කුණුමාළු කන්ටේනර් 14 ගැන කල්පනාවෙන් ඉන්න

261

පෑලියගොඩ පොලිසිය කියයි

කුණුමාළු අඩංගු කන්ටේනර් 98කින් 14ක් හොර පාරෙන් වෙළෙඳපොළට යැවීමේ සිද්ධිය ප්‍රසිද්ධියට පත්වීම නිසා ඒවා පාරිභෝගිකයන් අතට මෙතෙක් පත්කර නැතත් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් ක්‍රියාකරන ලෙස සියලුම ධීවර වෙළෙඳුන්ගෙන් පෑලියගොඩ පොලිසිය ඉල්ලයි.

මාළු තොගයක් අඩංගු විදේශීය නෞකාවක් කිසියම් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම මාළු තොග මෙසේ කුණුවී තිබී ඇත.

කුණුවී තිබූ මාළු පොහොරවලට නිර්දේශ කර තිබියදී කිසියම් ව්‍යාපාරිකයෙක් සැමන් හෝ කරවල නිෂ්පාදනය සඳහා මෙසේ ලබාගෙන තිබී ඇති බව අනාවරණය වීමෙන් පසු රටපුරාම මෙම තොරතුරු ප්‍රචාරය විණි. එහි ප්‍රතිඵලයක් ලෙස කන්ටේනර් 14 අඩංගු කුණුමාළු බෙදාහැර නැති බව දැනගැනීමට ලැබී ඇති බව පොලිසිය කියයි.

කෙසේ වෙතත් මෙම කන්ටේනර් වලින් පැන්නූ බවට සැකකරන කුණුමාළු කිලෝ විසිපහකට වැඩි ප්‍රමාණයක් රජයේ රස පරීක්‍ෂක වාර්තාවක් ලබාගැනීම සඳහා තවමත් මුද්‍රාතබා ඇති බව පෑලියගොඩ පොලිසියේ අපරාධ කොට්ඨාසය කියයි.

මෙම කුණුමාළු තොගය ළඟ තබාගත් පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති අතර ඔහුට එම මාළු තොගය භාරදුන් මහමොළකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

මේ අතර මෙම කුණුමාළු කන්ටේනර් අදාළ රේගු නිලධාරීන්ගේ මාර්ගයෙන් ජාවාරම්කරුවෙකු අතට පත්වීම පිළිබඳවද වෙනම විමර්ශනයන් කරගෙන යන බව පොලිසිය කියයි.

ධීවර අමාත්‍යාංශයද කුණුමාළු පිළිබඳ රහස් පොලිසියට පැමිණිලිකර ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment