කුණු මාළු කන්ටේනර්  98 ක් රේගුවෙන් පැන්නීම ගැන පරීක්ෂණයක්

285

මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි පාරිභෝගික අධිකාරිය තීරණය කර තිබියදී රේගුවෙන් අභිරහස් ලෙස පිටතට ගෙන ගිය මත්ස්‍ය කන්ටේනර් 98 ගැන වහාම පරීක්ෂණයක් සිදු කර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා පෙරේදා (26 දා) අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

කන්ටේනර් 98 ක කුණු මාළු ටින් කර විකිණීමේ සූදානමක් පවතින බවට 2022 ජුනි මස 08 වැනි බදාදා ‘දිවයින’ පුවත්පතෙන් මුල් වරට කරුණු හෙළි කිරීම සහ මහජන පැමිණිලි මත පසුගිය දින (25 දා) පැවැති කැබිනට් හමුවේදී මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා වීමෙන් පසු විමර්ශනයක් සිදුකිරීමට ධීවර ඇමැතිවරයා කටයුතු කර තිබේ.

තායිලන්තයට ගෙන යමින් තිබූ මත්ස්‍ය තොගයක් අඩංගු කන්ටේනර් 98 ක් සාගරයේදී ඇති වූ අනතුරුදායක සිද්ධියක් මත ශ්‍රී ලංකාවට ගෙනවිත් ශ්‍රී ලංකා රේගු භාරයේ තිබෙන බවත් ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබියදී කරවල සහ වෙනත් නිෂ්පාදන සඳහා මේවා අලෙවි කිරීමට කටයුතු කරන බවට ආරංචියක් පැතිර තිබීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බව ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කර සිටී.

මේ පිළිබඳව ඇමැති දේවානන්ද මහතා පෙරේදා (26 දා) රේගු දෙපාර්තමේන්තුවේ සහ පරිසර අධිකාරිය ඇතුළු අදාළ ආයතනවල නිලධාරින් හා සිය අමාත්‍යාංශ නිලධාරීන් කැඳවා සාකච්ඡා කර ඇත. එහිදී හෙළිදරව් වූ කරුණු මත මෙම කන්ටේනර් වහාම විනාශ කිරීමට හෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවක් රැගෙන සත්ව ආහාර නිෂ්පාදනයට සුදුසු නම් සත්ව ආහාර නිෂ්පාදනයට යොමු කරන පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ පිහිටා තිබෙන සත්ව ආහාර නිෂ්පාදන ආයතනයට ලබාදීමට කටයුතු කරන ලෙසට උපදෙස් දී ඇත.

මෙම කන්ටේනර් පිළිබඳව නිරතුරු සෙවිල්ලෙන් හා අවධානයෙන් සිටින ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් ඇමැතිවරයා කිසිසේත් මේවා මිනිස් පරිභෝජනයට

ගැනීමට හෝ ඒවා තුළින් පාරිසරික හානිවලට ඉඩ නොතබන ලෙස ද ඇමැතිවරයා නිලධාරින්ට උපදෙස් දී, ඒවා සම්බන්ධයෙන් ගන්නා වූ පියවර ගැන සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුවත් කරන ලෙස ද අමාත්‍යාංශ ලේකම් ඉන්ද්‍රා රත්නායක මහත්මියට දැනුම් දී ඇත. මෙම වාර්තාව ලැබූ පසු කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව ද ඇමැතිවරයා නිලධාරීන්ට ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට මෙම කන්ටේනර වරායෙන් පිට කර ඇති බවත් ඉන් කන්ටේනර් 58 වැලිසර කන්ටේනර් අංගනයක

ගබඩා කර ඇති බවත් හෙළි වී ඇත. එම ආහාර ගබඩාවේ නුසුදුසු මාළු කන්ටේනර් ඉවත් කර ගන්නා ලෙස එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කන්ටේනර් අංගන හිමිකරුට දැනුම් දී ඇත.

අඩි 40 ක් දිග කන්ටේනර් තුළ ටූනා මසුන් කිලෝ විසිපන්දහසක් විසිහත්දහසක් අතර පවතින බවට වාර්තා වී තිබිණි. සීසෙල්ස් සිට මැලේසියාව බලා මසුන් ප්‍රවාහනය කරමින් තිබූ නැවක් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී කාර්මික දෝෂයකට ලක්වීම නිසා එහි විදුලිය විසන්ධි වීමෙන් ශීතකරණ ද අක්‍රීය වී තිබී ඇත. මෙම නැව කොළඹ වරාය සීමාවට රැගෙනවිත් අලුත්වැඩියා කිරීමට මාස 05 කට වැඩි කාලයක් ගත වීම නිසා එහි මත්ස්‍ය තොගය මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු නිසා එහි හිමිකරු විසින් රැගෙන යෑම ප්‍රතික්ෂේප කර තිබිණි.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment