කුඩු ජාවාරමේ සලිඳුගේ ගෝලයා අබ්බා වෙඩි කා නසී

725

විදේශයක සඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘පානදුර සලිඳුගේ’ ප‍්‍රධානතම ගෝලයා වන අපරාධ රැසකට සම්බන්ධ ඩිලාන් සමීර (27) හෙවත් ‘අබ්බා’ නමැති සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩිතබා පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරවලින් පෙරේදා (10 දා) රාත‍්‍රි මියගොස් ඇත.

මොරටුව මෝදර ඉසුරුසිරි මාවතේ මත්ද්‍රවව්‍ය ජාවාරමක් සිදුකරන බවට ලද තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය වටලා ඇත.

රාත‍්‍රි 10.25 ට පමණ වැටලීම සිදු කිරීමේදී නිවසේ සිට වෙඩි ප‍්‍රහාරයක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත එල්ල වී තිබේ. එහිදී නිලධාරීන්ද ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර ඇත. ප‍්‍රතිප‍්‍රහාරයට ලක්වූ අපරාධ රැසකට චෝදනා එල්ල වී සිටි අබ්බා නමැති සැකකරුට වෙඩි වැදී ඇත. ඔහු පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර වෙඩි ප‍්‍රහාරයට ලක්වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මියගිය පුද්ගලයා විදේශයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පානදුර සලිඳුගේ ප‍්‍රධාන ගෝලයා බව අනාවරණය වී ඇත. ඔහු මනුෂ්‍ය ඝාතනයක් ඇතුළු අපරාධ රැසකට චෝදනා ලැබූවකු බවද හෙළිවී ඇත. ඒවා අතර කාන්තාවක් කපාකොටා බරපතළ තුවාල සිදු කිරීම, පානදුර පෞද්ගලික රෝහලක ගිලන් රථ රියැදුරෙකුට වෙඩි තැබීම, පානදුර නගරයේ ත‍්‍රිරෝද රථයකින් පන්නා ගොස් පුද්ගලයකුට ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, හොරණ ප‍්‍රදේශයේදී පුද්ගලයකුගේ අත් කැපීම ඇතුළු චෝදනා ගණනාවක් වෙයි.

මියගිය පුද්ගලයා සමග රැඳී සිටි සැකකරුවන් 07 දෙනාද නිලධාරීන්ට වෙඩි තැබීමට යොදාගත් බව කියන විදෙස් රටක නිෂ්පාදිත මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක්ද එයට යොදන මැගසිනයද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවෝ මොරටුව ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 30 ත් 40 ත් අතර වයස්වල පසුවෙති.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් අංක 111 හි ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඒ. එන්. ටී. කුමාර් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැටලීම කළහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා වැඩිදුර විමර්ශන සඳහා මොරටුව මෝදර පොලිසිය වෙත භාරදී තිබුණු අතර ඔවුන් ඊයේ (11 දා) මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 23 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

චමින්ද සිල්වා – සමන් ගමගේ, ප‍්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment