කුඹුරක වැඩකරමින් සිටි සැමියා අකුණු සැර වැදී මරුට – බිරිඳ පිළිස්සි බරපතළයි

538

කම්පනයට පත් කාන්තාවක් රෝහලේ

නවගත්තේගම ඛෙදවාචකය

නවගත්තේගම කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි තිදෙනකුට අකුණු සැර වැදීමෙන් එක් අයකු මිය ගොස් තවත් කාන්තාවන් දෙදෙනකු රෝහල් ගත කර තිබේ.

13 වෙනි දින සවස මෙම අනතුරු සිදුවී ඇත.

එදින සවස එම ප්‍රදේශයට ඇදහැලු‍ණු සුළු වර්ෂාවත් සමග කුඹුරේ වැඩ කරමින් සිටියදී මෙම පිරිසට අකුණු සැර වැදී ඇති අතර එහිදී ප්‍රදේශවාසීන් 1990 ගිලන්රථ සේවයට දැනුම් දීමෙන් පසු ඔවුන් තිදෙනා ගල්ගමුව රෝහලට ඇතුළත් කර ඇත. රෝහලට ඇතුළත් කරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ නවගත්තේගම රඹකනයාගම ප්‍රදේශයේ පදිංචිව සිටි වන්නිනායක මුදියන්සේලාගේ සුමිත් කුමාර නැමැති 39 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ හලාවත ඒකකයේ සේවයේ යෙදී සිටි අයෙකි.

අකුණු සැර අනතුරින් බරපතළ ලෙස පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ඔහුගේ බිරිඳ වන 35 හැවිරිදි අතපත්තු මුදියන්සේලාගේ සුනේත්‍රා අතපත්තු යන අයයි. ඇය නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරිනියකි.අසාධ්‍ය තත්ත්වයේ පසුවන ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බව පොලිසිය පවසයි.

අකුණු සැර වැදී දැඩි කම්පනයට පත් කහදව හේරත් මුදියන්සේලාගේ මානෙල් කුමාරි නැමති පනස් හැවිරිදි කාන්තාවක් ගල්ගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි.
අමරනන්ද විජේසේකර-මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment