කුඹුරේ ගැටලු රැසකට විසඳුම් පැළ සිටුවීම හරහා…..

249

පැළ ඈතින් තිබෙන නිසා පළිබෝධකයන් බෝවීමත් අඩුයි
 
 පැළ සිටුවීමේ යන්ත්‍ර වැඩ නැතිව  රටපුරා තැන තැන
 
 දශක කීපයකට කලින් පාසලේ ක්‍රියාකාරකමක් හැටියටත් දරුවන් කුඹුරේ පැළ සිටවූවා
 
 පැළ සිටුවූ කුඹුරට වල්නාශක අවශ්‍යතාවය අවමයි
 


 වී වගාවේ පැළ සිටුවීම අපට අලුත් අත්දැකීමක් නොවේ. දශක කීපයකට ඉහතදී මේ සඳහා පාසල් ළමුන්වද බහුලව යොදාගනු ලැබුවේ, කුමන විෂයය ධාරාවක් යටතේ අධ්‍යාපනය ලැබුවද, ගොවිතැනේ අත්දැකීම්ද ලබාගැනීම පුරවැසි වගකීමක් බව බලධාරීන් පවා විශ්වාස කළ නිසා විය හැකිය. වගා කන්නය ඇරඹෙන කාලයට පාසල් සිසුදරුවන් ගුරුභවතුන්ද සමග අහල පහළ පිහිටි වෙල්යායක් වෙත ගොස් දිනක් දෙකක් පැළ සිටුවමින් ගොවිතැනේ යෙදීම එකල දරුවන් ලැබූ සුන්දර අත්දැකීමක් වූ බවට සැක නැත.

 කෙසේ වුවත් පසුකාලීනව ගොවිතැනට සමාජය තුළින් ලැබෙන ප්‍රමුඛතාවය ක්‍රමයෙන් හීනවී යෑමත්, ගොවිබිමට සපයාගත හැකි මිනිස් ශ්‍රමයේ ඌනතාවයත් ඇතුළු කරුණු ගණනාවක් නිසා මේ වනවිට පැළ සිටුවීම මගින් කෙරෙන වී වගා ස්ථාපනය ඉතාමත් අවමයෙන් සිදුකෙරෙන ක්‍රමවේදයකි. බිත්තර වී වල ඇති සුලභාතාවයද, පැළ සිටුවීම අතහැර සාම්ප්‍රදායික වී වැපිරීම කෙරෙහි ගොවියාව වැඩි වැඩියෙන් පොළඹවන සාධකයක් බවට පත්වී හමාරය. පැළ සිටුවීම් මෙරටට හඳුන්වාදුන් සමයේදී සිදුකරනු ලැබුවේ තවානක සෑදු සති දෙකක් ඉක්මවූ ගොයම් පැළ ගළවා සාමූහික පිරිස් සහභාගිත්වයකින් ඒවා කුඹුරේ සිටුවීමයි.

කුඹුරේ ගැටලු රැසකට විසඳුම් පැළ සිටුවීම හරහා.....

වර්තමානයේදී වී වගාව මුහුණදෙන සීමාමායිම් සලකාබලන කල පැළ සිටුවීමෙන් ලබාගත හැකි ප්‍රතිලාභයන් පිළිබඳව ගොවි ජනතාවට නැවතත් කරුණු මතක් කරදීම වඩාත් ප්‍රයෝජනවත් කාර්යයකි. මන්දයත් පැළ සිටුවීම හරහා වර්තමානයේ පවතින ගැටලු සමහරකට සාධාරණ විසඳුම් ලබාදෙන නිසාය. එදා පිරිස් බලයේ ඌනතාවය හේතුවෙන් ගොවියා පැළ සිටුවීම අතහැරියද, යාන්ත්‍රික පැළ සිටුවීම හඳුන්වාදීම හරහා මේ වනවිට ඊට විකල්ප විසඳුමක් ලබාදී තිබේ. මීට අමතරව මෙම ක්‍රමවේදය හරහා සැලසෙන ශෂ්‍ය විද්‍යාත්මක වාසිද ගණනාවකි. කලකට ඉහතදී මෙරටට රැගෙන ආ පැළ සිටුවීමේ යන්ත්‍ර, ඇතැම් ගොවීන් සතුවද, ගොවිජන මධ්‍යස්ථාන භාරයේද තිබෙන අතර, ගොවිපළ යාන්ත්‍රීකරණ පර්යේෂණ මධ්‍යස්ථානයේද භාවිතා කළ හැකි මට්ටමේ යන්ත්‍ර කීපයක් පවතී. තම අවශ්‍යතාවය අනුව ඒවා භාවිතා කිරීමේ හැකියාව අදාළ පළාත්වල ගොවීන්ට තිබේ.

 වී වැපිරීම සිදුකරන්නේ නම් ළපටි ගොයම් පැළ පිටතට ඇදී පසට සවිවෙනතෙක් මුල් දින කීපය තුළදී ලියැද්ද රැඳි ජලය රහිතව තබාගත යුතු අතර මෙම තත්ත්වය වල්පැළ ස්ථාපනය වීමටද හිතකර තත්ත්වයක් වේ. ඒ නිසා වල්නාශක භාවිතය අනිවාර්ය අවශ්‍යතාවයකි. එහෙත් එය ඉතා මිල අධිකය, ඇතැම්විට වෙළෙඳපොළෙහිද හිඟය. එහෙත් වල්පැළ මතුවීම වැළැක්වීම සඳහා ජලය රඳවා තිබෙන ලියැද්දක වුවද පැළ සිටුවීමෙන් වගා ස්ථාපනය කළ හැකිය. මෙවිට වල්පැළ පරදවන වර්ධන ආරම්භයක් ගොයම විසින් ලබාගන්නා නිසා පසුකාලීන වල් ගහනය අඩුවීම හරහා ගොවියාට ඇතිවන්නේ පහසුවකි. වල්නාශකද අනිවාර්ය නොවේ. පේළියට පැළ සිටුවන්නේ නම් අවශ්‍යතාවය අනුව වීඩරය වැනි යාන්ත්‍රික වල් මර්දන උපකරණයක් භාවිතයට වුවද අවස්ථාවක් තිබේ. ගොයම් පැළ අනවශ්‍ය තරමට ලංවී පිහිටන්නේ නැති බැවින් පාංශු පෝෂක ද්‍රව්‍ය වෙනුවෙන් ඒවාහි තරගයද අවමවේ. මෙය පොහොර හිඟ වර්තමානයේදී පිරිමැසුම්දායක පොහොර භාවිතයට අත්වැළකි. එලෙසම පැළ ඈත්වීම හරහා ඒවා අවට ක්ෂුද්‍ර පාරිසරික තත්ත්වයන්ද දියුණුවෙන නිසා දුඹුරු පැළ කීඩෑවා වැනි පළිබෝධ ගහනයන්ද පාලනය වේ. ඔවුන් වැඩිපුර ගුණනය වන්නේ සෙවන හා ජලය සහිතව එක ළඟ ඇසිරුනු ගොයම තුළය.

 අනෙක් අතට රසායනික කෘෂිරසායනික ද්‍රව්‍ය භාවිතය හරහා ගොවීන් මුහුණදෙන සෞඛ්‍ය ප්‍රශ්න ගැනද සමාජය තුළ පෙරට වඩා කථිකාවක් මේ වනවිට නිර්මාණය වී තිබේ. එසේනම් හැකිතාක් දුරට පරිසර හිතකාමී ගොවිතැනක් කරන්නට යොමුවීම කාලීන අවශ්‍යතාවයකි. කුඹුරේ පැළ සිටුවීමෙන් එවන් අරමුණක් කරා යෑමට ලැබෙන සහයෝගය කෙතරම් දැයි යළිත් සිතාබැලීමට මෙය සුදුසුම කාලය වන්නේය.

 “මෙරටට ගෙනවිත් කාලයක් තිස්සේ පරීක්ෂණයට භාජනය කළ පැළ සිටුවීමේ යන්ත්‍රවල පැළ අතර පරතරය අඟල් 12 ක්. මෙය හොඳටම ගැළපෙන්නේ මාස හතර වයස් කාණ්ඩයේ වී වර්ගවලට. හොඳට ඉඩ තිබෙන නිසා, කල්වේලා අරගෙන සරුවට පඳුරු දමා වර්ධනය විය හැකි බැවින් ඒ හරහා අස්වැන්නත් වැඩිවෙන බව ඇත්ත. ඒත් ලංකාවේ වැඩිපුර වගාකරන මාස තුනහමාරේ වයස් කාණ්ඩයට පැළ සිටුවීම හරහා එවන් වාසියක් අත් නොවුනත්, ඒවාට වුවත් යන්ත්‍ර භාවිතයෙන් පැළ සිටුවීම සුදුසුයි. වැපිරූ කුඹුරුවලට වඩා අස්වැන්න අඩුවක් නම් වෙන්නේ නෑ. නමුත් පැළ සිටුවීමෙන් ගොවියාට ලැබෙන අනෙකුත් වාසි ටික ඒ විධියටම ලැබෙනවා. එහෙනම් දැනට රටේ තිබෙන යන්ත්‍රවල සකසා තිබෙන ස්ථාපන පරතරය ටිකක් වැඩි වුණා කියලා ඒවා අතහැර දැමිය යුතු නෑ. මාස තුනහමාරේ වී වර්ග සඳහාත් මෙය භාවිතා කරන්න පුළුවන්”

 මෙසේ පවසා සිටින්නේ බතලගොඩ වී පර්යේෂණායතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (ශෂ්‍ය විද්‍යා) ආචාර්ය තනුජා ඉලංගකෝන් ය. මාස තුනහමාරේ වයස් කාණ්ඩයට ගැළපෙන පරිදි අඟල් 8 පරතරය ඇතිවෙන පරිද්දෙන් දැනට තිබෙන යන්ත්‍ර සීරුමාරු කිරීම ප්‍රායෝගික වන්නේ නැත. එවන් පරතරයක් සහිතව අලුත් යන්ත්‍ර සාදා මෙරටට ගෙන්වීම නම් කළහැකි දෙයක් වුවත්, නිෂ්පාදක ආයතන ඒ සඳහා ලොකු ඇනවුමක් ඉල්ලා සිටී. යන්ත්‍රය නිසි පරිදි ගොවීන් අතරට යනතුරු එයද කළ නොහැක්කකි. එසේනම් දැන් අප උනන්දු විය යුත්තේ රට තුළ තිබෙන යන්ත්‍ර භාවිතයෙන් මෙම ක්‍රමවේදය උදෙසා සුදුසු ආරම්භයක් ගැනීමයි. බිත්තර වී නොඅඩුව තිබුණත් වී ගොවිතැනට අවශ්‍ය අනෙකුත් බාහිර යෙදවුම්වල සීමාවක් පැවතීම, මෙවන් නව මාවතකට පිවිසීමට හොඳ නිමිත්තක් ද වනු ඇත. දැනට ඇරඹී ඇති මහ කන්නයේදී නව ජවයකින් කුඹුරු කරන්නට සැවොම තුළ තිබෙන පොදු අපේක්ෂාවට පැළ සිටුවීමේ යන්ත්‍රය ද මුසු කරගන්නේ නම්, අවසන් ප්‍රතිඵල වඩාත් සාරවත් වනු නොඅනුමානය. එවන් යාන්ත්‍රීකරණයකට පුරුදු වනතුරු අඩුම තරමින් පෙර දවස සිදුකළාක් මෙන් පාසල් ළමුන්, ගමේ තරුණ සමිති සංගම් යනාදිය පවා සංවිධානය වෙමින් අතින් පැළ සිටුවීම හෝ යළි පණගැන්විය යුතුය. වී ගොවිතැන නවීකරණය වීමේදී මෙරට තුළ තවමත් එය සිදුව ඇත්තේ අස්වැන්න නෙළීම ආශ්‍රිතව පමණි. ඒ සඳහා නම් සංයුක්ත නෙළනය වැනි උපකරණ භාවිත කරනු ලබයි. අපට අසල්වැසි රටවල් මින් ඔබ්බට ද ගොස් ඇත. ඔවුහු පැළ සිටුවීමේදී සිටම නවීන තාක්ෂණය භාවිතා කරති. එවන් මාවතකට පිවිසීමට හොඳම වෙලාවක් වගාවට තිබෙන අර්බුද ජයගැනීම හරහා අපටද උදාවී තිබේ.

 ● සනත් එම්. බණ්ඩාර
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment