‘කුඩ්ඩෝ’ නව කැලණි පාලම මත මගීන් කොල්ලකති

4112

පොලිස් මුරපොළක් වහා අවශ්‍යයි
● පෑලියගොඩ, ග්‍රෑන්ඩ්පාස් පොලිසිවල කඹ ඇදිල්ලෙන් ජනතාව නත්නත්තාරයි
● පාසල් සිසුවකුට සුද්දයක් දුන් 2ක් ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් අල්ලයි

කාලාන්තරයක් පුරාවට කොළඹ නව කැලණි පාලම මත සිට රාත්‍රි කාලයට එහි යන එන මගීන්ගේ මුදල්, රන් ආභරණ සහ ජංගම දුරකථන මංකොල්ලකෑමේ නිරතව සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින කණ්ඩායමක් හේතුවෙන් මගී ජනතාව මහත් බියට හා අසරණ තත්ත්වයට පත්ව සිටී.

මේ තත්ත්වය පොලිස් පරීක්‍ෂණවලින්ද හෙළිවී ඇති අතර නව කැලණි පාලම මත සිදුවන මේ අපරාධ පිළිබඳව පැමිණිලි කිරීමට පෑලියගොඩට සහ ග්‍රෑන්ඩ්පාස් පොලිසිවලට යන ජනතාවද මේ ස්ථාන දෙකේ පවතින කඹ ඇදිල්ලක් හේතුවෙන් මහත් අසරණ තත්ත්වයට පත්ව ඇත.

මේ ස්ථානයේ ආරක්ෂිත කැමරා පද්ධතියක් නොමැතිවීම සහ රාත්‍රී පොලිස් මුරපොළක් නොමැතිවීම මංකොල්ලකරුවන්ට මහත් පිටුවහලක් ද වී ඇත.

පසුගියදා කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාපිටියේ පැවැති අයි පී එල් සමාරම්භක උත්සවය නැරඹීමට ගිය පාසල් සිසුවෙකු ද මේ සොරමුලේ මංකොල්ලකෑමකට ලක්විය.

මේ ශිෂ්‍යයා ක්‍රිකට් තරගය නරඹා පා ගමනින් තම මිතුරා සමඟ රාත්‍රී 12.30 ට නව කැලණි පාලම දෙසට පැමිණෙන විට එහි රැඳී සිටි සිව් දෙනෙකු විසින් පිහි පෙන්වා සිසුවාගේ මුදල් පසුම්බිය, අත්ඔරලෝසුව සහ රුපියල් ලක්ෂ 2 1/2 ක් වටිනා ඇපල් 12 වර්ගයේ ජංගම දුරකථනය මංකොල්ලකා පලාගොස් ඇත.

පසුව සිසුවා දෙමාපියන්ට මෙය දන්වා ඔවුන්ද ගෙන්වාගෙන ග්‍රෑන්ඩ්පාස් පොලිසියට සිද්ධිය සැළකර ඇත. පැමිණිල්ලක් ලෙස මෙය සටහන් කර නොගන්නැයි ඉල්ලා සිටි මාපියන් තම දරුවා පාසල් සිසුවකු වීම මීට හේතුව බව ද පෙන්වා දී ඇත.

එය පිළිගත් එහි රාත්‍රී සේවයේ යෙදී සිටි නිලධාරියා උදෑසන නැවත පොලිසියට එන ලෙස ඔවුනට දන්වා ඇත. පසුව උදෑසන පොලිසිය වෙත ගිය සිසුවා සහ ඔහුගේ මාපියන් නව කැලණි පාලම ප්‍රදේශයේ පිහිටි සැක සහිත නිවෙස් කරා රැගෙන ගොස් පරීක්‍ෂා කොට ඇත.

ඊළඟ දිනයේදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු සිසුවා ගෙන්වා ගෙන එම සකකරු පෙන්වූ විට ඔහු එම පුද්ගලයා හඳුනාගෙන ඇත.

පසුව පොලිස් පරීක්‍ෂක ජීවන්ත ෂැල්වින් මහතා සහ පො. කො. 30441 රත්නායක යන මහතුන් දිගින් දිගටම සැකකරුගෙන් ප්‍රශ්න කොට සියලු තතු සොයාගෙන අදාළ ප්‍රධාන සැකකාර තරුණයකු ද අත්අඩංගුවට ගන්නා ලදී. එම සැකකරු එහිදී සියලු තතු හෙළිකර දුරකථනය මතුගම පුද්ගලයකුහට රුපියල් 30,000 කට විකුණා ඇති බැව් පැවසූ අතර, පොලිසිය එය ගෙන්වා ගත්තේය.

මේ මංකොල්ල කණ්ඩායම තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි බැවින් ඔවුන් සතු හෙරොයින් මත්ද්‍රව්‍යයද අත්අඩංගුවට ගත් පොලිසිය සුවිසාල සිද්ධීන් රැසක් මේ සොර කණ්ඩායමෙන් හෙළිකරගෙන ඇත.

නව කැලණි පාලම ප්‍රදේශයේ මෙවන් සිද්ධිවලට ඉතිහාසයේ සිටම මහත් අපරාධවලට ප්‍රසිද්ධියක් උසුලන ස්ථානයක් බව පෙන්වා දෙන පොලිසිය මේ පිළිබඳව ඉදිරියට ක්‍රියාකොට සුවිසාල ආරක්ෂාවක් ජනතාව වෙනුවෙන් ලබාදෙන බවද පැවසීය.

විශේෂයෙන් කැලණි පාලම අවට මේ වනවිට පොලිසි කීපයක් පිහිටා ඇති බැව් සඳහන් කරන ස්ථානාධිපතිවරයා මේ සියල්ල සමග ද සාකච්ඡා කොට ජනතාව රැක ගන්නා බව පවසයි. මේවනවිට පොලිස් ස්ථාන 7 ක වසර 18 ක පමණ කාලයක සිට සේවය කරන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්. එච්. හැරිසන් මහතා මෙවන් සිද්ධි සම්බන්ධයෙන් උපරිම කැපවීමකින් කටයුතු කරනා උප පොලිස් පරීක්‍ෂක ජීවන්ත ෂැල්වින් මහතාගේ සහ තම පොලිස් කණ්ඩායමේ අනෙකුත් නිලධාරීන්ගේ සේවය පිළිබඳව ද මහත් ඇගයීමකින් කථා කරන ලදී.

විශේෂයෙන් අදාළ පැමිණිලිකරු පාසල් සිසුවකු බැවින් ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය දත්ත සහ වාර්තාද මෙම ජංගම දුරකථනයේ සටහන් කර තිබීම නිසා මෙය සොයා ගැනීමට වඩාත් උනන්දුවෙන් කටයුතු කළ බව ජීවන්ත මහතාද පැවසීය. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සිදුකළ මෙම වැටලීම පිළිබඳ කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතාගේ ඇගයීමට ලක්විය. මෙම වැටලීම ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එච්. එච්. හැරිසන් මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්‍ෂක ජීවන්ත ෂැල්වින්, අපරාධ අංශ ස්ථානාධිපති නිශ්ශංක විජේරත්න මහතුන් සමඟ පො. කො. 30441 රත්නායක මහතාද සහභාගි වූහ.

සිසුවාගේ ජංගම දුරකථනය සැකකරුවන්ගෙන් ලබාදීමට ක්‍රියාශීලීවීම පිළිබඳව එම දරුවාගේ පවුලේ උදවිය පොලිසිය පැසසුමට ලක්කර ඇත.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment