කුඩු සංසාරය

1250

ලෝකයේ විශිෂ්ටතම කෙටි කතාකරුවා පිළිබඳ මතභේදයක් පවතී. කෙනෙක් කියන්නේ ඒ ප‍්‍රංශයේ ගී ද මෝපසාං (1850-1893) බවය. තව කෙනකුගේ මතය වන්නේ ඒ රුසියාවේ ඇන්ටන් චෙකොව් (1860-1904) බවය. මේ අතර ලොව ශ්‍රේෂ්ඨතම කෙටි කතාකරුවා චෙකොස්ලෝවෙකියාවේ උපන් ෆ‍්‍රාන්ස් කෆ්කා බවට (1883-1924) කියන අයද වෙති. මේ කතුවැකිය ආරම්භ කිරීම පිණිස, මේ තිදෙනා අතුරින් ගී ද මෝපසාං ගේ කෙටි කතාවක් තෝරා ගතිමු. මේ කතාවට අනුව යාබද ඉඩම් දෙකක ධනපතියෙක් සහ කාත් කවුරුත් නැති මැහැල්ලක් වෙසෙති. මැහැල්ලගේ ඉඩම තම ඉඩමට යාකර ගැනීමට ධනපතියාට අවශ්‍ය විය. ඔහු ඉඩම තමාට විකුණන ලෙස මැහැල්ලට කී නමුදු ඇය ඊට අකැමැති වෙයි. ධනපතියා ඊළඟට කරන්නේ මැහැල්ලට මත් පැන් බෝතල් තෑගි කිරීමය. දිගින් දිගටම මත් පැන් නොමිලේ ලැබෙන විට ඒවා බොන්නට පුරුදු වන මැහැල්ල අන්තිමේදී බේබද්දෙක් වෙයි. (බේබද්දා යන වචනයේ ස්ත‍්‍රී ලිංගික පදයද බේබද්දා ම යන්න බව අපගේ මතයයි. බේබද්දිය යන්න සදොස්ය) ඊළඟට ඇය ධනපතියාගෙන් මත් පැන් ඉල්ලන විට ඔහු මත් පැන් මිලට ගැනීමට ඇයට මුදල් ණයට දෙයි. මේ කතාව අවසන් වන්නේ ඇය විශාල වශයෙන් ධනපතියාට ණය වීමත් ණය මුදලේ හිලව්වට ධනපතියා ඇගේ ඉඩම තම නමට ලියාගෙන ඇය පාරට ඇද දැමීමත්ය.

ඉහත සඳහන් කතා ප‍්‍රවෘත්තිය අපට සිහිපත් වූයේ වැස්ස නිසා හටගත් සීතල හේතුවෙන් නොව සහේතුකවය. කුඩු වලට ඇබ්බැහි වූ පොලිසියේ 37 දෙනෙක් බස්නාහිර පළාතේ සේවය කරන බව පොලිස් මූලස්ථානය කළ සමීක්ෂණයකින් ඔප්පු වූ බව ඊයේ දිවයිනේ ප‍්‍රධාන පුවතයි. මෙම නිලධාරීන් අතරින් 28 දෙනකුම කොළඹ පොලිස් බල ප‍්‍රදේශය තුළ රාජකාරී කරන බව හෙළිවී තිබේ. පොලිසිය යනු මේ රටේ තිබෙන විශාලතම සිවිල් ආයතනයයි. එහි සේවය කරන පිරිස අසූ දහසක් පමණ වේ. මේ රටේ ජනතාව සමග මුහුණට මුහුණ සිට ගනිමින් ද ඇෙඟ් හැප්පෙමින්ද රණ්ඩු කරගනිමින්ද කටයුතු කිරීමට පොලිසියට සිදුවේ. ඒ අර්ථයෙන් ගත්කල මේ රටේ මහජනතාව සමග වඩාත්ම මිශ‍්‍රවන සිවිල් ආයතනය පොලිසිය බව පැහැදිලිය. සියලූ අපරාධකරුවන් සමග පොලිසියට ගනුදෙනු කිරීමට සිදුවේ. (දේශපාලනඥයෝද අපරාධකරුවන් සමග කටයුතු කරන නමුත් ඒ වෙනත් විදිහකටය) කුඩුකාරයන් සහ කුඩු මුදලාලිලා සමග ලොකුම යුද්ධය ඇත්තේ පොලිසියටය. පොලිසියට අල්ලස් දී කුඩු සිද්ධි යට ගසා ගැනීමට කුඩු ව්‍යාපාරිකයෝ හැකි උපරිමයෙන් කටයුතු කරති. එහෙත් මේ අල්ලස් වැඬේ හැමවිටම හරියන්නේ නැත.

එය පත්තුවන අවස්ථාවලදී කුඩු කාරයන්ගෙන් අල්ලස් ගන්නා පොලිස්කාරයන්ට ගෙදර යෑමට හෝ හිරේ යෑමට සිදුවේ. මෙයට අවුරුදු ගණනාවකට පෙර දවසක මේ රටේ පොලිස්පති කෙනෙක් කුඩු මුදලාලි කෙනකුගේ දියණියකගේ උපන්දින පාටියකට සහභාගි විය. දිවයින මගින් ඒ පුවත හෙළිදරව් කරන ලද අතර දින කිහිපයක් තුළ ගෙදර යෑමට පොලිස්පතිතුමාට සිදුවිය. පොලිසිය මර්දනය කිරීම සඳහා කුඩු මුදලාලිලා අල්ලසට අමතරව වෙනත් මාර්ගද තෝරා ගනිති. උදාහරණයක් ලෙස වසර 2004 නොවැම්බර් 20 දා සිදුවූ සරත් අඹේපිටිය ඝාතනය දැක්විය හැකිය. සරත් අඹේපිටිය යනු මහාධිකරණ විනිසුරුවරයෙකි. සුප‍්‍රසිද්ධ කුඩු ජාවාරම්කාරයකු වූ පොට්ට නවුෆර්, සරත් අඹේපිටිය විසින් අසන කුඩු නඩුවක විත්තිකරු බවට පත්වී වැලිකඩ රිමාන්ඞ් සිරගෙදර සිටියේය. තම නඩුව විභාග කරන අවස්ථාවේදී විනිසුරු සරත් අඹේපිටිය විසින් ස්ථිර වශයෙන්ම තමා වරදකරු කරනු ඇතැයි පොට්ට නවුෆර් තුළ සැකයක් තිබිණ. මේ අනුව වැලිකඩ හිරගෙදර සිටම එලියට කොන්ත‍්‍රාත්තුවක් දුන් පොට්ට නවුෆර්, විනිසුරු සරත් අඹේපිටිය වෙඩි තබා මැරවීය. නවුෆර් ඝාතන කොන්ත‍්‍රාත්තුව දී තිබුණේ හමුදාවෙන් පැන ගිය සිව් දෙනකුටය. ඔවුන් කොතරම් හිඟන තත්ත්වයක සිටියේද යත් විනිසුරුවරයා ඝාතනය කළේ රුපියල් 50000 කටය. අන්තිමේදී සියල්ල හෙළිදරව් වූ අතර මිනී මරුවන් සෙට් එකටද පොට්ට නවුෆර්ටද මරණ දඬුවම නියම විය. මේ කියන නවුෆර් මීට සති කිහිපයකට පෙර කොරෝනා රෝගය හේතුවෙන් වැලිකඩ හිරගෙදරදීම මියගිය බව අමතර කාරණයක් ලෙස මෙහි සටහන් කරනු ලැබේ.

කුඩු මර්දනයට උත්තරයක් ලෙස ඝාතනය නමැති ආයුධය යොදාගත් සැටි එසේය. ඒ අතරම පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කිරීමෙන්ද යම්කිසි සහනයක් ලබාගත හැකිය. බොහෝ රටවල, විශේෂයෙන්ම කොලොම්බියාවේ ආරක්ෂක අංශවල සිටින නිලධාරීන් ලතින් ඇමරිකාවේ කුඩු බිස්නස් එකට සම්බන්ධය. ඇතැම් ප‍්‍රදේශවල කුඩු බෙදා හැරීම ඒ රටේ පොලිසියේ හෝ හමුදාවේ අය විසින් කරනු ලැබේ. ඔවුන් අතර කුඩු වලට ඇබ්බැහි වූ හෙවත් ඇබ්බැහි කරන ලද නිලධාරීහු වෙති. ගී ද මෝපසාං ගේ කෙටි කතාවේ ප‍්‍රස්තුතයත් මෙයමය. මැහැල්ල දිනා ගැනීමට බැරි තැන ඇය මත් පැනට ඇබ්බැහි කරනු ලැබේ. පොලිස් නිලධාරීන් දිනා ගැනීමට බැරිවන කල ඔවුන් කුඩු වලට ඇබ්බැහි කරනු ලැබේ. මෙය ප‍්‍රශ්න විසඳීමට ඇති ඉතා සරල ක‍්‍රමයකි. සමහර රටවල් ඇතැම් කාරණා කිරීම සඳහා Honey Trap නමැති උපක‍්‍රමයක් භාවිත කරති. මෙය බොහෝවිට කරන්නේ දේශපාලනය වෙනුවෙනි.

කිසියම් දේශපාලනඥයෙක් ගණිකා ඇසුරට පුරුදු කිරීම මෙහිදී සිදුවේ. එසේ පුරුදු කෙරුණු දේශපාලනඥයා ගණිකාවක් සමග යහන්ගතව සිටින අවස්ථාවකදී ඉතා රහසිගත ලෙස එහි පිංතූර ගෙන එම දේශපාලනඥයා Blackmail කිරීම මෙහිදී සිදුවේ. බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 37 දෙනා කුඩුවලට පුරුදු කරනු ලැබූවන්ද නොඑසේ නම් කුඩුවලට සිය කැමැත්තෙන් පුරුදු වූවන්ද යන්න අපි නොදනිමු. එහෙත් ඔවුනට කුඩු ජාවාරම්කාරයන් සමග සම්බන්ධකම් තිබී ඇත. පොලිසිය එම ජාවාරම්කාරයන්ගෙන් සල්ලිවලට කුඩු ගැනීමට ඉඩක් නැත. සල්ලි වලට බඩු ගැනීමේ සිරිතක් ඇතැම් පොලිස් නිලධාරීන් තුළ ඇත්තේම නැත. එබැවින් කුඩු මුදලාලිලා පොලිස් නිලධාරීන්ට ඉතා කැමැත්තෙන් කුඩු තෑගි කිරීමට ඉඩ තිබේ. ඉහත සඳහන් තර්ක සියල්ලම අපගේ උපකල්පනයන් බවත් පොලිසියට මඩ ගැසීමේ කිසිදු අදහසක් අප තුළ නැති බවත් මේ මොහොතේදී අවධාරණය කරමු. අදට එපමණයි.

advertistmentadvertistment
advertistmentadvertistment