කුඹුරු අක්කරයක් සීසාන ට්‍රැක්ටර්  ගාස්තුව රු. 18000 දක්වා ඉහළට

387

ඩීසල් මිල වැඩිවීමත් සමග කුඹුරු අක්කරයක් සීසෑම සඳහා අයකරන ට්‍රැක්ටර් ගාස්තුවද රුපියල් 18000 දක්වා වැඩිවී ඇති බව ගාල්ල ප්‍රදේශයේ ගොවීන් පවසති.

පසුගිය මහ කන්නයේ දී කුඹුරු අක්කරයක් සීසෑම සඳහා අයකරනු ලැබුවේ රුපියල් 12,000 ක් බවත්, ඩීසල් මිල මෙම කාලය තුළදී වරින් වර කිහිප වතාවක් වැඩිවීම නිසා සීසෑම සඳහා අය කරනු ලබන ට්‍රැක්ටර් ගාස්තුවද වැඩිකොට ඇති බව ගොවීහු පෙන්වා දෙති.

රසායනික පොහොර, වල්නාශක හා කෘමිනාශක නොමැතිවීම නිසා ගිය මහ කන්නයේ දී ගොවීන් දැඩි අසරණ තත්ත්වයට පත්වූ බවත්, වී අස්වැන්න විශාල වශයෙන් අඩුවූ බවද ඔවුන් කියති. වී කිලෝවක් සඳහා ඉහළ මිලක් ලැබුණද, කම්කරු ශ්‍රමය, ට්‍රැක්ටර් ගාස්තු, බිත්තර වී ආදී යෙදවුම්වල මිල විශාල වශයෙන් ඉහළයෑම නිසා ගොවීන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බවද ඔවුහු පවසති. මේ නිසා කුඹුරු අක්කරයක්

වගා කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන බවත්, වියදම් කරන මුදලට අනුව ආදායමක් උපයාගත නොහැකි බවද ගොවීන් කියති.

යූරියා කිලෝ 50 ක පොහොර කොට්ටයක් රු. 36000 ක මුදලකට කළු කඩය තුළ අලෙවි වන බවත්, මෙවර යල කන්නයේ වගා කටයුතු කරගැනීම සඳහා රසායනික පොහොර සහනාධාරය කඩිනමින් ලබාදීමට රජය කටයුතු කළ යුතු බවද ගොවීන් පවසති.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල
 

advertistmentadvertistment
advertistmentadvertistment