කුණු ට්‍රැක්ටරේට ගිය රාජ්‍ය ලාංඡනය

354

වසර 12 ක් තිස්සේ මම මේ සටන කරනව

හිටපු පාලකයන්ට කිව්වා. විසඳුමක් ලැබුණේ නෑ

දැන්වත් මේ වරද නිවැරදි කරන්න. මේක රටට ශාපයක්

ලොව ඕනෑම රාජ්‍යයක් සතුව ස්වීය වූ අනන්‍යතාවන් කීපයක් ඇත. ඒ අතරින් රටක ජාතික ගීයට සහ ජාතික ධජයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්ය. රටක ජාතික ගීය වාදනය කරන ඕනෑම අවස්ථාවක ඒ ඒ රටෙහි රට වැසියන් ඊට ඉමහත් ගෞරවයක් දක්වන්නේ එබැවින්ය. රටක ජාතික ධජයට ද හිමි වන්නේ ඊට නොදෙවෙනි ස්ථානයක්ය. රටක රාජ්‍ය ලාංඡනය ගත් විට ද ඉහත සඳහන් බුහුමන් ඊට හිමිවිය යුතුය.

ලෝකයේ වෙනත් රටවල කෙසේ වෙතත් මෙරට ජාතික ලාංඡනය උදෙසා හිමිවිය යුතු නිසි ගෞරවය අහිමි වෙමින් යන බවත් එබැවින් එය වහා නිවැරදි කළ යුතුව ඇති බවත්, ඔහු නගන හඬ බවට පත්ව ඇත. ඉකුත් ඔහු දිවයින කාර්යාලයට පැමිණ සිටියේ ඒ බව රට හමුවේ ප්‍රකාශ කිරීම පිණිසය. ඔහු නමින් සුමිත් සෙනෙවිරත්නය.

කුණු ට්‍රැක්ටරේට ගිය රාජ්‍ය ලාංඡනය

සුමිත් අවධාරණය කර සිටින්නේ මෙරට ලියාපදිංචි කරනු ලබන රථ වාහන අංක තහඩු තුළ රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම බරපතළ වරදක් බවය. එය නිවැරැදි කිරීම පිණිසත් ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීම පිණිසත් වසර කිහිපයක් තිස්සේ උත්සාහ දරන සුමිත්, වරක් රටේ ඉහළම පුරවැසියාව පවා මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇතත් ඊට නිසි විසඳුම් හිමිවී නැත. කුමන බාධක මධ්‍යයේ වුව ද මෙම වරද “නිවැරදි” කිරීම පිණිස වෙසෙන සුමිත් මෙවර මාධ්‍ය හමුවේ පෙනී සිටින්නේ එහි තවත් එක් පියවරක් ලෙසය. මේ සුමිත් සෙනෙවිරත්න පවසන කතාවය.

“රටක ජාතික ලාංඡනය කියන්නේ ඒ රටේ ප්‍රෞඪත්වය, සශ්‍රීකත්වය විදහා දක්වන සංකේතයක්. තවත් පැත්තකින් ගත්තොත් රටක් සතු අභිමානය එකට කැටි කොට පෙන්වන්න පුළුවන් සංකේතයක් වශයෙනුත් ජාතික ලාංඡනය හඳුන්වන්න පුළුවන්. අපේ රටේ රාජ්‍ය ලාංඡනය කියන්නෙත් හැම දෙයක්ම මනාව පෙන්නුම් කරන විශිෂ්ට නිමැවුමක්. නමුත් අපේ රටේ රාජ්‍ය ලාංඡනයෙන් සංකේතවත් කරන අරමුණු එකක්වත් මහ පොළොව මත මේ වෙලාවේ සැබෑවක් ලෙස දකින්න ලැබෙන්නේ නෑ. ජාතික ලාංඡනයෙන් පෙන්වන ප්‍රෞඪත්වය අද නෑ. සෞභාග්‍ය, සමෘද්ධිය අද නෑ. ඉමහත් ගෞරවයක් දැක්විය යුතු රාජ්‍ය ලාංඡනය පවා අවභාවිත කිරීම රට ඒ තත්ත්වයට පත්වීමට එක හේතුවක් ලෙස මම දකිනව. තවත් හේතු ඇති. ඒව දේශපාලන කාරණා හින්දා ඒ ගැන මම කතා කරන්න යන්නෙ නෑ.

“මගේ මාතෘකාව වන රාජ්‍ය ලාංඡනය පිළිබඳව කතා කරනවා නම් අද ඒකට බල්ලො මුත්‍රා කරනව. වාහන අංක තහඩුවල රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරන්න ගත්තට පස්සේ තමයි මේ තත්ත්වය උදා වෙන්නේ. එකත් එක්ක තමයි රාජ්‍ය ලාංඡනය දණහිසෙනුත් පහළට වැටුණේ. අපේ මිනිස්සු ජාතික කොඩිය ඔළුවේ ගැටගහගෙන ක්‍රිකට් මැච් බලන්න ගත්තට පස්සේ ජාතික කොඩියටත් මේ විපතම සිද්ධ වුණා. වෙසක් දවසට දන්සැල් දෙන අපේ මිනිස්සු වාහන නතර කරන්න පාවිච්චි කරන්නේ බෞද්ධ කොඩිය. ඒ හරහා ආගමත් හෑල්ලුවට ලක් වුණා.

කුණු ට්‍රැක්ටරේට ගිය රාජ්‍ය ලාංඡනය
රාජ්‍ය ලාංඡනය ඇතුළත් අංක තහඩුවකට සුනඛයෙකු විසින් මුත්‍රා කරන ආකාරය

මේ පූජනීය සංකේත එහෙම අවභාවිත කරද්දි රටට ජාතියට වෙන අවමානය ගැන ඒ අය හිතුවේ නෑ. ජාතික ලාංජනය ටත් වෙලා තියෙන්නේ ඒ ටිකම තමයි. ජන රජ පෙරහැර කියල පහුගිය දවස් වල නුවර උත්සවයක් පැවැත්වූව. එදා ජනරජ ලාංඡනය ඇතෙකු පිට නංවල දෑලේ තවත් ඇතුන් දෙදෙනෙක් එක්ක වැඩම කෙරෙව්ව. දළදාව වැඩම කරවනව වගේ ලොකු වටිනාකමක් දුන්නා. ඒක හොඳයි. ඉදිරියටත් ඒක සිද්ධ වෙන්න ඕන. නමුත් අද වෙනකම් කවුරුවත් හිතුවේ නෑ නගරසභා කුණු ටැක්ටරයෙත් තියෙන්නෙ මේ රාජ්‍ය ලාංජනයම නේද කියල. හරක් මස් අදින ලොරියෙ තියෙන්නෙත් මේකම නේද කියල. ඒ විතරක් නෙවෙයි. පාර අයිනක යතුරුපැදියක් නතර කරල තිබුණොත් අංක තහඩුවට බල්ලො මුත්‍රා කරනව. ඒ තහඩුවෙත් රාජ්‍ය ලාංඡනය තියෙනව. බල්ලා ඒක දන්නෙ නෑ. ඒ හින්ද දැන්වත් රථ වාහන අංක තහඩුවල රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරන එක නතර කළ යුතුයි. ඒ සඳහා විකල්පයක් තෝරගන්න කියල අපි බලධාරීන්ට යෝජනා කරනව. මේක මගේ පුද්ගලික ඉල්ලීමක් නෙවෙයි. මේ රටට දැයට ආදරය කරන මිනිස්සු වෙනුවෙන් කරන ඉල්ලීමක් මේක. මම දන්න තරමින් රාජ්‍ය ලාංඡනය වාහන අංක තහඩුවට යොදාගන්න කිසිම රටක් ලෝකයේ නෑ. අධිකරණයට ගියත් විනිශ්චයකාර ආසනයට ඉහළින් තමයි රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරල තියෙන්නේ. රජ්‍ය ආයතනයකට ගියත් එහෙමයි. මේක බලධාරීන් තේරුම් ගත යුතුයි. ඒක තේරුම් නොගන්නා තාක් කල් අපේ රාජ්‍ය ලාංඡනයට බල්ලො මුත්‍රා කරනව. ඒ ලාංඡනය ම ඇතා පිට නංවල තවත් වෙලාවක පෙරහැරේ යවනව. ඒක පාපයක්. ඒ වගේම රටට ශාපයක්. අන්න ඒ වරද පෙන්වා දෙන එක මේ රටේ පුරවැසියෙකු ගේ යුතුකමක් කොට සලකමින් තමයි ඒ වෙනුවෙන් මම දිගින් දිගටම හඬ නගන්නේ….”

කුණු ට්‍රැක්ටරේට ගිය රාජ්‍ය ලාංඡනය
සුමිත් සේනාරත්න

රාජ්‍ය ලාංඡනය රථවාහන අංක තහඩුවේ ප්‍රදර්ශනය කිරීම නතර කරන ලෙස රජයට බලපෑම් කරන සුමිත් සෙනෙවිරත්න ඒ සඳහා පළමුව අවධානය යොමු කරනු ලබන්නේ 2012 වර්ෂයේදීය. මේ පිළිබඳව වරක් එවකට සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වරයාව දැනුවත් කරන සුමිත් ලිපියක් මගින් සඳහන් කර සිටින්නේ රථ වාහන අංක තහඩු සඳහා රාජ්‍ය ලාංඡනය යොදා ගැනීම තුළ එය අවභාවිතයට ලක් වන බවත් එබැවින් එය නිවැරදි කිරීම පිණිස යම් සාධනීය පියවරක් ගන්නා ලෙසත්ය. එම ලිඛිත දැනුම් දීමට හැරෙන තැපෑලෙන් පිළිතුරු සපයන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා එහිදී සඳහන් කොට ඇත්තේ අදාළ දැනුම්දීම පිළිබඳව තමන්ගේ අවධානය යොමු බවත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කිරීමෙන් අනතුරුව පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා බවත්ය. ඉන් අනතුරුව මේ පිළිබඳව එවකට ජනාධිපතිවරයාව ජනාධිපති වරයා වූ මහින්ද රාජපක්ෂ මහතාවද ලිපියක් මගින් දැනුවත් කරන සුමිත් හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මුණගැසී මේ පිළිබඳව දැනුවත් කොට ඇත. ඒ කෙසේ වෙතත් මේ වෙනතුරු “රාජ්‍ය ලාංජනය” රථවාහන අංක තහඩුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිවෙකු ගේ අවධානය යොමු වී නැත. රාජ්‍ය ලාංඡනය සහිත පෙරහැර කරවනු දකින සුමිත් නැවතත් කරලියට පැමිණීමට තීරණය කර ඇත්තේ එය ප්‍රවණතාවක් බවට පත් කර ගනිමින් හෝ පාලකයන් දැනුවත් කිරීම පිණිසය.

කරඬුවක් වගේ ඇතා පිට රාජ්‍ය ලාංඡනය ගෙනියන්න පුළුවන් නම් මේ රටේ පුරවැසියෙක් විදියට මගේ ඉල්ලීමට දැන්වත් බලධාරීන් ඇහුම්කන් දෙන්න ඕනේ. එහෙම ඇහුම්කන් දෙන්නේ නැත්නම් පාලකයන්ගේ තරම මේ රටේ මිනිස්සු තේරුම් ගනීවි. ඇතා පිටේ ගෙනිච්ච රාජ්‍ය ලාංඡනයටම තමයි මහ පාරේදී බල්ලො මුත්‍රා කරන්නේ. රටේ රාජ්‍ය ලාංඡනය කියන්නේ එක වෙලාවක පෙරහැර කරල ප්‍රදර්ශනය කරන්න තරම් වටිනා එකක්නම් තවත් වෙලාවක පාරෙ ඇවිදින බල්ලන්ට ඒකට මුත්‍රා කරන්න දෙන්න බෑ. එකම සංකේතයකට ස්ථාන දෙකක දී වෙනස් ආකාරයේ සැලකිලි දෙකක් දක්වනව කියන්නේ විහිළුවක්. ඒ වගේම රටට කරන අපහාසයක්. මේක නිවැරදි කරන්න. මේ රටට ආදරය කරන සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලුම ජාතීන්ගේ ඉල්ලීමක් වශයෙන් තමයි පාරට බැහැල මේ ගැන මම හඬ නගන්නේ. අංක තහඩුවේ රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරනව වෙනුවට වෙනත් සංකේතයක් ඒ සඳහා යොදාගන්න. දැනට නිකුත් කරලා තියෙන අංක තහඩු වෙනුවෙන් ඒ දේ කරන්න බැරිනම් ඉදිරියටවත් මේ ගැන පියවරක් ගන්න…”

මේ සම්බන්ධව වැඩි විස්තර ලියා තැබීමේ අවශ්‍යතාවක් නැත. සුමිත් සෙනෙවිරත්න සතු ඡායාරූප එකතුවේ එක් ඡායාරූපයක් ඇත. එම ඡායාරූපයෙන් බොහෝ දේ කියවා ගත හැක. බලධාරීන්ගේ අවධානය එම ඡායාරූපය කෙරෙහි යොමුවේ නම් සුමිත් සේනාරත්න විසින් වසර ගණනාවක් තිස්සේ ගත් උත්සාහය ද සාර්ථක වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment