කුඩු කාගේ ඇණවුමක්ද – වටිනාකම කෝටි 350යි

503

නාවික හමුදාව මගින් දකුණු වෙරළ තීරයට මුහුදු සැතපුම් 235ක් දුරින් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී රුපියල් මිලියන තුන්දහස් පන්සියයක් වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 175 ක් හා සැකකරුවන් හය දෙනකු සමග අත්අඩංගුව ගත් බහුදින ධීවර යාත්‍රාව ඊයේ (17දා) පෙරවරුවේ ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබීය.

කුඩු කාගේ ඇණවුමක්ද - වටිනාකම කෝටි 350යි

මෙම යාත්‍රාව දෙවුන්දර කුඩාවැල්ල ධීවර වරායෙන් ධීවර කර්මාන්තය සඳහා ඉකුත් 20 වැනිදා මුහුදු ගිය යාත්‍රාවක් බවට හඳුනාගෙන ඇත. රාජ්‍ය බුද්ධි සේවය මගින් ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව විශේෂ මෙහෙයුමක් දියත් කළ නාවික හමුදාව හම්බන්තොට සිට මුහුදු සැතපුම් 235 දුරින් වූ ජාත්‍යන්තර මුහුදේදී මෙම යාත්‍රාව හඳුනාගෙන එය පසුපස හඹා යමින් මත්කුඩු තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

පාකිස්තානයේ සිට රැගෙන එන්නට ඇති බව කියන මෙම මත්කුඩු තොගය පාකිස්තානයට හා ඇෆ්ගනිස්තානයට ආසන්න ජාත්‍යන්තර මුහුදු තීරයේදී සැකකරුවන් ගමන් කළ ධීවර යාත්‍රාවට ලබා දෙන්නට ඇතැයි පරීක්‍ෂණ කණ්ඩායම් සැක පළ කරයි.

මෙම බහුදින යාත්‍රාව සමග මේ වසරේ මාස හතරකට ආසන්න කාලය තුළ හෙරොයින්, අයිස් සහ කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3000 කට අධික ප්‍රමාණයක් සැකකරුවන් සමග මුහුදේදී නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්කුඩු තොගය ඊයේ දහවල් විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබිණි.

මෙම හෙරොයින් මත්කුඩු තොගය මෙරටට එවීම පසුපස සිටින්නේ කවරෙකුදැයි නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා ලැබී ඇති තොරතුරු ඔස්සේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.
සමන් ගමගේ, ගාල්ල – ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි සහ හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment