කුණු ඇළක් ඉදිරිපිට කුණු වෙන ටී විස්ස වත්ත

342

මවුපිය සෙනෙහස අහිමි අසරණ දරු පවුල් එමටයි…

මානසික රෝග, බෝ නොවන රෝගවලින් පීඩා විඳින වයසක උදවිය බහුලයි…

පවුල් තුනක් ජීවත් වෙන්නේ දොර ජනෙල් නැති කළුවර ගුහාවක…

ඒ දුර්ගන්ධයට ඉහ මොළ දැවිණි. හදවත ඇවිළිණි. විවිධාකාර කුණු මළ ජරාව ගොඩගැසී, පල්වන කුණු දිය සහිත ඒ මහා ඇළ අසල අඩ හෝරාවක් හෝ රැඳීමට සිදුවීම පෙර කළ පාපයක් යැයි මට සිතිණි. ඒ ඇළ මිහිපිට නරකාදියක්ම ය. ප්‍රදේශවාසීන් පවසන ආකාරයට මළ, මුත්‍රා පිටකරන වැසිකිළි බට සහ ආයතනවල සහ නිවාසවල විවිධ අපද්‍රව්‍ය පිට කරන නළ මාර්ග කෙළවර වී ඇත්තේ මැසි, මදුරුවන්, විවිධ පණු පවුල් බඩපිනුම් ගසන ඒ මහා කුණු ඇළෙනි. ආරක්‍ෂක වැටක් නැති ඇළ දෙපස කොන්ක්‍රීට් බැම්ම මතට නැඟීමට දෙපා ඉස්සිණි ද, සිත පස්සට ඇද්දේය. ඒ කරුමයක් පඩිසම් දී පහළට වැටුණහොත් නැවත මෙලොව එළිය දැකීමට නොලැබෙන බව සිතට දැණුනු නිසාය.

පැළඳ සිටින මුඛ ආවරණ පසාරු කරගෙන නාස් පුඩු දවාගෙන කිඳා බසිනා දුර්ගන්ධය අපේ ඉහ මොළ රත් කළද, ඇළ අද්දර කොන්ක්‍රීට් මාවතේ සෙල්ලම් කරන පුංචි උන්ට ගානක්වත් නැති ගානය. ඔවුන් දුව, පැන සෙල්ලම් කරති. සුදු කලිසම් කොට ඇඳගෙන, උඩු කය නිර්වස්ත්‍රව සෙල්ලම් කරන පුංචි දරුවන් අසල අපි නතර වීමු.

පුතාලා ඉස්කෝලෙ යන්නේ නැද්ද? පුංචි පුතෙකුගෙන් මම ඇසුවෙමි.

‘යනවා… අපි ඉගෙනගන්නෙ කොළඹ නාලන්දේ…” ටිකිරි සිනා මැදින් පාසල ගැන ආඩම්බරයෙන් කතා කරන බවක් හැඟේ.

පුතාගේ වයස කීයද?

“අවුරුදු හයයි…”

‘ඇළේ ගඳ දැනෙන්නෙ නැද්ද? නැවත මම කෙටි පැනයක් යොමු කළෙමි.

“දැනෙනවා… දැන් අපිට ඒ ගඳ හුරුයි…” මම නිරුත්තර වීමි. කටකාර කොල්ලා සෙල්ලමට වැටිණි.

“හා… අංකල් මේ කොහේද…” තරුණ කාන්තාවක් පැමිණ අපගේ ගමන් සගයා වූ සුනිල් සමඟ ලෙන්ගතු කතාබහක නිරත වූවාය. ඇය අප කතා කළ දරුවාගේ මවය. සොනාලිය. වයස අවුරුදු තිස්පහකි. අනුරුද්ධ බාලිකාවෙන් වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් ව වල්මත් පරිසරයක ජීවත්වන දැන උගත් කාන්තාවකි.

“මේ ඇළට උඩින් දැලක් දානවා කියනවා. ඒක කිසිම තේරුමක් නැති වැඩක්. කුණු ගඳට, මදුරුවන්ට පිළියමක් නෙමෙයි. හොඳම විකල්පය උඩින් කොන්ක්‍රීට් ලෑල්ලක් දාලා වහලා දැමීම…” කුණු ඇළේ ගැටලුව විසඳීමට සොනාලි පිළියම් යෝජනා කරන විට මගේ දෙනෙත් ඇළට සමාන්තරව වත්ත පහළට දිව ගියේය. පුංචි දරුවෙක් වඩාගත් කාන්තාවක් නිවසක උළුවස්ස මත හිඳගෙන අප දෙස බලා සිටින අයුරු ඇස ගැටිණි. අපි ඇය අසලට ද ගියෙමු.

කුණු ඇළක් ඉදිරිපිට කුණු වෙන ටී විස්ස වත්ත

පුංචි දරුවා රෝස පැහැති බෝල ගෙඩියක් වැනිය. හරිම පියකරුය. ප්‍රසන්නය. දරුවා තුළින් ඈත් වූ මගේ දෙනෙත් උළුවස්සෙන් නිවස තුළට රිංගුවේය. අප සිටිනුයේ ඒ නිවසේ පුංචි මුළුතැන් ගේ අසලය. දෙමහල් නිවස පිහිටා ඇති භූමි ප්‍රමාණය පර්චස් එකකට වැඩි නැත. පුංචි නිවස සුදු පිරියම් කර පිළිවෙළකට තබාගෙන සිටින අයුරු ද පෙනේ. උළුවස්ස මත හිඳගෙන සිටින කාන්තාවට මම කතා කළෙමි.

මේ ගඳට ඇළ අයිනේ කොහොමද ජීවත් වෙන්නේ…?

“අමාරුයි තමයි. ඒත් යන්න තැනක් නෑනෙ…” ඇය සිත්තිය. මුස්ලිම් කාන්තාවකි. වයස අවුරුදු හතළිහකි. ඇය වඩාගෙන සිටිනුයේ දුවගේ දෙවැනි දරුවාය. ඇයට ද දරුවො තිදෙනෙකි. සිත්තිගේ දියණියටත් දරුවන් තිදෙනෙකි. සැමියා කුලී ත්‍රිරෝද රථකරුවෙක් වූ සිත්තිලාගේ පුංචි ගෙදර පවුල් දෙකක් ජීවත්වන බව ඇය අපට කීවාය.

“දුවගේ පවුල උඩ තට්ටුවේ ජීවත් වෙනවා. අපි පහළ ජීවත් වෙනවා. නැතිබැරිකමට පුළුවන් විදිහට ජීවත් වෙනවා…” තරමක් තරබාරු සිත්ති වයසට වඩා පෙනුමය. ඇයගේ හීන් හඬ කනට නොඇසෙන තරම්ය. මැසි, මදුරු කරදරය දැඩිව තිබෙන බව ඇය පවසන විට අපි පුදුම නොවෙමු. මළ ජරාව සහිත කුණු ඇළට මුහුණලා ජීවත්වන ඔවුන්ට මැසි, මදුරු කරදරය නොතිබෙන්න අපි පුදුම වෙමු. එසේ සිතමින් ඇළට සමාන්තර මාවතේ ඉදිරියට ඇවිද යමින් පටු පාරකට හැරී වත්ත තුළට ගමන් කළෙමු.

දැන් අප සිටිනුයේ ටී. විස්ස වත්තේය. එම වත්ත පිහිටා ඇත්තේ බොරැල්ල, බේස්ලයින් මාවතේය. පවුල් තුන්සීයක් පමණ ජීවත්වන එම වත්තේ නිවාස ද ගිනි පෙට්ටි වැනිය. එකට බද්ධය. නිවාස තුළ වාතාශ්‍රයක් නැති තරමට ජනෙල්, දොරවල් රහිත ගුහා වැනිය. එමෙන්ම ඒ වත්තේ බොහෝ තරුණයන්ගේ මුහුණුවල සිනාවක් උපදින සේයාවක් හෝ නොපෙනේ. වොලිබෝල්, රගර් බෝල උස්සාගෙන පටු පාර දිගේ රංචු පිටින් ඇවිද යන තරුණයන්ට කතා කළ ද කිසිවෙක් මුව සෙලෙව්වේ නැත. ඇතැම්හු අප දෙස රවා බැලූහ. නිවාස පේළිවලින් සහ එක් පසක් සීවලී විද්‍යාලයේ විසල් තාප්පයට මායිම් වූ ටී විස්ස වත්තේ පොදු ළිඳ අසල මොහොතකට අපි නතර වීමු. එකට බද්ධව පිහිටි විශාල ටැංකි දෙකකි. පොළොවට සිමෙන්ති මැද බිත්ති චිත්‍රවලින් විචිත්‍රවත් කර තිබෙන ළිඳ අවට පිළිවෙළය. ළිඳේ වතුර ද තරමක් පිරිසිදුය. පොදු ළිඳ අසලින් අපි තවත් වත්ත ඇතුළට ඇවිද ගියෙමු. පටු පාර අඩි හතරකට වඩා පළල් නැත. දෙපස නිවාස පේළිය. එකදු නිවසක්වත් කළඑළියට නැත.

මේ වත්තේ ගහක් යට ජීවත් වෙන පවුලක් ඉන්නවා නේද? ටී විස්ස වත්ත ගැන පමණක් නොව නෙළුම් කුලුන යට වතු පන්තියේම සියලු විත්ති හොඳින් දැන සිටින සුනිල් මහතා නිවසක් ඉදිරිපිට ඇණ තියාගෙන සිටි කාන්තාවකගෙන් ඇසුවේය.

කුණු ඇළක් ඉදිරිපිට කුණු වෙන ටී විස්ස වත්ත

“ඔව්… මෙන්න මෙතැනිං ඇතුළට යන්න…” පියවර කිහිපයක් ඉදිරියට ඇවිදගෙන ගිය එම කාන්තාව නිවාස දෙකක බිත්ති අතරින් වැටුණු අඩි දෙකක පමණ දොරුවක් අපට පෙන්නුවාය.

ඒ දොරුව කළුවර ගුහාවකි. එකා පිටුපස ගුහාව තුළට ගමන් කළ අපි මහ ගසක් මුල නතර වීමු. එක ගෙයක් නොව ඒ ගුහාව තුළ තරුණ ළමයි සහිත දරු පවුල් තුනක් ජීවත් වෙති. එක නිවසක් උයා පිහා ගන්නෙ අප නතර වී සිටින විශාල රුක්අත්තන ගස මුලය. ඒ නිවසේ සම්පූර්ණ දිග පළල අඩි හතයි. හතකි. ඒ පුංචි ඉඩ ප්‍රමාණය දෙකට බෙදා එක පැත්තක් නිදාගැනීමට සකසා තිබේ. අනෙක් පැත්තේ පාසල් යන දරුවන්ගේ පොත් බෑග්, පාසල් උපකරණ තබා තිබෙන අයුරු ඇස රැඳුනේ දුරකථනයේ ටෝච් එළියටය. එම නිවස තුළින් වෙනත් කිසිවක් නොපෙනේ. එමෙන්ම ඇතුළුවන පුංචි දොරුව හැරෙන්නට ඒ නිවාසවලට හුළං පොදක් නොයෙන තරමට සෑම දිසාවකින්ම බිත්තිවලින් ආවරණය වී තිබෙන බව ද පෙනේ. රුක්අත්තන ගහේ කඳ ඉතිරි වෙන්න ඉහළ කොන්ක්‍රීට් තට්ටුවකි. ඒ නිවාස තුනටම දොර ජනෙල් නැත. යකඩ දොරවල්වලින් ආවරණය වූ ඒ නිවාස මහා දවාලෙත් කළුවරය. පුළුටු ගඳ පැතිරෙන ඒ ගුබ්බෑයම තුළ තවත් නම් රැඳීමට නොහැක. හුස්ම ගැනීමට අපහසු වී පෙණහලු හිරකරන බවක් දැනේ. මම එළියට දිව්වෙමි.

“මේ ගෙවල් ඇතුළේ කෑම උයාගන්න අමාරුයි. දුම පිට වෙන්නෙ නෑ. වත්තේ ගොඩක්ම අයට පපුව මහන්සිය තියෙනවා. හුස්ම ගැනීමේ අපහසුතා තියෙනවා. ඔය ඇතුළේ එක ගෙදරක පිරිමි දරුවොම හයදෙනෙක් ඉන්නවා. එක පවුලක ගැහැනු දරුවො දෙන්නා කසාද බැඳලා ගියා. අනෙක් පවුලේ දරුවො තුන්දෙනාගෙන් දෙන්නෙක් තවම ඉගෙනගන්නවා…” ගුහාවේ ජීවත්වන පවුල් තුන ගැන එසේ විස්තර කළේ ටී. විස්ස වත්තේ වැඩිහිටි කාන්තාවකි. ඇයට වයස අවුරුදු පනස් අටකි. නම දැනගෙන තවත් විස්තර කතා කිරීමට පෙර තරුණ කාන්තාවක් ඇයගේ දුක කියන්නට පටන් ගත්තාය.

ඇය බාවනිය. වයස අවුරුදු තිස්පහකි. ඇයට ද පිරිමි දරුවන්ම හතරදෙනෙකි. වැඩිමහල් දරුවන් දෙදෙනා පාසල් යන්නේය. අනෙක් දෙදෙනා අත දරුවන්ය. සැමියා අතහැර ගොස් මේ වනවිට වසර දෙකහමාරකට වැඩි බව ඇය කීවේ දෑස් ලොවි ගෙඩි කරගෙනය. එමෙන්ම දරුවන් හදාගෙන ඇයට ජීවත්වීමට උදව් උපකාර කරනුයේ පල්ලියෙන් බව ද බාවනි අපට කීවාය. බාවනිලාගේ පැල්පත් අසලින් ඉදිරියට ඇවිද ගිය අපි කැලණිවැලි දුම්රිය මාර්ගය කළවරේ එළවළු කඩයක් අසල නතර වීමු. තැඹිලි ගස් සෙවණ යට සිසිලය. වත්ත පුරා ඇවිද ගොස් ගතට දැනෙමින් තිබුණු විඩාවට යම් අස්වැසිල්ලකි. එහෙත් දුටු දසුණින්, කන වැකුණු වචනවලින් සිත තෝන්තු විය.

කුණු ඇළක් ඉදිරිපිට කුණු වෙන ටී විස්ස වත්ත

ආබාධිත තරුණයෙකි. වයස අවුරුදු දහහතරකි. නම සහන් මධුසංඛය. කේඩෑරී වී සිටින සහන්ගේ මුවෙන් හඬක් නැත. ඔහු ගැන විස්තර කියනුයේ වැඩිමහල් සහෝදරියයි. ඇය තිලිණිය.

“මල්ලි පුංචි කාලේ පපුවේ සිදුරු දෙකක් තිබිලා තියෙනවා. එකක් ඔපරේෂන් කරලා. අනිත් එක ලොකු වෙද්දී වැහිලා යයි කියලා ඩොක්ටර් කියලා තිබුණා. ඒත් පුංචි කාලේ ඉඳලා මල්ලි ලෙඩා. පෙනීම ටිකක් දුර්වලයි. බලා ගත්ත අත, බලාගෙන ඉන්නවා. කවුරුහරි කතා කළොත් හ්ම්… කියනවා එච්චරයි. පුංචි කාලේ පාසල් යැව්වට, ඉස්කෝලෙ හිටියේම නෑ. ඉගෙනගන්න බෑ…” ඇය එසේ කියාගෙන යන විට වැඩිහිටි කාන්තාවක් ද අඩු වැඩි එකතු කළාය.

“මේ දෙන්නා හැදෙන්නෙ මා ළඟ. මෙයාලගේ අම්මා ළඟදි නැති වුණා. තවම මාසයක්වත් නෑ. තාත්තා බලන්නෙ නෑ…” තිළිණිට වයස අවුරුදු විස්සකි. පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ 10 වසරට පමණි. මල්ලිව රැකබලාගෙන ජීවත්වීමට ඇය රැකියාවක් සොයමින් සිටින්නීය.

“මේ ඉන්නෙ මගේ මුණුබුරා. වයස අවුරුදු හතරයි. උපතින් කිසිම ආබාධයක් තිබුණේ නෑ. හොඳට දුව, පැන සෙල්ලම් කළා. දවසක් සෙල්ලම් කරන්න ගිහින් පඩි දෙකකින් වැටිලා තිබුණා. ඊට පස්සෙ දරුවට ඇවිද ගන්න බැරි වුණා. ළමා වාට්ටුවේ තියාගෙන හිටියා. වෛද්‍යවරු පරීක්‍ෂා කර බලලා කිව්වා දරුවට කිසිම ලෙඩක් නෑ කියලා. අන්තිමේ අපි ආයුර්වේද රෝහලට අරගෙන ගියා. එතැනදී ආයුර්වේද වෛද්‍යවරු පරීක්‍ෂා කර බලලා ‘දරුවගේ කකුලේ නහරයක් ඇඹරිලා තියෙනවා’ කියලා කිව්වා. ආයුර්වේද රෝහලේ නතර කරගෙන බෙහෙත් කරන්න සතියකට රුපියල් 10000 ක් විතර යනවා කිව්වා. එච්චර මුදලක් අපිට නෑ. බෙහෙත් අරගෙන ගෙදර එක්කරගෙන ආවා. දැන් තෙල් බෙහෙත් ගානවා. බොන්න බෙහෙත් දෙනවා. ඒවාට ගොඩක්ම ගුණයි. දැන් දරුවා ටික, ටික ඇවිදිනවා…” වෙන කෙනෙකුගේ වාරුවක් නැතිව තවම පුංචි දරුවාට

ඇවිදගැනීමට අපහසු බව පෙනේ. ආයුර්වේදයේ පිහිටෙන් දරුවාගේ කකුල සුවපත් වේවාෟ අපගේ ද පැතුමය. එහෙත් මවුපිය සෙනහස අහිමිවීම නිසා පුංචි හිතට දැනෙන සාංකාව දුරලීමට මිහිපිට බෙහෙත් නැති බව නම් සැක නැත.

පුංචි සිත්න දුමිදු රෝගී දරුවා පමණක් නොව රෝස මලක් වැනි පුංචි දියණියක් තනි කර මව වෙනත් දීගෙක ගොස්ය. පියා කුඩු බී නන්නත්තාර වී හිරගෙදරට ගිහින්ය. ඔවුන් රැකබලා ගන්නේ මවගේ අම්මාය. මිත්තණියයි. ඇය ප්‍රියංකා පීරිස්ය. වයස අවුරුදු හතළිස් තුනකි.

“මට දරුවො තුන්දෙනයි. සේරම කසාද බැඳලා. මේ ඉන්නෙ මගේ ලොකු දුවගේ දරුවො දෙන්නා. දරුවන්ගේ තාත්තා හිරේ ඉන්නෙ දඩය ගෙවාගන්න බැරිව. දඩ ගෙවලා එළියට අරගෙන වැඩක් නෑ. මේ දරුවන්ට සලකන්නෙ නෑ. මැරුණ හා සමානයි. දරුවො දෙන්නත් කිසිම ආදරයක් නෑ…” තැඹිලි ගස් සෙවණේ, එළවළු කඩේ අසලට වත්තේ බොහෝ දෙනෙක් එකතු වී සිටිති. ප්‍රියංකා විරාමයක් නැතිව කතා කරන්නීය.

ටී විස්ස වත්තෙ පාසල් අධ්‍යාපනය ලබන දරු, දැරියන් විශාල සංඛ්‍යාවක් සිටින බවත්, රැකියා නැති තරුණ, තරුණියන් ඊටත් වැඩි පිරිසක් ජීවත්වන බවත් ප්‍රියංකාගේ කතාවට අඩු, වැඩි එකතු කරමින් රැස්ව සිටි වත්තේ මිනිස්සු අපට කීහ. එමෙන්ම එම වත්තේ ජීවත්වන බහුතරය තම පවුල නඩත්තු කරනුයේ කුලී රස්සාවෙන් බවත්, විවිධ නීති විරෝධී වැඩ කරන අය අතරේ යහපත් අයුරින් තම දරුවන් පෝෂණය කරගෙන අනුන්ට හිරිහැරයක්, කරදරයක් නැතිව ජීවත්වන සුළුතරයක් ද සිටින බව ඔවුන්ගේ අදහසය. කතා බොහෝය. විරාමයක් නැත. එහෙත් අපි ඔවුන්ගෙන් සමුගෙන කැලණි වැලි දුම්රිය මාර්ගයට සමාන්තරව වැටී තිබෙන පටු පාර දිගේ ටී විස්ස වත්තෙන් පිටතට ගමන් කළෙමු. ඇවිද එන අතරේ වත්තේ පුංචි වෙළෙඳසලක් අසල අපි නතර වීමු. කඩේ මුදලාලි කාන්තාවකි. ඇය නන්දනී ය. වයස අවුරුදු හතළිස් හයකි. සිව්දරු මවකි. දරුවන් තිදෙනෙක් විවාහ වී ඇති අතර පුංචි පුතා තවම පාසල් යන බව ඇය අපට කීවාය.

“ඉස්සර මගේ මහත්තයා දෙමටගොඩ හන්දියේ කොස් කැපුවා. දැන් එයාට රස්සාව කරන්න බෑ. පපුව මහන්සිය. අසනීප වෙලා දැන් අවුරුදු අටකට වැඩියි. ඔක්සිජන් මැෂිමක් ගන්න කියලා ඉස්පිරිතාලෙන් කියනවා. ඒක ගන්න අපි ළඟ රුපියල් ලක්‍ෂ දෙකහමාරක් නෑ. දැන් වෙළඳාමත් අඩුයි. ජීවත් වෙන්න හරිම අමාරුයි. මටත් සීනි, ෆෙෂර් ලෙඩ ගොඩයි. බෙහෙත් බිබී ජීවත් වෙනවා…” පනස්හත් හැවිරිදි සැමියා මෙන්ම නන්දනී විවිධ රෝගාබාධවලින් පීඩා විඳින බව පවසමින් කම්පා වන විට වකුගඩු දෙකම නරක් වූ කාන්තාවක් අසල්වැසි නිවසේ සිටින්නීය. ඇයට වයස අවුරුදු හැත්තෑතුනකි. වසර හත, අටක් තිස්සේ සිට වකුගඩු රෝගයෙන් පීඩා විඳින්නීය. ඒ පුංචි නිවස තුළ තවත් වැඩිහිටි කාන්තාවක් ඔත්පලව කාමරයේ ඇඳක් මත වැතිරී සිටින්නීය. මළ, මුත්‍රා කිරීම සියල්ල පැකට්වලටය. එහෙත් ඒ මවගේ දරුවන් ඇයව ආදරයෙන් සහ කරුණාවෙන් රැකබලා ගන්න බව හොඳින් පැහැදිලි වේ.

ටී විස්ස වත්තේ ඉදිරිපස රෝග බෝ කරන කුණු ඇළය. පිටුපස පැත්ත රෝහල් වාට්ටුවක් වැනිය. විවිධ රෝගීන්ය. එක් තරුණයෙක් කොඳුරමින් විදිල්ලක් මෙන් අප පසු කරගෙන ඉදිරියට ගියේය. ඔහු මානසික රෝගියෙක් බව අපට කීවේ පටු පාර අද්දර නිවසක් ඉදිරිපිට පුටුවක හිඳගෙන සිටි තවත් රෝගී කාන්තාවකි. ඇය සේපාලිකාය. ශරීරය කුදු වී, ඇඹරී අමුතුම රෝගයකින් පෙළෙන කාන්තාවකි. ඇය එම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී සිටිනුයේ උපතින්ම නොව, පුංචි සන්ධියේ එන්නතක් වැරැදීමෙන් බව ඇය කියන්නීය.

“අවුරුදු හතරෙන් පෝලියෝ බෙහෙත විද්දම තමයි මෙහෙම වෙලා තියෙන්නෙ. ඔපරේෂන් එකක් කරන්න පුළුවන්ලු.

වැරැදුණොත් තුනටියෙන් පණ නැති වෙනවා කියනවා. දැන් මට ඇවිදින්න පුළුවන්. වැඩ පළ කරගන්න පුළුවන් නිසා මෙහෙම ජීවත් වෙනවා…” ඇයට වයස අවුරුදු තිස්හතකි. අවිවාහක ඇය කාටවත් බරක් නොවී ජීවත්වන බව ද අපට කීවාය.

එක පසෙකින් කුණු ඇළකට ද, පිටුපසින් කැලණිවැලි දුම්රිය මාර්ගයට ද මැදිව පිහිටි ටී විස්ස වත්තේ මිනිසුන් ගෙවන දුක්ඛිත ජීවිතවල කඳුළු කතා පත්ඉරුවකට ලඝු කිරීම අසාධාරණයක් දැයි මට සිතේ. ඒ වත්තේ ජීවත්වන සෑම කෙනෙකුටම දුක හිතෙන කතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙයින් ටී විස්ස වත්තේ අසරණ ජීවිත ගැන පොතක් ලියාවත් අවසාන කළ නොහැකි තරම්ය.

කුණු ඇළක් ඉදිරිපිට කුණු වෙන ටී විස්ස වත්ත

ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment