කුඩා මෝල් හාන්සියි හාල් බද්ද ශත 25 කිරීම ගොවියාට ගහපු කනේ පහරක්

508

සහල් ආනයනයේදී පනවා තිබූ ආනයනික බද්ධ ශත 25ට අඩු කිරීමත් සමඟ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් මෙන්ම ගොවියා ද ගොවිතැනෙන් ඉවත් වනු ඇතැයි සමස්ත ලංකා ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ‘දිවයින’ට ඊයේ (04 දා* පැවසීය.

 රටේ සහල් නිෂ්පාදනයෙන් සියයට 70ක් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සපයන බවත්, ඉතිරි සියයට 30ක ප‍්‍රමාණය මහ මෝල් හිමියන් සිදුකරන බවත් ඔහු කීය.

 රජය විසින් සහල් ආනයනයට පනවා තිබූ රුපියල් 65 ක බද්ද ශත 25ට අඩුකර සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදී ඇතත් එයින් මහ මෝල් හිමියන්ට කිිසිදු බලපෑමක් ඇති නොවන බව ද ඔහු කීය.

 මෙරට මහමෝල් හිමියන්ගේ සහල් සඳහා වෙළෙඳ නාමයක් ඇතිකර ගෙන තිබෙන බවත්, විදෙස්වලින් සහල් ආනයනය කළත් ඔවුන්ගේ සහල් ඒකාධිකාරියට ඉන් බලපෑමක් එල්ල කළ නොහැකි බවත් ඔහු කීය.

 මේ වනවිට ලබන වසරේ මාර්තු පමණ වනතෙක් රටට අවශ්‍ය සහල් නිපදවීම සඳහා වී තොග පවතින බවත්, එම වී තොග සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය අපොහොසත් වීම නිසා සහල්වලට පනවා තිබූ රුපියල් 65 බද්ධ ශත 25ට අඩුකර ඇති බවත් ඔහු කීය.

 සහල් ආනයනය කිරීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ සහල් හිමියන් අධෛර්යමත්ව එම හාල් මෝල් වසා දැමීමට සිදුවන නිසා ගොවියා විසින් නිෂ්පාදනය කරන වී අඩු මිලට ගැනීමට මහ පරිමාණ මෝල් හිමියන්ට ඒකාධිකාරියක් ඇතිවන බව ද ඔහු කීය. මෙවැනි තත්ත්වයක් ඇතිවීමත් සමඟ ගොවියා ඉදිරි කන්නවලදී වී නිෂ්පාදනයෙන් ඉවත් වීම නිසා රට තුළ සහල් නිෂ්පාදනයේ අඩුවීක් ඇතිවන බවත් ඔහු පැවසීය.

 සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමෙන් සීනි ආනයනය වැඩි වශයෙන් රටේ සිදුකර තිබුණත් සහල් සඳහා එම ක‍්‍රියාමාර්ගය අනුමත කිරීම කිිසිසේත් සුදුසු නොවන බව ද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment