කුඩු කෑ විත්තිය සහ  වෙඩි කෑ විත්තිය

1066

මහ වැස්සකට පසු ගංවතුර හට ගනී. ගංවතුරෙන් පසු විවිධ විෂබීජ ප්‍රජාතන්ත්‍රවාදය සහ සිවිල් අයිතිවාසිකම් පාවිච්චි කරමින් රට පුරා සැරි සරන්නේය. එවිට මිනිසුන්ට විවිධ රෝග වැළඳේ. ඩෙංගු, ජැපනීස් එන්කෙෆලයිටීස්, මැලේරියාව, පැපොල, සරම්ප ආදී අට අනූවක් රෝග සහ නව අනූවක් ව්‍යාධී වැසි කාලයෙන් පසු මිනිස් ජීවිත බිලි ගනී. අරගලයකට පසු අලුත් ආණ්ඩුවක් පත්වේ. අරගලය ප්‍රචණ්ඩ එකක් නම් එහි පසුකම්පන සෑහෙන කලක් යනතුරු පවතී. මේ දිනවල රට පුරා වෙඩි තැබීම්, මිනී මැරුම්, කඩු සහ පිහිවලින් කෙටීම් යනාදිය වැඩිවී තිබේ. ඕනෑම ගුබ්බෑයමකින් ගිනිඅවි මිලට ගත හැකිය. බීබීසී පුවත් සේවය සඳහන් කරන අන්දමට බ්‍රවුනිං වර්ගයේ පිස්තෝලයක් රුපියල් පනස් දෙදහසකට මිලට ගැනීමට පුළුවන. මෝටර් බයිසිකලයකින් බැස ආ මැරයෙක් වෑන් එකකට මුවාවී සිටි මිනිහෙකුගේ හිසට වෙඩි තබා පැන යන ආකාරය පිළිබඳ සීසීටීවී දර්ශන පෙළක් මේ මොහොතේදී අන්තර් ජාලයේ තිබේ. ගිනිඅවි බහුල, මිනී මැරීම් බහුල, කුඩු බිස්නස් බහුල කිසියම් සමාජයක් වෙත්ද, එය මනුස්සයන්ට හා සතුන්ට බෙහෙවින් අනාරක්‍ෂිත සමාජයකි. අපි ඕනෑම මොහොතක Cross Fire එකකට ලක්වීමේ අවදානම තුළ සිටිමු. ඔබත් මාත් කඩේ යන්නේ සීනි 500 ක් සහ හාල් කිලෝවක් ගෙන ඒම පිණිසය. ඒ අතර පාතාල කණ්ඩායම් දෙකක් පාරේ දෙපැත්තේ සිට වෙඩි තබා ගැනීමට පටන් ගනිති. ඒ මැද්දෙන් ගමන් කිරීමේ ඉරණමට අපි ලක්ව සිටිමු. අපේ වෙලාව හොඳ වේවා, නරක වේවා පාර දෙපැත්තෙන් හුවමාරු වන වෙඩිල්ලක් ඔබට හෝ මට හෝ වැදීමට ඉඩ තිබේ. මෙවැනි Cross Fire වලින් මියගිය අය ඕනෑ තරම් ලංකාවේ සිටිති. මෙවැනි තත්ත්වයක් වර්ධනය වීම ඉතා භයානක බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම වටහා ගත යුතුය. අපගේ ඇස්තමේන්තුව අනුව මෙය අරගලයට වඩා භයානකය. පොලිසිය කියන පරිදි මැයි 30 වැනිදා සිට අද දක්වා වාර්තා වී ඇති වෙඩි තැබීම් සංඛ්‍යාව 17 කි. සීසීටීවී දර්ශන විශ්ලේෂණය කිරීමේදී, යතුරුපැදිවලින් පැමිණෙන හෙල්මට්කාරයෝ බියක් සැකක් නැතිව මිනිසුන්ට වෙඩි තබා පලා යන බව පෙනේ. මෙවැනි අවස්ථාවකදී එක්කෝ දාමරිකයන් නිරායුධ කළ යුතුය. නොඑසේ නම් දාමරිකයන්ගේ අත්වල ආයුධ එසේම තිබියදී ජනතාවට තුවක්කු ලබාදිය යුතුය.

 පසුගිය දවසක කොටහේනේ විවේකානන්ද මාවතේ වෙඩි තැබීමක් සිදුවිය. ඉන්දියාවට පැනගොස් සිටින  ශ්‍රී ලාංකික පාතාලකාරයන් දෙදෙනකු වන පූකුඩිකන්නා සහ කිඹුලාඇලේ ගුණා අතර හටගත් දීර්ඝකාලීන ගැටුමක වර්තමාන ප්‍රතිඵලය වශයෙන් එකී වෙඩි තැබීම සිදුවූ බව දැන ගන්නට තිබේ. දැනට ඇති ආරංචිවලට අනුව පාතාල වෙඩි තැබීම්වලින් සියයට අනූනවයක්ම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධය. පූකුඩිකන්නා යනු ප්‍රසිද්ධ කුඩු වෙළෙන්දෙකි. කිඹුලාඇලේ ගුණා ඊටත් වඩා ප්‍රසිද්ධය. ඔහු කොටි සංවිධානය සමග බලගතු සම්බන්ධතා තිබූ කෙනෙකි. ඒ නිසා ඉන්දියාවේ සිට වැල්වැටිතුරේට කුඩු ගෙන්වා එල්ටීටීඊ සංවිධානයට විශාල බද්ධක් ගෙවා එම කුඩු කොළඹට ගෙන්වීමේ හැකියාව ගුණාට තිබිණ. ප්‍රභාකරන්ගේ මරණයට පෙර ගුණාට තිබූ ඒ හැකියාව ලංකාවේ වෙන කිසිදු කුඩු මුදලාලි කෙනෙකුට තිබුණේ නැත. කෙළින්ම කොටි ඒරියා එකේ සිට කුඩු ගෙන්වන බැවින් අඛණ්ඩ කුඩු සැපයුමක් කුඩු පාරිභෝගිකයන්ට ලබාදීමට ගුණාගේ කල්ලියට හැකි විය. මෙවැනි අවස්ථාවක සෙසු කුඩු ව්‍යාපාරිකයන් කරන්නේ ගුණා ඝාතනය කර ඔහුගේ මාකට් එක සියතට ගැනීමය. එහෙත් තමන් ඝාතනය වීමට යන බව ආරංචි වූ සැණින් ප්‍රතිවාදී කුඩුකාරයන් කිහිප දෙනෙක් සංහාරය කළ ගුණා තමිල්නාඩුවට පැන්නේය. ඉන්දියාවේ තමිල්නාඩුව යනු කුඩු මෝලකි. ඒ කුඩු මෝල බලගතු දේශපාලනඥයන්ගේ අත්වලින් ක්‍රියාත්මක වන බැවින් ආණ්ඩුවටද මැඩ පැවැත්වීමට නොහැක. ඉන්දියාවට ගිය ගුණා වඩාත් කාර්යක්‍ෂම ලෙස ලංකාවට කුඩු එවීමට පටන් ගත්තේය. යුද්ධය නිමවී එල්ටීටීඊ ප්‍රදේශ හා ඊට අයත් මුහුදු තීරය හමුදාව අතට පත්වූ පසු වැල්වැටිතුරේ රූඩ් එක අත්හැර දැමූ ගුණා ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ මුහුදෙන් කුඩු ගෙන්වන්නට විය. මේ කියන ගුණා 2021 දී තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ඊටපසු ඔහු ගැන ආරංචියක් නොවීය.

 ඩාවුඩ් ඊබ්‍රාහීම් නමැති සුප්‍රසිද්ධ කුඩු වෙළෙන්දෙක් ඉන්දියාවේ ජීවත් වේ. ඔහු කොතරම් බලසම්පන්න පුද්ගලයෙක්ද යත් ඉන්දියාවේ හින්දි චිත්‍රපට කර්මාන්තයට විශාල වශයෙන් මුදල් ආයෝජනය කළේය. ඒ කුඩු විකුණන ගමන්ය. මීට අවුරුදු  20 කට පමණ ඔහු අතුරුදන්වූ අතර අද වන තුරුත් ඔහු පණ පිටින් දුටු කෙනෙක් ඉන්දියාව, පාකිස්තානය හෝ ලංකාව යන රටවල නැත. ඔහු මියගොස් ඇති බවට මතයක් තිබුණද ඔහු පණ පිටින් ඉන්නවා හා සමානව ඔහුගේ කුඩු ජාලය ක්‍රියාත්මක වේ. කිඹුලාඇලේ ගුණා යනු ඩාවුඩ් ඊබ්‍රාහිම්ගේ හොඳම කස්ටමලාගෙන් කෙනෙකි. ගුණා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී තමිල්නාඩු පොලිසිය මහත් සේ සතුටට පත්වූයේ ඩාවුඩ් ඊබ්‍රාහිම් සැඟව සිටින තැන  ගුණාගෙන් දැනගත හැකිය යන කාරණය මතය. කොතරම් පහර දුන්නත් ඩාවුඩ් ඊබ්‍රාහිම් සිටින තැනක් ගුණා එළි කළේ නැත. සමහරවිට ඇත්තටම ඔහු ඒ බවක් දැන සිටින්නට නැත. දැනට පවතින්නේ ඩාවුඩ් ඊබ්‍රාහිම් යන නම පමණි. ඒ නම ඇසීමෙන් පමණක්ම තමිල්නාඩු පොලිසිය ද, ඉන්දියානු කුඩු ව්‍යාපාරය ද කම්පනය වන අවස්ථා තිබේ. ඩාවුඩ් ඊබ්‍රාහිම්ගේ කුඩු අදටත් ලංකාවේ ඇත. ගුණාගේ පාර්ශ්වය මහ පාරේ වෙඩි තබා ගන්නේනම් එයින් අදහස් කරන්නේ ඩාවුඩ් ඊබ්‍රාහිම්ගේ දාමරිකයන් මෙරට සිටින බවය. පොලිසිය මේ කුඩු වෙළෙඳුන් සහ දාමරිකයන් වහාම අත්අඩංගුවට ගෙන ආයුධ සඟවා ඇති තැන් බැලීමට යා යුතු බව අපි යෝජනා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment