කුලියට දෙන්න තට්ටු ගෙවල් හදා සඳලුතලෙන් වැටුණු මිනිස්සු

164

මෙරට තුළ පවතින ආර්ථික අර්බුදය නිසා ජීවත්වීමට මොනයම් හෝ රැකියාවක් කරන්නට රටේ මිනිසුන් උත්සාහ කරති. එහෙත් මෙතෙක් තම ජීවනෝපාය ලෙසට කරගෙන ආ කර්මාන්ත හා රැකියාවන් මිනිසුන් අත්හැර දමා ඇත්තේ ලැබෙන ආදායමටත් වඩා ජීවින වියදම වෙනදාට වඩා හය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බැවිනි. රට වශයෙන් අප මුහුණදී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙතෙක් පැවැති කර්මාන්ත, වෙළෙඳ ව්‍යාපාර, ප්‍රවාහන සේවා, සෞඛ්‍ය සේවා ආදිය දිනෙන් දින මෙරටින් තුරන් වී යෑමක් දක්නට ඇත. පවතින ආර්ථික අර්බුදය රටේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයටද එල්ලකර ඇත්තේද දැවැන්ත අභියෝගයකි. මේ අතරින් මෙරට තුළ මහල් නිවාස සහ වෙනත් ගොඩනැඟිලි විකිණීමට සහ කුලියට දීමට නොහැකිවීම හේතුවෙන් මෙතෙක් එම ව්‍යාපාරය මගින් යැපෙන 10,000 කට ආසන්න පිරිසක් මේවන විටත් අන්ත අසරණභාවයට පත්ව සිටිති.

නගරබද වෙසෙන බොහෝ දෙනකු තම පවුලට අවශ්‍ය ආහාර, බෙහෙත්, ඇඳුම් පැලඳුම් හා අනෙකුත් අවශ්‍යතාවන් තම වැටුපෙන් සරිකර ගන්නා අතර තම වාසස්ථාන ලෙස භාවිත කරන්නේ කුලී නිවාස හා බද්දට ගත් නිවාසයි. එමෙන්ම ඇතැම් ව්‍යාපාර පවා මෙසේ කුලියට හෝ බද්දට ගත් ගොඩනැඟිලි ආදියෙහි ඔවුහු පවත්වාගෙන යති. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙසේ කුලියට හෝ බද්දට ගැනීමට තරම් ජනතාව අත මුදලක් ඉතිරි නොවන බවත් බොහෝ දෙනා පවසන මතයකි. මේ හේතුවෙන් දිවයින පුරා කුලියට හෝ බද්දට පවත්වා ගෙන ගිය ව්‍යාපාර විශාල ප්‍රමාණයක් මේ වනවිට වසා දමා ඇති තත්ත්වයක් දක්නට ලැබේ. ඇතැම් ව්‍යාපාරික ස්ථානවල ලැබෙන ආදායම් අඩුවීමෙන් එහි සේවය කරන සේවකයන්ට පවා වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතවීමෙන් එහි සේවකයන්ට හා ව්‍යාපාරිකයන්ටද උන්හිටි තැන් නොමැති තත්ත්වයක්ද උදාවී ඇත.

● ගොඩනැඟිලි කුලියට දීමට නොහැකිව අතරමං වූ ව්‍යාපාරිකයෝ

රටෙහි පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තට්ටු නිවාස සහ වෙනත් ගොඩනැගිලි විකිණීමට සහ කුලියට දීමට නොහැකිවීම නිසා ව්‍යාපාරිකයන් 10,000 කට ආසන්න පිරිසක් අන්ත අසරණ භාවයට පත්ව සිටින අතර ඔවුන් මෙම ගොඩනැඟිලි සෑදීමට කෝටි ගණනක මුදල් වැය කළත් ඔවුන්ට එයින් නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකිව ඔවුන් අද බැංකුවලට ණයකරුවන් බවට පත්වී ඇත. මේ සම්බන්ධව සිය අදහස් දක්වන එම ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ මෙරට ජනතාව මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් තට්ටු නිවාස මිලදී ගැනීම සියයට අසූවකින් පමණ අඩුවී ඇති බවය. ඔවුන් පැවැසූ පරිදි විදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් සීමිත පිරිසක් පමණක් මහල් නිවාස මිලදී ගන්නා අතර මේ තත්ත්වය යටතේ සිය ව්‍යාපාර කටයුතු බංකොලොත්භාවයට පත්ව ඇති බවත්ය. තවද රට තුළ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාළ ආයතන විසිපන්දහසක් පමණ ආර්ථික ගැටලු හේතුවෙන් පසුගිය වසර කිහිපයේදී වැසී යෑම හේතුවෙන් එම ක්‍ෂේත්‍රය බරපතළ කඩාවැටීමකට ලක්ව ඇති බවද වාර්තා වෙයි. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ වෘත්තීන්වල නියුතු හය ලක්‍ෂ පනස් දහසක් (650000) හා වක්‍ර රැකියාවල නියුතු ආසන්න වශයෙන් හත්ලක්‍ෂයක පිරිසක් (700000) පවතින ආර්ථික අර්බුදය හමුවේ සිය කර්මාන්ත ක්‍ෂේත්‍රය කඩාවැටීම හේතුවෙන් අනාථභාවයට පත්ව සිටින බව ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා ඇත.

කුලියට හෝ බද්දට දීමෙන් තම ජීවිතය සරිකර ගත් බොහෝ දෙනා වැටී ඇති තත්ත්වය බරපතළය. ඔවුන් ඉතා විශාල ධනස්කන්දයක් වැයකොට ගොඩනැඟිලි ඉදිකර ඇත්තේ ඒවා කුලියට හෝ බද්දට දීමෙන් ලැබෙන ආදායමෙන් තම ජීවිතය සරිකර ගැනීමටය. එහෙත් රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් අද එවැනි ස්ථාන විශාල ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවට දිවයිනේ නගර කිහිපයක අප කළ සංචාරයේදී අපට දැකගන්නට ලැබුණි.

● කුලියට හා බද්දට සිටි ව්‍යාපාරත් කොටඋඩ

ඉන්ද්‍රානි මහත්මිය හොරණ ප්‍රදේශයේ ඇඟලුම් සාප්පුවක් කරගෙන යන ව්‍යාපාරික කාන්තාවකි. ඇයගෙන් අප තොරතුරු විමසීමේදී ඇය පවතින ආර්ථිකය ඇයගේ ව්‍යාපාරයට බලපා ඇති අයුරු අපට විස්තර කළාය.

“මම මේ ව්‍යාපාරය පටන්ගෙන මේ වෙනකොට අවුරුදු 35 ක් විතර වෙනවා. මේකෙන් තමයි මමත් මගේ මහත්තයත් දරුවෝ තුන්දෙනාත් ජීවත්වෙන්නේ. ළමයින්ට ඉගැන්වුවෙත්, කන්න අඳින්න දුන්නේත් මේ ව්‍යාපාරයෙන් ලැබුණු ආදායමෙන්. අද වෙනකොට මේ ව්‍යාපාරය කරගෙන යන්න අමාරු තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. අද ගොඩක් බිස්නස් අඩුයි. අද විතරක් නොවෙයි දැන් කොහෙත්ම අපට බිස්නස් එකක් නැහැ. වෙනදා කරන බිස්නස් එකෙන් හතරෙන් එකක්වත් දැන් කරන්න බැහැ. මොකද මිනිස්සුන්ට බඩු ගන්න අතේ සල්ලි නෑ. මගේ වෙළෙඳ සල තුළ සේවිකාවන් පස්දෙනෙක් වැඩ කළා. ඔවුන්ට වැටුප් ගෙවන්න බැරි නිසා දැන් මමයි මහත්තයයි තමයි මේක කරගෙන යන්නේ. හැමදාම ලැබෙන ආදායමෙන් කඩ කුලිය රුපියල් දාහක් අයින් කරන්න ඕන. ලයිට් බිලට, වතුර බිලට මුදල් වෙන්කරහම අපිට ලාභයක් ඇත්තෙම නැහැ.” ඇයගේ කතාවෙන් අපට හැඟීගියේ ඇගේ ව්‍යාපාරයද නුදුරේදීම වැසෙන බවය.

