කුඩු නිසා කුඩු වූ කල්‍යාණිගේ කූඩුව

415

ඔයාගේ ආදරේ මට මහා මෙරක් වගේ පුංචි කාලේ ඉඳල මං නොවිඳිනා දුක් වින්දා ලස්සන ලෝකෙකට යන්න මං හීන මැව්වා. ඔයා හම්බ වුණදා ඉඳලා මට හිතෙනවා ඒ හීන සැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා.

මහේෂ්ට තුරුළු වෙච්ච කල්‍යාණි හෙමිහිට මිමිණුවා. කල්‍යාණි පදිංචිවෙලා හිටියේ සබරගමුව පළාතේ ලස්සන පුංචි ගමක. පුංචි කාලේ ඉඳලා කල්‍යාණිට උරුමවෙලා තිබුණේ දුක පමණයි.

කල්‍යාණිට මහේෂ්ව මුණගැසුණේ ගාමන්ට් එකක රස්සාවට යනකොට. මන බඳිනා රූප සම්පත්තියකට හිමිකම් කියූ නිසා කල්‍යාණිට තරුණයන්ගෙන් ගැලවීමක් ලැබුණේ නැහැ.

ඒත් අන්තිමේදී එයාගේ හිත ගියේ මහේෂ්ට.

කල්‍යාණි හිතුවේ මහේෂ් එක්ක දීග ගියහම හැම ප‍්‍රශ්නයක්ම අහවර වෙයි කියලා. ඒත් කල්‍යාණිගේ ප‍්‍රශ්න පටන් ගත්තේ මහේෂ් එක්ක විවාහ වුණාට පසුවයි. විවාහ වෙලා වසර දෙක තුනක් ගත වෙද්දී කල්‍යාණි දෙදරු මවක් වුණා.

දරුවෝ දෙන්නා බලාගන්න විදිහක් නොතිබිච්ච නිසා කල්‍යාණි ඇඟලූම් රැකියාවට ආයුබෝවන් කිව්වා. මහේෂ් රත්තරං මනුස්සයෙක් කියලා හිතාගෙන හිටියට කසාද බැඳලා අවුරුදු දෙක තුනක් යද්දී එයාගේ සැබෑ තත්ත්වය එළියට එන්න ගත්තා.

‘මනුස්සයෝ ඔය කුඩු ගැහිල්ල නතර කරලා දානවා. දරුවෝ දෙන්නට කන්න බොන්නවත් දෙන්න අතේ සත පහක් නැහැ.

තමුසෙගේ වැඩ නිසා කවදාහරි දවසක මට සිද්ධ වෙන්නේ ජීවිතේ නැතිකර ගන්න.

කල්‍යාණි මහේෂ්ට බැණ වැදුනා. මහේෂ්ව මේ දහදුරා වැඩවලින් බේරා ගන්න ඇය කොතෙකුත් උත්සහ කළා. ඒත් ඒ හැම දෙයක්ම ගඟට ඉනි කැපුවා වගේ වුණා. ඒ වෙනකොට මහේෂ්ට රැකියාවක් තිබුණේ නැහැ. කල්‍යාණිගේ රැකියාවෙන් ඉවත්වෙලා හිටිය නිසා ගෙදර අගහිඟකම් අහස උසට නැඟලා.

කල්‍යාණිගේ කණේ තිබුනු අරුංගල් ජෝඩුවේ ඉඳලා ගෙදර තිබුණු වටිනා කියන හැම දෙයක්ම ඒ වෙනකොට උකස් තියලා තිබුණා. ඒ ගන්න හැම සතයක්ම කුඩු ගහන්න මහේෂ් වැය කළා.

තොගේ කරුමේ නිසා තමයි මේ හැම දෙයක්ම මට කොහෙන් හරි සල්ලි ටිකක් හොයලා දීපං. නැත්නම් මට උඹෙන් වැඩක් නැහැ.

හෙරොයින් පාවිච්චි කරලා අවසිහියෙන් ඉන්නා මහේෂ් හැමදාම වගේ කළේ කල්‍යාණිට පහරදෙන එක. ජීවිතේ ලස්සන කරගන්න හීන මවපු කල්‍යාණි ඒ වෙනකොට හිටියේ ජීවිතේ ගැන අන්තයටම කලකිරිලා.

ablick1කල්‍යාණිට ජීවිතේ එපා කරවන මහා කාලකණ්ණි සිද්ධියක් වුණේ ඔය අතරේදියි. දවසක් මහේෂ් එයාගේ හොඳම යාළුවෙක් එක්ක නිවසට ආවා. ඒ වෙනකොට කල්‍යාණි හිටියේ පුංචි දරුවෝ දෙන්නත් තුරුළු කරගෙන ඇඳට වෙලා.

කල්‍යාණි අපිට දැන් වෙන කරන්න දෙයක් නැහැ. සත පහක් අතේ නැහැ. කන්න බොන්න විදිහකුත් නැහැ. අනික මට හෙරොයින් ටිකක් ගන්නවත් සල්ලි නැහැ.

මහේෂ් ගෙදර ප‍්‍රශ්න ගැන කියන්න වුණා. කවදාවත් නැති සෙනෙහසක් අනුකම්පාවක් එකපාරට මතුවුණේ මොකද කියලා කල්‍යාණි පුදුම හිතුණා.

අර ඇවිල්ලා ඉන්නේ මගේ හොඳම යාළුවෙක්. එයාට ඔයා එක්ක ඉන්න ඕනෙලූ. ඒ වෙනුවෙන් එයා ලොකු මුදලක් දෙන්න පොරොන්දු වුණා.

කල්‍යාණි මහේෂ් දිහා එක එල්ලේම බලා හිටියා. තමුන් පණ වගේ ආදරය කරපු සැමියා මොනවද මේ කියන්නේ කියලා කල්‍යාණිට හිතාගන්න බැරිව ගියා.

කල්‍යාණිට දැනුණේ මහා දුකක් වේදනාවක්. ඒ එක්කම ඇයව පාලනය කරගන්න බැරි තරමේ කෝපයක් මතුවුණා. තමුසේ මහා පාහරයෙක්.

මං හිතාගෙන හිටියේ තමුසේ දෙවි කෙනෙක් කියලා. තමුන්ගේ ගෑනිව සල්ලාලයන්ට දීලා ඒ ගන්න සල්ලිවලින් කුඩු ගහන්න තරම් පාහරයෙක් තවත් ඉන්නවද? කල්‍යාණි මහේෂ්ගේ කමුම්මුලට පහර කීපයක් එල්ල කළේ පාලනය කරගන්න බැරි කෝපයෙන් යුතුවයි. මේ සිද්ධියෙන් පස්සේ කල්‍යාණි හිටියේ මහා කලකිරීමකින්. දවස් ගාණක් තිස්සේ ඇය කල්පනා කළා. පුංචි දරුවෝ දෙන්න දකිනකොට කල්‍යාණිගේ පපුව හෝස් ගාලා පත්තු වුණා. ඒ වෙනකොට ඇය බොහොම දැඩි තීරණයක් අරගෙන තිබුණා.

නොදරුවෝ දෙන්නගේ කම්මුල් සිපගෙන කල්‍යාණි නිවසින් පිටවුණා. දවස් කීපයකට පස්ස් කල්‍යාණිගේ නිසල දේහය සබරගමුව පැත්තේ ගඟක පාවෙමින් තියෙද්දී පොලිසිය හොයා ගත්තා.

පාපතරයෙක් නිසා අහිංසක නොදරුවෝ දෙන්නෙකුට මව් සෙනෙහස අහිමිවෙලා තිබුණා. ජීවිතේ වාසනා කරගන්න හීන මවපු කල්‍යාණි ඒ වෙනකොට හීන ලෝකයක සැඟවිලා ගිහින් හිටියා.

රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment