කුඩු මුදල් ආරවුලට දරුවකු පැහැරගෙන ග්‍රෑන්ඩ්පාස් ගෙදරක හිර කරගෙන ඉඳලා

290

කාන්තාව අත්අඩංගුවට

රුපියල් ලක්‍ෂ එකහමාරක මුදල් ආරවුලක් මත 10 හැවිරිදි බාලවයස්කාර දරුවකු පැහැරගත් කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය නිලධාරීන් විසින් පෙරේදා (05 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ අංක A/F3/U20, රන්දිය උයන, හේනමුල්ල ලිපිනයේ පිහිටි නිවසේදී මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

අදාළ දරුවාගේ සීයා මෙම කාන්තාවට රුපියල් එක් ලක්‍ෂ හැත්තෑ දහසක් ගෙවීමට තිබී ඇත. ඔහු ඉන් රුපියල් විසි දහසක් ඇයට ගෙවා තිබේ. ඉතිරි රුපියල් එක් ලක්‍ෂ පනස් දහස නොගෙවීම නිසා අවුරුදු 10 ක් වයසැති බාලවයස්කාර දරුවා සීයා සමග මීගමුව අධිකරණය අසල සිටියදී මෙසේ පැහැරගෙන ගොස් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නිවසක සිර කරගෙන සිට ඇත. මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කාන්තාව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක කාන්තාවකි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. මෙම මුදල් ගනුදෙනුව මත් කුඩු මුල් කරගෙන සිදුවූවක් බවත් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කෙරෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීවේය. දරුවා පැහැර ගැනීමට සහාය වූ අනිත් පුද්ගලයන් සොයා විමර්ශන සිදු කෙරේ.

විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හා සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) ඩී. එස්. කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළහ.

චමින්ද සිල්වා සහ ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment