කුරුලු නදින් විකසිත වූ සිරිපා සමයේ පෙර සූදානම

508

ශ‍්‍රී පාද වන්දනා සමය මේ වන විට ආරම්භ වී ඇත. වාරයක් සහ අවාරයක් ඇති සිරිපා වන්දනාවේ ආරම්භය සිදුවන්නේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙනි. එසේත් නැතිනම් දෙසැම්බර් පොහොය දිනයෙනි. එතැන් පටන් මාස 5 ක් සිරිපා වාරය පවතින අතර, වෙසක් පොහෝ දිනයෙන් වාරය නිමාවට පත්වේ.

මෙම වාරය තුළ සිරිපා කරුණා කරන බැතිමතුන්ට ඉතා හොඳ කාලගුණික තත්ත්වයක් පැවතීම මෙසේ වාරයක් පැවතීමට හේතුවයි. ඉන් පසු උදාවන කාලය බැතිමතුන්ට අවාරය වුවත්, ඒ නම් සිරිපා පරිසර පද්ධතිය යළිත් මිනිස් පා පහසින් තොරව, සොබාදහම විසින් ප‍්‍රකෘතිමත් කරන කාලයයි. ඒ නම් සොබාදහමට සිරිපා වාරයයි.

මෙතැන් පටන් බොහෝ විට සිරිපා අඩවියට වර්ෂාව ඇද හැලේ. ක‍්‍රමයෙන් තද සුළං, තද මීදුම් පතනය සිදුවන අතර, තද සීතලද ඇති වේ. මෙම කාලයේදී අප ඇවිද යන පිය ගැට පෙළ මතින් පවා ජලධාරා ගලාගෙන එයි. එසේ නම්, සීත ගඟුල ඇතුළු ජලධාරා ගැන තවත් කතාකරන්නට දෙයක් නැත. ඇද හැලෙන අනෝරා වැසිවලින් සිය ගණනක් දිය දහරා නිදි ගැට හැරදා සක‍්‍රීය වී මහා ජල කඳන් පහළ තැනිතලාව වෙත රැගෙන යනු ලබයි. කළු, කැලණි, වළවේ ගංගා ප‍්‍රමුඛ ඇළ, දොළ මගින් ගලායන ජලයෙන් කෙත්වතු, උයන් වතු පෝෂණය ලබන අතර, දහසකුත් ජනයාගේ සා පිපාසාව පමණක් නොව, අඳුර මකා දැමීමද සිදුකරයි. දිය ඇලි සක‍්‍රීය වී, පරිසරය ප‍්‍රබෝධවත්වී කුරුලූ, කිරිල්ලන්, රිළා, වඳුරු කැළ ඇතුළු වන සතුන්ගේ කෙළිබිමක් බවට මේ අපූරු වන පෙත පත්වේ.

කුරුලු නදින් විකසිත වූ සිරිපා සමයේ පෙර සූදානම

එසේ හෙයින් අප විශ්වාස කරන ලෙසම සමනළ අඩවිය තවත් එක දේව අඩවියක් බවට පත්වේ. ඇතැමුන් කියන පරිදි මෙය දෙයියන්ගේ රටය. හෙක්ටයාර් 22,379 ක් පුරා (ශ‍්‍රීපාද ස්වභාව රක්ෂිතය) දිවෙන සිරිපා හිමේ වන ගහනයෙන් හෙක්ටයාර් 9,400 ක පමණ ප‍්‍රමාණයක් (ශ‍්‍රීපාද අභය භූමිය) මිනිස් පහස සඳහා රජය මගින් වෙන්කර දී ඇත. සිරිපා උඩමළුවේ සිට නල්ලතන්නිය දක්වාත්, සිරිපාගම, පලාබද්දල ඔස්සේ රත්නපුර මාර්ගය වැටෙන්නේත්, කුරුවිට පැත්තෙන් එරත්න සිරිපා මාර්ගය දිවෙන්නේත් මේ අභය භූමිය මතිනි. ඒ හැරෙන්නට ඉතිරිය සිරිපාද හිමේ ස්වභාව රක්ෂිතයි. එය සම්පූර්ණයෙන්ම රජය මගින් රක්ෂණය කරන වන ප‍්‍රදේශයකි.

ශ‍්‍රී පාද වාරය ආරම්භ වන්නේ සම්ප‍්‍රදායානුකූලව රත්නපුර මහ සමන් දේවාලයෙන් සිරිපා උඩ මළුව වෙත ශ‍්‍රී සුමන සමන් දෙවිඳුන්ගේ ප‍්‍රතිමාව සහ දේවාභරණ වැඩමකරවීමෙන් පසුවය. බුදුන් වහන්සේ තෙවන වර ලංකාවට වැඩි ගමනේදී ශ‍්‍රී සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනයෙන් සමන්ත ගිජ්ජ කූඨකය මස්තකයේ ශ‍්‍රීපාද සලකුණ පිහිටු වූ බව කියනු ලබන අතර, අදටත් සිරිපා මළුව ඇතුළු සිරිපා හිමේ අණසක පිහිටුවා ආරක්ෂා කරන්නේ සුමන සමන් දෙවියන් බව සමාජ පිළිගැනීමයි. එසේ හෙයින් චාරිත‍්‍රානුකූලව අතීතයේ පටන් අදටත් සිරිපා වාරය ආරම්භ කෙරෙන්නේ සමන් දෙවිඳුන්ට කෙරෙන පුද පූජාවලට මුල් තැන දෙමිනි. එය සිදුවන්නේ උඳුවප් පොහෝ දින බැවින් එතැන් පටන් සිරිපා වාරය සමාරම්භ කෙරේ.

මේ සඳහා දැඩි කැපවීමෙන් පෙර සූදානම කෙරෙන අතර, වත් පිළිවෙත්වලට මුල් තැන දෙමින් සිරිපා අඩවිය පිරිසිදු කිරීමට මුල් තැන ලබා දේ. මංමාවත් පිළිසකර කිරීම, බැතිමතුන් සඳහා යටිතල පහසුකම් ලෙස ජලය, විදුලිය ලබාදීම, වෙළෙඳසල් විවර කිරීම, සෞඛ්‍ය පහසුකම් ඇතිකිරීම, නවාතැන් හා විවේක ගැනීම සඳහා විශ‍්‍රාම ශාලා, ගිමන් හල් පිළියෙල කිරීම, වත් පිළිවෙත් සඳහා පහසුකම් සැලසීම වැනි අත්‍යවශ්‍ය කටයුතු සියල්ලක් පාහේ සිදුකරනු ලබන්නේ උඳුවප් පොහෝ දිනය එළැඹෙන්නට මත්තෙනි. මේ සඳහා කොපමණ කැපකිරීම් සිදුකළ යුතුද දන්නේ එම කටයුතු සිදුකරන උදවියමය. ශ‍්‍රී පාදස්ථානාධිපති නායක ස්වාමීන්වහන්සේගේ පටන් රත්නපුර, නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම්වරුන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන්, ප‍්‍රාදේශීය සභා, ජල, විදුලි බල මණ්ඩල, මාර්ග සංවර්ධන, සෞඛ්‍ය අංශ, වන හා වනජීවී දෙපාර්තමේන්තු, කොන්ත‍්‍රාත්කරුවන්, කම්කරුවන්, ස්වෙච්ඡා සමිති, විහාරාරාම, දායක සභා, තරුණ, වැඩිහිටි කණ්ඩායම්, පුද්ගලික අංශයේ සමාගම් යනාදී මෙකී නොකී ආයතන හා සංවිධාන රැසක් මෙම පෙර සූදානමට එක්වන අතර, උඳුවප් පොහෝදා සමන් දේව ප‍්‍රතිමාව හා දේවාභරණ වැඩමවන මහා පෙරහැර පැමිණෙනවිට නල්ලතන්නියේ සිට උඩමළුව දක්වා අඩුවක් නැතිව හැඩ වැඩ වන්නේ මේ සියලූ දෙනාගේ දායකත්වයෙන් හා කැපවීමෙනි.

කුරුලු නදින් විකසිත වූ සිරිපා සමයේ පෙර සූදානම

එසේ හෙයින් පොහෝ දිනට සතියකට පමණ පෙර කාලය ශ‍්‍රී පාද මාර්ගයට අතිශය කාර්ය බහුල කාලයක් බව නොකිවමනාය. මෙසේ පෙර සූදානමට ලක්වන සිරිපා මාර්ගය බලන්නට මෙන්ම, එම ගමනේදීම උඩමළුවට කරුණා කර ශ‍්‍රී පාද පද්මය වන්දනා කරන්නටද අප තීන්දු කළෙමු. ඒ මෙම කාලයටම එළැඹුණු ජාත්‍යන්තර කඳුකර දිනයද සමරමින් අගනා සංචාරයක් මේ ඔස්සේ කළ හැකිව තිබුණු නිසාය. ඒ අනුව එම දිනය යෙදෙන දෙසැම්බර් 11 වැනිදා දිනය ශ‍්‍රී පාද මළුවේ ගත කළ හැකි පරිදි අපි අපගේ ගමන සැලසුම් කළෙමු.

මෙම ගමන සඳහා හේමන්ත රන්දුණු, හර්ෂණ ජයතිලක, රවීන්ද්‍ර පේ‍්‍රමලාල් සොයුරන් මා සමග එක කණ්ඩායමක් ලෙස එක්වුණු අතර, අපි 10 වැනිදා පාන්දර නල්ලතන්නිය බලා කොළඹින් ගමන් ආරම්භ කළේ අළුයම 3.30 ට පමණය. අනතුරුව කිතුල්ගල, ගිනිගත්හේන, නෝටන් ඔස්සේ අපි නල්ලතන්නියට ළඟා වන විට පෙරවරු 9 පමණ වී තිබිණි.

එතැන් පටන් අපි සිරිපා කරුණාව පටන්ගත්තේ ගතවන වේලාව ගැන තැකීමකින් නොව, පරිසරය විඳීමත්, සිරිපා වන්දනාවට ඇති සූදානමත් පිළිබඳව කරුණු කාරණා දැනගැනීම පිණිසය. රතුපාලම, සාම විහාරය, සාමි අම්බලම, ගඟුලතැන්න, සීත ගඟුල, රතු අම්බලම, ඉඳිකටුපාන, අහස්ගව්ව, ඇහැලකණුව, මහගිරිදඹ පසුකර අප සිරිපා මළුවට ළඟා වන විට සවස 5.30 වී තිබිණි. සාමාන්‍ය වේගයකින් ගමන් ගන්නා අයකුට නම් පැය 2 කින් 2.30 කින් මළුවට ළඟාවිය හැකි නමුත් අපි ඒ සඳහා පැය 8 ක් පමණම ගෙවා දැම්මේ නිදහසේ හා නිස්කලංකයේ මේ ගමන නිමාකිරීම සඳහාය. පැය 2 ක පමණ අමතර රස්තියාදුව නැති වන්නට මේ ගමන පැය 6 කින් පමණ වුවද අපට අවසන් කරන්නට හැකියාව තිබිණි. නමුත්, අපගේ කැමරා පිරෙන්නට අගනා ඡායාරූප ගොන්නක් මේ ගමනේදී අපි ලබාගැනීම ගමනේ ප‍්‍රමාදයට සාක්ෂි සපයයි. එසේම, සිරිපා පෙර සූදානමේ කටයුතු කරන බොහෝ දෙනකු සමග පිළිසඳරේ යෙදෙන්නටද මේ ගමන අපි අවස්ථාව කරගත්තෙමු.

කුරුලු නදින් විකසිත වූ සිරිපා සමයේ පෙර සූදානම

මාර්ග පවිත‍්‍ර කරන කම්කරුවන්, විදුලි මාර්ග හා ට‍්‍රාන්ස්පෝමර් සමග හෙට්ටුවෙන විදුලි සේවකයන්, ජල මාර්ග පිළිසකර කරන ජල හා ස්වෙච්ඡා සේවකයන්, රජයේ හා පුද්ගලික අංශයේ සෞඛ්‍ය හා ඖෂධ සේවා සපයන්නන්, අවන්හල්කරුවන්, දානපතියන්, තරුණයන්, වැඩිහිටි සමිති, බෞද්ධ හා සමාජ සේවා ක‍්‍රියාකාරීන් යනාදී බොහෝ දායක, කාරකාදීන් මේ ගමනේදී අප හා තම අදහස් හුවමාරු කරගත් අතර, බෞද්ධ භික්ෂුන්වහන්සේ ඇතුළු අවාරයේ සිරිපා කරුණා කරන වන්දනා නඩද මේ ගමනේදී අප හා දොඩමළු වෙමින් අපගේ තනිකම මකා දැමූහ.

10 වැනිදා රාත‍්‍රිය සිරිපා මළුවට අතිශය කාර්ය බහුල දිනයක් වී තිබිණි. පසුදා අළුයම සිදුකිරීමට නියමිත සාම්ප‍්‍රදායක සමන් දේව පූජාව සඳහා භික්ෂූන්වහන්සේ ඇතුළු දායක පිරිස් එක්ව සිටි අතර, රාවණයන් උදෙසා සිදුකරන විශේෂ පූජාවක් සඳහා තවත් 50-60 ක පමණ පිරිසක් එක්ව සිටියහ. තවත් සමහරුන් හිරු උදාව (ඉර සේවය) නැරඹීමේ අදහසින් එහි පැමිණි අය ය. ලෝක කඳුකර දිනය සැමරීම වෙනුවෙන් එහි ගියේ අප පමණක් බව අපගේ අදහසයි.

කෙසේ හෝ අළුයම හිරු උදාව වනවිට 100 කට අධික පිරිසක් මළුවේ ලැගුම් ගෙන සිටියහ. ඒ අතර විදෙස් සංචාරකයන්ද වූහ. විශේෂත්වය නම්, ඒ බොහෝ දෙනකු අළුයම 2 ට පමණ ගමන් ආරම්භ කර මළුවට පැය 2-3 කින් පැමිණි අය වීමය.

මේ සමයේ සිරිපා හිම හරිම නිස්කලංකය. ශබ්ද ඝෝෂා කිසිවකුත් නැත. කොටින්ම තවම ශබ්ද පූජාවක් පවා ඇසෙන්නේ නැත. ඝණ්ටාර නඳක් හෝ මේ කඳු ශිඛර අතරින් පිළිරැව් දෙන්නේ නැත. ගමන පුරා අපට ඇසුණේ පීත කන් කොන්ඩන්ගේ, ලංකා මල් කුරුල්ලන්ගේ (ශ‍්‍රී ලංකාවට පමණක් ආවේණික කුරුල්ලන් දෙදෙනෙකි) නද හා ඉඳහිට ඇසෙන රිළවුන්ගේ හා වළස් වඳුරන්ගේ හඬය. ඒ හැරෙන්නට සීත ගඟුල හා දිය ඇලි වලින් වෑහෙන දිය දහරාවල නිමක් නැති හඬ මෙන්ම කඩින් කඩ ඇසෙන රැහැයියන්ගේ නද පරිසරයට එක් කළේ අපූරු චමත්කාරයකි. ඒ අතර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කම්කරුවෝ පියගැට පෙළ සුද්ධ පවිත‍්‍ර කරමින්, පාරට නැමී ඇති නෙලූ ඇතුළු තෘණ ගාල් කපාදමමින් මාර්ගයට අලූත් පෙනුමක් ලබා දෙමින් සිටියහ. තවත් තැනක විදුලි හා ජල කාර්මිකයන් තම තමන්ට අදාළ සේවා ලබාදීම සඳහා යුහුසුළුව කටයුතු කරනු පෙනෙන්නට තිබිණි. ගලවා ඉවත්කරන ලද අබලන් එහෙත් ඉතා බරැති ට‍්‍රාන්ස්පෝමරයක් රැගත් විදුලි කාර්මිකයෝ එය පහළට රැගෙන එන්නට මහත් වෙහෙසක් ගන්නා ලදී.

ගමන පුරාම යන – එන විට අපට හමුවූවන් බොහෝ දෙනා එක්කෝ මළුවේ ගොඩනැගිලි පින්තාරු කරන්නට තීන්ත බකට්, කොසු, ඉදල් යනාදී දේ රැගෙන යන්නෝ වූහ. තවත් තැනක විශ‍්‍රාම ශාලා, අම්බලම් පිළිසකර කර, තීන්ත උලන වැඩිහිටි පරම්පරාවේ කිහිපදෙනෙකි. ඇතැමෙක් වතුර බට ගෙනවිත් බීමට හා වැසිකිළි සඳහා ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කරන්නෝය. මේ අතර ලහි ලහියේ කඩ හා අවන්හල් ආරම්භ කිරීමට දරන වෙහෙසකර උත්සාහයන්ය. ප‍්‍රාදේශීය සභා මගින් ටෙන්ඩර් ක‍්‍රමයට ලබාදෙන මෙම කඩ ලබාගත් අය මෙවර ආදායමක් ලබාගන්නට වෙහෙස දරන්නේ වසර 3 කට පමණ පසුවය. ඒනිසා පෙර ඉදිකර තිබුණු පැරණි කඩවල උපකාරක ලී දිරා ඇති බැවින් අලූතින්ම මෙවර ඒවා ඉදිකරන්නට සිදුව ඇති බව
කඩකරුවෝ කීහ.

කුරුලු නදින් විකසිත වූ සිරිපා සමයේ පෙර සූදානම

නමුත් එහි අනෙක් කතාව ඊට වඩා හද පාරවයි. මෙම කඩ සඳහා සහ මළුවේ කටයුතු සඳහා අවශ්‍ය සියලූ අඩුම කුඩුම පහළ නල්ලතන්නියේ සිට හෝ පලාබද්දල, එරත්න සිට ගෙන ආ යුත්තේ පාගමනින්ම හිස මතිනි. ඒ සඳහා දමිළ කුලී කරුවන් පිරිසක් සිරිපාද සමයේදී තම සේවාව සපයයි. නල්ලතන්නියේ සිට මළුව දක්වා යම් භාණ්ඩයක් ගෙන ගොස් දීමේදී ඔවුන්ට ලැබෙන්නේ කිලෝවකට රුපියල් 60 ක මුදලකි. ඇතැමුන් මේ මුදලට එක ගමනකදී කිලෝග‍්‍රෑම් 40-50 ක් පමණ දරන්නට බැරි බරක් උසුලාගෙන රැගෙන යන්නේ තම දූ – දරුවන්ගේ බඩ කට පුරවන්නට කීයක් හෝ මේ සමයේදී හොයාගන්නා අදහසෙනි. කිලෝමීටර් 6 කට ආසන්න දුරක් ගොස් මහගිරිදඹද නැග, තම හිසේ බර හා හිතේ බර නිදහස් කරගත්තත් ඔවුන්ට දවසකට රුපියල් 5000 ක් සොයාගන්නට නොහැකිය. කඩ කාරයන් ඔවුන්ට ගෙවන්නේ කිලෝවකට රුපියල් 35 ක් වැනි මුදලකි.

කෙසේ හෝ මේ සමයේදී සමන් දෙවි අඩවිය පිළිසකර කර දෙන්නට බොහෝ දෙනා කටයුතු කරන්නේ මහත් භක්තියකිනි. ඇතැමුන් මේ සමයේදී යම් ආදායමක් උපයාගන්නට වෙහෙසෙති. රජය සේවා සපයන්නට ක‍්‍රියා කරයි. මේ අතර, පොලිතින්- ප්ලාස්ටික් එකතුකර පරිසරය පිරිසිදු කිරීමට වෙහෙසෙන පරිසර ලෝලීන්ද ඉන්නා බව අමතක නොකළ යුතුය. ලෝක කඳුකර දිනය යෙදුණු දෙසැම්බර් 11 දිනද පරිසරය හා ජලමාර්ග පවිත‍්‍ර කරමින් එසේ ශ‍්‍රමදාන කටයුතු වල නිරතවන්නන් සිටි බව පැසසීමෙන් අප සඳහන් කළ යුතුව ඇත්තේ පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය හෝ පවිත‍්‍ර ගංගා ලේකම් කාර්යාලයට මෙවර කඳුකර දිනය අමතකව ගිය පසුබිමකය. කැලණි ගෙඟ් දූෂණය ගැන කතාකරන මෙම පවිත‍්‍ර ගංගා වැඩසටහන
මගින් අඩුම තරමින් සමනල කඳු මුදුනෙන් පටන්ගන්නා කැලණි ගංගාවේ දිය දහරා සංරක්ෂණය සඳහා කිසියම් හෝ කටයුත්තක් නොකිරීම කනගාටුවට කාරණයකි.

මෙවන් තොරතුරු පිළිබඳව අවධානය යොමුකරමින් හා සිරිපා පෙර සූදානම නිරීක්ෂණය කරමින් අප ලෝක කඳුකර දින සැමරුම් දිනයේදී අපගේ සිරිපා කරුණාව නල්ලතන්නියෙන්ම නිමා කළේ අවාරයේ සිරිපා කරුණාවකට එක්වෙමින් හා වසර 3 කට පසු මෙවර උඳුවප් පොහොය දිනයෙන් ඇරඹි සිරිපා වාරයට අපගේ සුභාශිංසන එක් කරමිනි.

ජගත් කණහැරආරච්චි
හේමන්ත රන්දුණු
ඡායාරූප – හර්ෂණ ජයතිලක/රවීද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment