කුඹුරක බැඳ සිටි එළදෙනගේ ගෙල සහ සිරුරේ කොටස් කපා රැගෙන ගිහින්

572

සැකකරු නිවසේ මස් වේලමින් සිටියදී මාට්ටු

දඹගල්ල පොලිස් වසමට අයත් රුවල්වෙල දැලිව ප්‍රදේශයේ කුඹුරක බැඳ සිටි එළදෙනකු මරා මස් රැගෙනගිය සැකකරුවකු දඹගල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

කොරටිය රුවල්වෙල දඹගල්ල පදිංචි ගව හිමියා බුත්තල ප්‍රදේශයට යෑමට ඇති බව පවසා තම ගවයන් කුඹුරේ ගැටගසන ලෙස පුතාට පවසා තිබේ.

ඒ අනුව පුතා විසින් පියා සහ පවුලේ අය බුත්තල ප්‍රදේශයට ගොස් සිටියදී ගවයන් ඔවුන්ට අයත් කුඹුරේ ගැටගසා ඇත. පසු දින උදෑසන ගොස් බැලීමේදී අවුරුදු දෙකහමාරක් පමණ වයසැති එළ වැස්සිය කුඹුරේ වැටී සිටිනු දැක පරීක්ෂා කිරීමේදී එළ වැස්සියගේ ගෙල ප්‍රදේශය කපා ශරීරයේ කොටස්ද කපා මරා මස් රැගෙන ගොස් ඇති බව අනාවරණයවී තිබේ. ඒ පිළිබඳ සොයා බැලීමේදී ප්‍රදේශයේ පාළු නිවසක ගව මස් වේලමින් සිටි සැකකරුවකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් ඝාතනය සිදුකළ බව පිළිගෙන ඇත.

ඝාතනය කළ මෙම එළ වැස්සියගේ වටිනාකම එක් ලක්ෂ පනස්දහසක් පමණ වේ. මෙම වැටලීමේදී ඔහුගේ සන්තකයේ තිබී ගංජා කිලෝ 02 ග්‍රෑම් 175 සොයාගෙන ඇත. සැකකරු ගවමස් සහ වියළි ගංජා සමග සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

දඹගල්ල වැඩබලන පොලිස් ස්ථානාධිපති ජේ.එස්.එම්. ජවුසි මහතාගේ උපදෙස් පිට පොලිස් පරීක්ෂක සමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment