කුරුලු කැදැල්ලක් සුනුවිසුණු කළ පාපතරයා වෙඩිකා නසී

1208

මිනීමැරුම් කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු ගම්පහ මදුරුවිට ප්‍රදේශයේදී පෙරේදා (29 දා) රාත්‍රි පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇත. මෙසේ මරුමුවට පත්ව ඇත්තේ ගම්පහ මදුරුවිට පදිංචිකරුවකු වන 35 හැවිරිදි ලසන්ත සංජීව හපුආරච්චි නමැති අයෙකි.

සැකකරු මදුරුවිට ප්‍රදේශයේ අඩක් ඉදිකර ඇති තම නිවසේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් මත ගම්පහ කොට්ඨාස අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දුෂ්‍යන්ත ඇතුළු නිලධාරීන් පිරිසක් එහි ගොස් ඇත.

ඒ අවස්ථාවේ නිවසේ සිටි සැකකරු මන්නා පිහියක් රැගෙන පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කර තිබේ. එහිදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් සැකකරු බරපතළ තුවාල ලැබූ අතර ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

රෝහල් ගත කිරීමෙන් පසු සැකකරු මියගොස් තිබේ. මෙම අපරාධකරු ගම්පහ සහ ඒ අවට ප්‍රදේශවල සිදුකළ අපරාධ ගණනාවකට සම්බන්ධ අයකු බව විමර්ශන වලින් හෙළිවී ඇත.

ඉකුත් සැප්තැම්බර් 20 වැනිදා මෙම සැකකරු ඔහුගේ බිරිඳ සමග ගම්පහ අකරවිට ප්‍රදේශයේ මහමග ගමන් ගත් කාන්තාවකගේ මුදල් පසුම්බිය කොල්ලකෑමට උත්සාහ කර ඇත.

ඒ අවස්ථාවේ එම කාන්තාවගේ යෙහෙළිය කොල්ලකරුවන් සමග පොරබැඳ තිබිණි. එහිදී එම කාන්තාවගේ සැමියා ද එහි පැමිණ ඇති අතර කොල්ලකරු ඔහුට මන්නාපිහියකින් පහර දී කපා කොටා තුවාල කර ඇත.

බරපතළ කැපුම් තුවාල සහිතව රෝහල්ගත කළ එම කාන්තාවගේ සැමියා පසුව මියගොස් ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ගම්පහ පොලිසිය කොල්ලයට පැමිණි සැකකරුගේ බිරිඳ අත්අඩංගුවට ගත්තේය. සැකකාර කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූ තැනැත්තියක බව පසුව හෙළිවිය. මෙම ඝාතන සිද්ධියට සම්බන්ධව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය දිගින් දිගටම විමර්ශන පවත්වද්දී ඔහු පෙරේදා රාත්‍රියේ මදුරුවිට ප්‍රදේශයේදී මෙසේ කොටුවී ඇත.

මෙම සැකකරු දෙදරු පියකු බවද පොලිසිය පවසයි.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ පුෂ්පකුමාර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අකිල මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්‍ෂක දුෂ්‍යන්ත ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත් වූහ.

හේමන්ත රන්දුණු, මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment