කුරුඳු විහාර පුරාවිදු තහවුරු කිරීම්වලට බාලගිරි දෝෂය

168

හිටපු සහකාර පුරාවිදු කොමසාරිස් එම්. එච්. සිරිසෝම මහතාගේ කාලයේ දී ඔහු සන්සෝනි කොමිසමට දුන් සාක්ෂිය මෙරට නීතිය ඉදිරියේ බෞද්ධ ස්මාරක පිළිබඳව දුන් වැදගත්ම තොරතුරු සමුදායක් ලෙසට හැඳින්විය හැකිය. එවක කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමැතිව සිටි සිරිල් මැතිව් මහතා ගේ ඉල්ලීම පිට උතුරේ සහ නැගෙනහිර පළාත්වල හඳුනාගත් පුරාවිද්‍යා ස්ථාන දෙසිය හැත්තෑ හයක ලැයිස්තුවක් සිරිසෝම මහතා විසින් ඉදිරිපත් කර තිබුණි. මේ සම්පූර්ණ වාර්තාව අමාත්‍යවරයා විසින් යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරනු ලබන්නේ උතුරේ පවතින ජාතික උරුමය සංරක්ෂණයට ජගත් අවධානය යොමු කර ගැනීම පිණිසය. නමුත් තිස් වසරක් යුද්ධයකට කොටු වූ උතුරු පළාත පිළිබඳ අපට අසන්නට ලැබෙන්නේ විනාශ කරන ලද ස්තූප පිළිම ගෙවල් උඩ එල්. ටී. ටී. ඊ. බන්කර් අටවන ආකාරයයි. නැතිනම් කොටි ගුවන් විදුලියේ සම්ප්‍රේෂණ කුලුනු ඉදි කළ ආකාරයයි. බෙදුම්වාදී කැරැල්ල මර්දනය කරලීමෙන් පසු කැලෑ පීරමින් බිම් බෝම්බ ඉවත් කිරීමෙහි සහ හමුදා කඳවුරු ස්ථාපනය කිරීමේ දී තවත් පුරාවස්තු රැසක් සොයා ගන්නට හමුදා සෙබළුන්ට හැකි විය. හිටපු ආරක්ෂක ලේකම් වරයාගේ නියෝගය මත මේ පුරාවස්තු සෙවීම සඳහා හමුදා විශේෂ පිරිසක්ද යොදවා ගත්හ. අනතුරුව නැගෙනහිර සහ උතුරේ දී පුරාවිද්‍යා ගවේෂණ ආරම්භ වන අතර ස්මාරක දහසකට වඩා සොයා ගන්නට හැකි වූ බව වාර්තා වේ. මේ අතර 1905 දී හිටපු පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් මහතා විසින් සිය වාර්තාවේ දක්වන ලද කුරුඳු විහාරය සුවිශේෂ වෙයි. ඒ මන්ද ලංකාවේ මෙතෙක් හමු වී තිබෙන කබොක් වලින් නිර්මිත එකම පද්මාකාර ස්තූපය හමු වන්නේ මෙහි බැවිනි.

මැනුවල් ඔෆ් ද වන්නි ඩිස්ටි්‍රක් ක් කෘතියේ දී මුල් වරට මේ බෞද්ධ ස්මාරකය ගැන සඳහන් කර ඇත. වන සංරක්ෂණ සිතියම්වල නාග චෝල රක්ෂිතය වශයෙන් හඳුන්වන කැලෑ ගහනයේ උස් කන්දක නටබුන්ව පැවති මෙකී විහාර සංකීර්ණය සම්පූර්ණ ගවේෂණයකට භාජන වී නොතිබුණකි. එහෙත් 1933 දී මේ නටබුන් වෙන් කොට පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් අක්කර 78 ක් ගැසට් කර තිබේ. පසුව මෑත කාලයේ දී පුරාවිදු නිලධාරීන් විසින් සම්පූර්ණ ප්‍රදේශය තුළ කරන ලද සොයා බැලීම් වලදී අක්කර 400 ක පමණ පුරාවට නටබුන් විසිර පවතින බව අනාවරණය විය. එහෙත් එවැනි ශාස්ත්‍රීය එළඹුමකට බඳුන් වන ප්‍රදේශයක දක්නට ලැබෙන විද්වත් සහභාගිත්වයකට වඩා ඒ අවට දක්නට ලැබෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන විසින් අවුස්සන ලද අන්තවාදී උද්ඝෝෂණයන්ය. 2018 දී පළමු වරට පුරාවිදු නිලධාරීන්ට අවශ්‍ය මුර කුටියක් තැනීම සඳහා පිටත්ව පැමිණී කණ්ඩායමක් සහ දෙමළ අන්තවාදීන් පිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමකින් පසුව පුරාවිදු නිලධාරීන්ට එදිරිව මුලතිවු මහෙස්ත්‍රාත් විසින් තහනම් නියෝගයක් ලබා දුන් අතර කරුණු පැහැදිලි කිරීම් වලින් පසු තහනම ඉවත් වී පුරාවිදු කැණීම් ආරම්භ කිරීමට අවසර ලැබුණි. මෙම කරුණු පැහැදිලි කිරීමේ දී මහෙස්ත්‍රාත්වරයාට විස්තර කර දෙනු ලැබුවේ පුරාවස්තු ආඥා පනතේ බලය සාමය කඩ කිරීමේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ බලයෙන් අතික්‍රමණය කළ නොහැකි බවයි. ඒ සඳහා නඩුකරයක් යා යුතු නම් ශ්‍රේෂ්ඨාධිකරණය යොදා ගත යුතු බවට එහිදී තර්කනය විය. කෙසේ වුවත් ස්තූපය කැණීම් අවසන් කළ පසු තහවුරු කිරීම් සිදු කර ගර්භය අවසන් කිරීමට ආසන්න වන අවස්ථාවේ දී සම්ප්‍රදායුනුකූලව දාගැබක සිදු කරන ධාතු නිධානය ට අවස්ථාව එළඹුණි. අස්ගිරි මල්වතු අනුනායක හිමි වරුන් සහ අමරපුර උත්තරීතර මහනායක හිමියන්ගේද මූලිකත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානයේ දී මෙම සංරක්ෂණයට මූල්‍ය අනුග්‍රහය දක්වන බෞද්ධාලෝක පදනමේ ඉල්ලීම පරිදි සංස්කෘතික අමාත්‍යාංශයත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාත් ප්‍රධාන සංවිධායකවරු ලෙසට කටයුතු කළ බව කවුරුත් දනී.

කුරුඳු විහාර පුරාවිදු තහවුරු කිරීම්වලට බාලගිරි දෝෂය

එහෙත් උත්සවය පැවති අවස්ථාවේදී එතැනට කඩා වැදුණු දෙමළ ජාතික සන්ධානයේ අන්තවාදීන් පිරිසක් මග හරස් කොට ගෙන බාධා ඇති කළහ. උද්ඝෝෂණයන්ට අවස්ථාවක් ඇතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතුවලට බාධා පමුණුවීම නීති විරෝධී කටයුත්තකි. එහෙත් මුලතිව් පොලිසිය නැවතත් සාමය කඩ වීම යටතේ උසාවියට ගොඩ වැදුණේ පුරාවිදු බලධාරීන්ට සහ සංරක්ෂණයට සහාය වන පිරිසට බාධාවකින් තොරව වැඩ කර ගෙන යෑමට ඉඩ හසර දීමට නොවේ අන්තවාදීන්ට අවශ්‍ය වාරණය ගැනීමටය. ඒ අවස්ථාවේදී අන්තවාදීන් සමග සාකච්ඡා කරනු ලබන පුරාවිද්‍යා අධ්‍යත්ෂ ජනරාල් වරයා මෙම ස්ථානය සම්බන්ධව පුරාවිද්‍යා මැදිහත් වීම පිළිබඳව සඳහන් නොකර ඉහළින් පැමිණි නියෝගයක් බවට හඟවමින් උත්සවය අවලංගු කිරීමට කටයුතු යෙදූ බව කවුරුත් දනී. අනතුරුව තව දින කීපයකින් උසාවි ගොස් වාරණය ඉවත් කර ගත්තද ගර්භයේ කටයුතු අහවර වී හතරැස් කොටුවේ වැඩ පටන් ගැනීමේදී නැවතත් පෙර කී අන්තවාදීන් කලබලයක් ඇති කරන ලදී. මෙවිටද පොලිසිය මැදිහත් වී සාමය කඩවීම යටතේ උසාවියට කරුණු ගොනු කිරීමෙන් පසු සංරක්ෂණ කටයුතු නවත්වන්නට සිදු විය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් අරුම පුදුම නියෝගයක් ලබාදෙන ලදී. පුරාවිද්‍යා සංරක්ෂණය නැවැත්වීමටත් ඉදිකිරීම් කඩා ඉවත් කිරීමටත් දෙන ලද නියෝගය නිසා මෙරට බෞද්ධ ජනතාව දෙබර ගුලක් සේ ඇවිස්සුණි. මෙහි ඉදි කිරීම් යැයි දක්වන්නේ ස්තූප සංරක්ෂණයයි. මේ කාරණය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් විසින් පැහැදිලි කළ යුතුව තිබුණද එසේ නොවුණු තැන දී මේ නියෝගය ලැබී තිබේ. අවසානයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද මේ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත්වරයාට කරුණු පැහැදිලි කර දී නියෝගය අවලංගු කරන ලදී. මේ කාලයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කුරුන්දි විහාරය පිළිබඳ නඩුවක් ගොනු කොට තිබුණි. දෙමළ පිරිස් වන්දනා මාන කළ තැනකට ඇතුළු වීමට හමුදාව සහ නිලධාරීන් එක්ව බාධා කළැයි පවසමින් මානව හිමිකම් නඩුවක් ගොනු කොට තිබුණි.

මේ නඩුව මත ශ්‍රේෂ්ඨාධිකරණය කුරුන්දු මලේ තිබෙන පැරණි ස්මාරක මැන ඉදිරිපත් කළ යුතු බවට මිනුම්පති වරයාට නියෝගයක් දී තිබුණි. ඒ අනුව මැනීමට පැමිණි නිලධාරීන්ට බාධා වන ලෙසට දෙමළ අන්තවාදීන් හැසිරුණු අතර පොලිසිය නිහඬවම මගහැර සිටියහ. මුලතිව් පොලිසිය සෑම විටම සාමය කඩවීමට අදාළ පැමිණිලි ගොනු කරනවා විනා පුරාවස්තු ආඥා පනතේ ප්‍රබලත්වය උසාවියේ දී පැහැදිලි නොකරති. මේ නිසා යළිත් සංරක්‍ෂණය නැවැත්වීමට සිදු විය. සැප්තැම්බර් 13 දින නැවත මේ නඩුව පිළිබඳ මුලතිව් උසාවියේ කරුණු ඉදිරිපත් වූ අතර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාද උසාවියට පැමිණ සිටියහ. නමුත් පුරාවිද්‍යාවේ කාර්ය භාරය පැහැදිලි කිරීමක් සිදු නොවුණි. මෙවැනි නඩුකරයක් මහෙස්ත්‍රාත් උසාවියක පවත්වාගෙන යා නොහැකි බව පැහැදිලි කිරීමක් අවශ්‍ය වුවද එසේ සිදුව නොමැත. කුරුඳු විහාර නඩුව වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම මුලතිව් ගොස් සිටි නුවන් බෙල්ලන්තුඩාව ඇතුළු නීතිඥයන් තිදෙනාට නඩුව වෙනුවෙන් කතා කිරීමට අවස්ථාවක් නොලැබුණේ උතුරේ අධිකරණ බස දෙමළ බැවිනි. දකුණේ ඉහළ උසාවියේ ඉංග්‍රීසියෙන් නඩු අහන අතර සිංහලට තැනක් නැත. උතුරේ පහළ උසාවියේ දෙමළෙන් කතා කරන අතර සිංහලට තැනක් නැත. අවසානයේ රටේ සෑම තැනකම සිංහල අවලංගු වී යයි. දෙමළ අන්තවාදීන්ට අවශ්‍ය වන්නේ එයයි. මේ තත්ත්වය තුළ ඉදිරි වැහි කාලයට පෙර සංරක්ෂණ කටයුතු අවසන් කරනු නොලැබුවහොත් කුරුන්දේ ස්තූපය අනතුරේ බව පුරාවිද්‍යා බලධාරීන්ට තේරුම් යා යුතුය.

දෙමළ අන්තවාදීන් රණ්ඩු කරනුයේ කුරුන්තුර්මලේ නම් ස්ථානයේ ඔවුන්ගේ ආදි ශිවන් නම් කෝවිලක් තිබුණු බවයි. නමුත් 1905 දී නිකුත් කරන ලද බෙල් වාර්තාවේ ඔහු කියා තිබෙන්නේ කුරුඳු වැව සමීපයේ පවතින කුරුන්තුර් ඌර් නැතිනම් කුරුඳු ගමේ නන්දි ගව රූපය සහිත ශිව කෝවිලක නටබුන් ඇති බවයි.

පසුකාලීන දෙමළ බලපෑම් නිසා එසේ විය හැකි යැයිද ඔහු කියයි. නමුත් එවැනි තැනක් අද වන විට දක්නට නැත. ඇරත් පොලොන්නරුවේ ලංකා තිලක විහාරයේ ද ඇතුල් වන තැන නන්දි ගව රූපය තිබෙන බව අප සිහිපත් කළ යුතුය. නන්දි රූපය දෙමළ සංස්කෘතියට අයත් සංකේතයක් නොවේ. එහි නිරූපිත මුද්‍රාවන් විශ්ලේෂණය කරන්නෙකුට එය පැහැදිලි කළ හැකිය. පසුගිය කාලයේ දී දකුණු ඉන්දියාවේ කෝවිලක වැඳුම් පිදුම් කරන ලද රූපයකට අර්ථ ලබා දී තිබුණේ එරට පුරාවිද්‍යා බලධාරීන් විසිනි. ඒ අනුව බුදුන් වහන්සේ නිරූපිත මුද්‍රාවන් සහ සංකේත හුවා දක්වමින් උසාවිය විසින් මේ රූපය බුදු පිළිමයක් බවට පිළිගෙන තිබේ.

එහෙත් අවාසනාවකට මෙරට පුරාවිද්‍යාවට එවැනි ශාස්ත්‍රීය වගකීමක් මතක් වන්නේද නැත. විවිධ සංස්කෘතීන්ගේ අනන්‍යතාවන් ශාස්ත්‍රීය ලෙසට විග්‍රහ කිරීමට වඩා ඔවුන්ට දේශපාලකයන්ගේ අණට කීකරු වීමට සිදු වේ. කූරගල ඉතිහාසය පිරික්සන කල්හිද මෙම කුරුඳු විහාර ප්‍රශ්නය දෙස බලන කල්හිද කිසිම සොයා බැලීමක් නැති දෙමළ ජාතිවාදයට යටවූ දේශපාලඥයන් නිසා අන්තවාදීන් ගේ ත්‍රස්තවාදී ක්‍රියාවලට නීත්‍යානුකූල අවසරය ලැබී තිබේ. මෙම කුරුඳු විහාරය පවතින නාගචෝල රක්ෂිතයේ අක්කර 1200 ක් පමණ මේ වන විට මේ දෙමළ අන්තවාදීන් විසින් කපා දමා වගාවට යොදවාගෙන ඇත. ඒ සියල්ල සිදුව තිබෙන්නේ 1980 න් පසුවයි. මේ පිළිබඳ අවබෝධයක් නැති දේශපාලඥයන් මෙම රක්ෂිතය කපා දැමූවන්ටම බෙදා හදා දෙන්නට කැස කවති. මේ උදා වී තිබෙන්නේ දෙමළ ඩයස්පෝරාව විසින් නටවන ශ්‍රී ලංකා දේශපාලනය බැවින් මේ සිදු වීම් වල එතරම් පුදුමයක් නැත. නමුත් ජාතික උරුමයන් සැමට පොදුය. ඒවා විනාශයන්ගෙන් ගලවා ගැනීමට සෑම පියවරක්ම ගැනීමට අද අපට සිදු ව තිබේ. ඒ පියවරයන් ජයග්‍රහණය කරනවා නියතය.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment