කුණු කතා

923

දෙසැම්බර් මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවන ලද්දේ ගොවීන්ට යූරියා පොහොර විකුණා ලත් මුදල්වලින් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කියයි. එම යූරියා පොහොර ගසා ලැබුණු අස්වැන්න විකුණා මෙවර රාජ්‍ය සේවක පඩි ගෙවීමට බැරිදැයි කෙනෙක් කල්පනා කරනවා ඇත. එහෙත් ලංකාවේ ඇත්තේ මාස හයෙන් හයට ක්‍රියාත්මක වන කන්න දෙකක් පමණි. මාස් පතා අස්වැන්න දෙන කන්න නැත. එබැවින් මේ මාසයේ රාජ්‍ය සේවක පඩි කෙසේ ගෙවිය හැකිද යන ප්‍රශ්නය මතුව තිබේ. බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා කට ඇරියොත් කියන්නේ රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවීමට බැරි බවය. අපගේ වැටහීමට අනුව, බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා මේ මූසල කතාව නිතර නිතර නොකිය යුතුය. එය කනට විශාල අමිහිරක්ද, මිනිසුන්ගේ බලාපොරොත්තු සුන්කරන කතාවකි. මෙබඳු කතා මේ උගත් ඇමැතිවරයා විසින් මීට පෙරද පවසනු ලැබ තිබේ. එහෙත් ඒ කිසිදු මාසයක රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවීමට බැරි වී නැත. පඩි නැතිව ආහාර හිඟයෙන් මියගිය රාජ්‍ය සේවකයන් ගැනද කිසිදු ආරංචියක්ද නැත.

මේ රටේ දේශපාලනඥයන් කතා කළ යුතු දේ මෙන්ම කතා නොකළ යුතු දේද මහ හඬින් කතා කරති. හිටපු ඇමැතිවරයකු වන මර්වින් සිල්වා මැතිතුමාද කතා අංශයෙන් සහ ක්‍රියා අංශයෙන් බලවත් වාතයක් වී ගෙන එන බව පෙනෙයි. පොතුහැර පැත්තේ සිටින වෙද මහත්මයකු විසින් සාදන ලද දළදා මාළිගාවේ අනුරුවක් පිළිබඳ පසුගියදා බලවත් සමාජ ප්‍රශ්නයක් ඇති විය. සේපාල අමරසිංහ නමැත්තකු විසින් ශ්‍රී දළදාවට අපහාස කිරීමත් සමගම මේ ප්‍රශ්නය ඩබල් විය. මේ කුණු කතාන්දර දෙක හේතුවෙන් මේ රටේ ආගමික සමගිය යම්කිසි තර්ජනයකටද ලක් විය. ඒ මොහොතේදී ඉදිරිපත් වූ මර්වින් සිල්වා පිරිවරක්ද සමග දළදා මාළිගාවේ අනුරුව තිබූ පොතුහැරට ගොස් එය ඉදිකළ වෙද මහත්මයා හමුවී එම ගොඩනැඟිල්ලේ පත්තිරුප්පුව කඩා දමන ලෙසත් එසේ නොකොළොත් තමන් සමග පැමිණ පිරිස ලවා එම පත්තිරුප්පුව කඩවන බවත් කීවේය. මෙය කිසියම් තර්ජනයක ස්වරූපෙන් පැමිණි කතාවක් වුවද අවසානයේදී බලන විට වෙද මහතා සහ මර්වින් සිල්වා කිට්ටු යහළුවන් බව හෙළිවිය. දළදා අනුරුව හැදූ වෙද මහතා ශ්‍රේෂ්ඨ පුද්ගලයකු බවද මර්වින් සිල්වා එම ස්ථානයේදීම පැවසීය. මෙයින් හැඟී ගියේ විශ්‍රාමික දේශපාලකයකු සහ සාමාන්‍ය සිවිල් වැසියකු එක්වී නාට්‍යයක් පෙන්වන බවකි. ඒ අතර පිටිදූවේ සිරිධම්ම හෙවත් උමන්දාවට අධිපති සමන්ත භද්‍ර හාමුදුරුවන් කෙළෙහි ගුණ නොදන්නා හිමිනමක් බවද මර්වින් සිල්වා පසුගියදා යූ ටියුබ් චැනල් එකකට පැවසීය. එම භික්‍ෂුවගේ පුද්ගලික හුටපටයක් විසඳීමට තමන් මැදිහත් වූ බවත් එම භික්‍ෂුව මේ වන විට තමන්ට දුරකථන ඇමැතුමක්වත් නොදෙන බවත් මර්වින් සිල්වා පවසා ඇත. විශ්‍රාමික වයෝවෘද්ධ දේශපාලනඥයන් සිය ආස්ථානය

රැකගෙන නම්බුවක් ඇතිව ජීවත් විය යුතුය. සියලු විපත් ළඟා කරන්නේ කටවල් විසිනි. තම පාලනයක් යටතේ ජනාධිපති මන්දිරයෙහිදී කොම්පියුටර් පන්ති දමන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසා තිබේ. සජිත් ප්‍රේමදාස යනු බලාපොරොත්තුවක් තැබිය හැකි අනාගත නායකයකු මිස විකටයෙක් නොවේ. ජනාධිපති මන්දිරය යනු වසර 200 කට කිට්ටු ඉතිහාසයක් ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධීක්‍ෂණය යටතේ පවත්නා ජාතික දේපළකි. ඒ දේපළෙහි කොම්පියුටර් පන්ති දැමිය හැකිද? බලයට පැමිණි දවසක ජනාධිපති මන්දිරයෙහි කොම්පියුටර් පන්ති දැමීමට සජිත් ප්‍රේමදාසට බැරි වුණොත් එය ඔහුගේ දේශපාලන අතීතයට හොඳ නැත. එබැවින් ජාතික නායකත්වය කරා යන සියලු දෙනා ඉතා ප්‍රවේශමෙන් කතා කළ යුතුය.

ලංකාවේ දේශපාලනය යනු වාචාල පිට්ටනියකි. මේ පිට්ටනියට රැස්වන මහජන මන්ත්‍රීවරුද එසේ වීමට අපේක්‍ෂා කරන දේශපාලනඥයෝද විවිධ කුණුහරුප ඇද බාති. සමගි ජනබලවේගයේ මන්ත්‍රී රෝහිණි කවිරත්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කුණු කතා කීපයක් කී ජනක තිස්සකුට්ටිආරච්චි පොහොට්ටුවේ ඡන්ද සෑහෙන ප්‍රමාණයක් කඩා දැම්මේය. එසේම සෑහෙන පිරිසක් පුද්ගලයන් කීප දෙනකු විසින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පෙරළා ගත් බව කීමෙන් සමගි ජනබලවේගයේ නලින් බණ්ඩාර ඉතා පහත් අපහාසයක් කළේය. මෙහි සැබෑ අවාසිය යන්නේ නලින් බණ්ඩාරට නොව සජිත් ප්‍රේමදාසගේ ඡන්ද පදනමටය. ඩයනා ගමගේ සම්බන්ධයෙන් මේ කතාව කිව්ව අවස්ථාවේදී ඊට එරෙහිව රෝහිණි කවිරත්න වචනයක්වත් කතා කළේ නැත. රෝහිණී කවිරත්න යනු කාන්තාවන්ට කරන අපහාස සම්බන්ධයෙන් දැඩි විරෝධතා දක්වන තැනැත්තියකි. එහෙත් තම පක්‍ෂයේ කෙනෙකු එබඳු ප්‍රකාශයක් කළ විට ඇයට නිරුත්තර වීමට සිදුවූයේ මේ රටේ දේශපාලනයේ පවතින කුණු ගඳ ගහන ස්වරූපය නිසාය.

මෙවැනිම කුණු කතා කියන කතාකාරියක් අපේ දේශපාලන ලෝකයට සිටී. ඇය හිරුණිකා ප්‍රේමචන්ද්‍රය. හිරුණිකාගේ පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සිය ජීවිතයේ කිසි දිනෙක දේශපාලන කුණුහරුප කියා නැත. කම්කරු අයිතීන් පිළිබඳ ක්‍රියාකාරියෙකු වූ ඔහු අවසන් මොහොත වන තුරු තමා කියන වචනවල ගෞරවය රැක ගත්තේය. එහෙත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හාත්පසින්ම වෙනස්ය. උදය ගම්මන්පිල රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිය අවස්ථාවක ඔහුට මෙට්ටයක් සැපයීම පිළිබඳ පාර්ලිමේන්තුවේදී නැඟුණු ප්‍රශ්නයකදී හිරුණිකා කියා සිටියේ ගම්මන්පිලගේ වෘෂණ කෝෂ තැබීම සඳහා එම මෙට්ටය යොදා ගන්නවා විය හැකි බවය. ඉන්පසු නැවත වතාවක් ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහට අපහාස වන පරිදි බෝල දෙකක් පිළිබඳ කතාවක් කීවාය. දූ දරුවන් සිටින තරුණ මවක වන හිරුණිකා මෙවැනි කතා කියන්නේ කෙසේදැයි අපට නොවැටහේ. ශ්‍රී ලංකාව යනු කිසියම් සංස්කෘතික පදනමක් තියෙන රටකි. මේ රටේ සියලුම දුරාචාර සිදුවන නමුදු ඒවා බෝඩ් ගසාගෙන කවුරුත් කරන්නේ නැත. හිරුණිකා වැනි කාන්තාවන්ගේ කතාන්දරවලින් හානි සිදුවන්නේ සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ජීවිතයටය. මේ සියල්ලටම අමතරව තිත්ත කුණුහරුපයෙන් යූ ටියුබ් එකේ කතා කරන රාජාංගනයේ සද්ධාරතන නමැති භික්‍ෂුවක් සිටී. මෙවැනි භික්‍ෂූන් වහන්සේ ගැන නුදුරේදීම වෙනම කතුවැකියක් ලිවීමට අපි අපේක්‍ෂා කරමු. කහ රෙද්දක් ඇඟේ ඔතා ගත් පමණින් භික්‍ෂුවක් වීමට බැරිය. ඒ පිළිබඳ දීර්ඝ විග්‍රහයක් ලබන සතියේ බලාපොරොත්තු වන්න.

advertistmentadvertistment
advertistmentadvertistment