කුණු මාළු කිලෝ  25000ක් අත්අඩංගුවට – කෝටිපතියකු ඇතුළු 4ක් දැලේ – රේගුවෙන් පැන්නූ මාළු කන්ටේනර් 98ක බඩු?

248

මිනිස් පරිභෝජනයට නුසුදුසු රුපියල් කෝටියකට අධික වටිනාකමෙන් යුත් මාළු කිලෝ ග්‍රෑම් විසිපන්දහසක් අත්අඩංගුවට ගත් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කෝටිපති ව්‍යාපාරිකයකු ඇතුළු සිව් දෙනකු ඊයේ  (10 දා) පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම මාළු තොගය මීගමුව සහ සීදුව ප්‍රදේශවල ශීතාගාරවල සඟවා තිබියදී පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු තොරතුරක් මත නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. ක්‍රිෂාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අතුල ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් මෙම මහා පරිමාණ වැටලීම කර තිබිණි.

ජාවාරම්කරුවන් මෙම පරිභෝජනයට නුසුදුසු මාළු හෝටල්වලට සහ තවත් භෝජනාගාරවලට අඩු මිලට ලබාදී කෝටි ගණන් ලාභ ලබා ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම ජාවාරම් කරගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයා මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මාළු ආනයනය කරන සමාගම්වලින් ඉවත දමන මාළු මේ ආකාරයට ලබාගෙන මොවුන් ඒවා අලෙවි කර ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් මාළු තොගය අධිකරණය වෙත ඉදිරිපත් කර විනාශ කිරීමට කටයුතු කරන බවද පොලිසිය කියා සිටියේය.

කැලණිය කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අතුල ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන පැවැත්වෙයි.

මෙම කුණු මාළු තොගය පසුගියදා රේගුවෙන් කන්ටේනර් 98කින් පැන්නූ මාළු බවටද පොලිස් විමර්ශන කණ්ඩායම්වලට සැක පහළ වී ඇත. ඒ පිළිබඳවද සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමය කෙළින්ම චෝදනා නඟන්නේ මෙම කුණු මාළු කන්ටේනර් 98න් පැන්නූ ඒවා බවය. කෙසේ වෙතත් කුණු මාළු කන්ටේනර් 98 පිළිබඳව මෙම සැකකරුවන්ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගෙන යන බව පෑලියගොඩ පොලිසිය පවසයි.

මාළු පිටරටට ආනයනය කරන ආයතනවලට ලැබීමෙන් පසු මේවා සැකකරුවන් ලබාගත් බවටද සැක පහළ වී ඇත. මෙම කුණු මාළු කන්ටේනර් ජාවාරම ගැන ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයටද රහස් පොලිසියටද පැමිණිලි කර තිබිණි.

මෙම විමර්ශන කටයුතු යටපත් වීමට කිසිසේත් ඉඩ නොදෙන බව පොලිසිය කියයි.

හේමන්ත රන්දුණු, නෝමන් පළිහවඩන සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment