසා බයිසිකල් කෙරෙහි පවතින ඉල්ලුම බෙහෙවින් ඉහළ ගොස් ඇති අතර රුපියල් 18000 ට තිබූ බයිසිකලය රුපියල් 39000 වී තිබේ. රුපියල් 30000 ට තිබූ බයිසිකලය රුපියල් 65000 කි. රුපියල් 50000 ට විකිණීමට තිබූ කඳු අද්දන ගියර් කිහිපයක් ඇති බයිසිකලය රුපියල් 90000 ක් පමණ වේ. මෙයට අවුරුදු කිහිපයකට පෙර රුපියල් 90000 ක් දෙන විට බ්‍රෑන්ඩ් නිව් අත් ට්‍රැක්ටරයක් ගැනීමට පුළුවන්කම තිබිණ. බයිසිකල් මිල ගැන තවදුරටත් කතා කළොත් මෙසේද කිව යුතුව තිබේ. පිට රටින් ගෙන්වන බයිසිකල් මෙන්ම මේ රටේ හදන බයිසිකල්ද මේ රටේ වෙළෙඳපොළේ ඇත. හැබැයි මේ රටේ හදන බයිසිකල්වල මිල රටින් ගෙන්වන බයිසිකල්වලට වඩා මිලෙන් ඉතා ඉහළය. අපට කෙලවෙන තැන ඔතනය. මේ රටේ බයිසිකලයක් නොව කුඩයක් හැදුවත් අමුඩයක් මැහුවත් මිල ඉතා ඉහළය. එබැවින් එම භාණ්ඩ පිට රටින් ගෙන්වා අඩුවට දීම වඩාත් පහසු සහ සාක්කුවට හිතවත් ක්‍රියාවක් වේ. දැන් ඔබ කල්පනා කරනවා ඇත්තේ පිට රට මිනිස්සු අමුඩ ගහන්නේ නැති බැවින් ඒවා ආනයනය කරන්නේ කෙසේද යන්නය. ඉතාම ලාබෙට අමුඩ ඕඩරය ඉන්දියාවට දිය හැකිය. අමුඩය කොටු කොටු වේවා, බල්ලන් සහ පූසන් මුද්‍රණය කළ ඒවා වේවා මැදට මලක් ඇල්ලූ ඒවා වේවා ඕනෑම එකක් සැපයීමට සමත් ව්‍යාපාරිකයෝ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිටිති.

 ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය ලෙස බයිසිකලය ප්‍රවර්ධනය කිරීමට හැකි නම් එමගින් සිදුවන ඉන්ධන ඉතිරිය රටට විශාල විදේශ විනිමයක් ඉතිරි කර දෙනවා ඇත. බයිසිකලයට යොදන ඉන්ධනය වූ කලී කකුල් දෙකේ හයිය පමණි. මේ බව තේරුම්ගෙන තිබෙන ජපානය තම රටේ ප්‍රධාන නාගරික ප්‍රවාහන උපකරණය ලෙස බයිසිකලය යොදාගෙන ඇත. ටෝකියෝ නගරයට දුම්රියෙන් එන පුද්ගලයාට දුම්රියපළ අසල තිබෙන බයිසිකල් ගාලෙන් බයිසිකලයක් ලබාගත හැකිය. එම බයිසිකල් එක පේළියට තබා ඇති අතර බිම සිටවූ යකඩ පොලුවලට ලොක් එකකින් සම්බන්ධ වී තිබේ. මේ ලොක් එක ඇරීම සඳහා තමන්ගේ දුරකථනයේ තිබෙන ඛේතයක් යොදාගත හැකිය. මෙම ඛේතය යෙදීමත් සමගම බයිසිකලයට වැය වන කුලිය ටෙලිෆෝන් බිලට එකතු වෙයි. ඉන්පසු දවස පුරාම එම බයිසිකලයෙන් ටෝකියෝ නගරය පුරා ගමන් කළ හැකිය. බයිසිකලය පරිහරණය කළ අය ආපසු ගෙදර යන විට බයිසිකලය එය ලබාගත් තැන පිහිටි යකඩ පොල්ලට සම්බන්ධ කර ඛේතයක් යෙදිය යුතු වෙයි. එවිට මාරයා පැමිණියත් ගලවා ගැනීමට නොහැකි වන පරිදි යකඩ පොල්ලට ලොක් වෙයි.

 මෙවැනි තත්ත්වයක් ලංකාව වැනි වසර  2500 ක නිර්මල ඉතිහාසයක් තිබෙන රටක ඇති කළ හැකිද? ලංකාවේදී මේ බයිසිකලය ලබා ගන්නා එකා කුඩුකාරයෙක් නම් ඌ ටිකක් ඈතකට ගොස් බයිසිකලය කැබලි කර තලා යකඩ මුදලාලි කෙනකුට කිලෝ ගාණට විකිණීම නොවැළැක්විය හැකිය. අලුත් බයිසිකලයක් වමනය දමන තුරු පොලිසිය ඌට ගැහුවත් පරණ බයිසිකලය යළි කවදාවත් ලැබෙන්නේ නැත. ලෝකයේ දියුණු රටවල් වැඩි හරියක ජනතාව සේවය කරන්නේ තම සේවා ස්ථානයට කිලෝමීටර් පහ, හය නොඉක්මවන දුරිනි. ඒත් ලංකාවේ ඇතැම් සේවකයෝ ස්වකීය වැඩ බිමට හෝ කාර්යාලයට ඒම සඳහා කිලෝමීටර් 25 ක් 50 ක් හෝ සීයක් වැය කරයි. මෙය බරපතළ අර්බුදයකි. එවැනි දුරක් උදේ හවස බයිසිකලෙන් යෑම මෙරට සුප්‍රකට බයිසිකල් ශූරයා වූ සුමනවීර පවා අනුගමනය කරන්නේ නැති බව අපගේ වැටහීමයි.

 ඇලන් ටියුරින් නමැති විශිෂ්ට විද්‍යාඥයෙක් පසුගිය ශතවර්ෂයේ මුල සිට මැද දක්වා එංගලන්තයේ ජීවත් විය. ඔහු සමරිසියකු වූ අතර නූතන පරිගණකයේ පියා විය. ඇලන් ටියුරින් දිවීමට මහත් සේ ප්‍රිය කළ කෙනෙකි. ඔහු පදිංචිව සිටි නිවස සහ ඔහු සේවය කළ විශ්වවිද්‍යාලය අතර දුර කිලෝමීටර් 20 ක් පමණ විය. ඇලන් ටියුරින් හැම උදයකම මේ කිලෝමීටර් 20 දිව ගියේය. ඔහු ආපසු ගෙදර ආවේද ඒ ආකාරයෙන්ම දෙපයිනි. ලංකාවේ කෙනෙක් මේ ආකාරයෙන් කළොත් මේ රටේ ජනයා කියනු ඇත්තේ ඔහු පිස්සකු බවයි. ඒ නිසා අපගේ ප්‍රවාහන සංස්කෘතිය වෙනස් කිරීමට නම් අපගේ අනෙක් සංස්කෘතික ගති ලක්ෂණ වෙනස් විය යුතු බවත් හිතන පතන විදිහ වෙනස් විය යුතු බවත් ලියා තබමු.

advertistmentadvertistment
advertistmentadvertistment