“දැන් මාස දෙකකින් කුලිය දුන්නේ නෑ. හැමදාම කතාකරලා අහනවා සල්ලි දාන්නෙ කවද්ද කියලා. සමහරවිට මේ මාසෙත් නොදුන්නොත් අපිට මෙතනින් යන්න වෙයි. අපි කාලා ඇඳලත් ඉවරයි” මේ නම සඳහන් කිරීමට අකමැති වූ එම නගරය තුළම දීර්ඝ කාලයක් තිස්සේ ඇඳුම් මසන්නකුගේ කතාවය. ඔහු කියන පරිදි ඔවුන්ට රජය මගින් වැඩිකළ විදුලි බිල හේතුවෙන් සිය ව්‍යාපාරය පවා අත්හැර දැමීමට ඉදිරියේදී සිදුවන බවයි.

“අපට කවදාවත් මෙහෙම වෙලා නැහැ. දැන් දවසට කී පාරක් ලයිට් කපනවද? මේ නිසා අපට එන වැඩ කරගන්න විදිහක් නෑ. විදුලි බිලත් ගෙවා ගන්න විදිහක් නෑ. මෙච්චර කාලයක් අපි ජීවත්වුණේ මේ රැකියාවෙන්. ලැබෙන මුදල් ලයිට් බිල ගෙවලා ගෙදර කන්න ගියාම කඩ කාමර කුලියවත් ගෙවා ගන්න බැහැ. දැන් මිනිස්සු ඇඳුම් මහන එකත් ගොඩක් අඩුයි. දැන් අපිට ජීවත් වෙන්න විදිහක් නෑ. පාරට බහින්න වෙලා තියෙන්නේ.” ඒ ඔහුගේ කතාවයි.

“මේ ගොඩනැඟිල්ල හදලා දැන් අවුරුදු දෙකක් පමණ වෙනවා. තවමත් කුලියට දෙන්න බෑ. හැමෝම ගණන් අහනවා විතරයි. මේක හදන්න ගත්ත බැංකු ණය ගෙවා ගන්න බැරි තැනට අපි පත්වෙලා ඉවරයි. බැංකු වලින් හැමදාම කතා කරනවා. ඉදිරියට අපට නඩු දානව බැංකු වලින්” අළුත්ගම පිහිටි නව ගොඩනැඟිල්ලක හිමිකරුවකු වූ ලක්‍ෂ්මන් මහතා අපට කීවේ එසේය.

● ඉදිකිරීම් වෘත්තිකයනුත් මහ පාරට

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ නියුතු සේවකයෝ පසුගියදා කඹුරුපිටිය නගරයේදී විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ තම රැකියාව නොමැතිකම හේතුවෙන් පවුල් දහස් ගණනක් පාරට වැටී ඇති බවයි. එහිදී ඉදිකිරීම් වෘත්තිකයන් එකමුතුව එම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධාන කර තිබුණි. මෙමගින් ලක්‍ෂ 12කට නොඅඩු ශ්‍රමිකයන් පිරිසක් සිය ජීවනෝපාය අහිමිව සිටින බවද, මෙයට ඉංජිනේරුවරුන්, මේසන් කාර්මිකයන්, වඩුකාර්මිකයන්, පින්තාරුකරුවන් සහ හාඩ්වෙයාර්හි සේවය කරන සේවකයන් පවා ඇතුළත්ව සිටින බවද ඔවුන් පෙන්වා දුන්හ. සිය රැකියාව අහිමිව ඔවුන් සිය පවුල් නඩත්තු කර ගැනීමට නොහැකිව, බැංකු වලට ණය වී පවා කණකර උකස්කොට ඇති බවද මේ වන විටත් ඒවා සින්න වී ඇති බවද ඔවුහු කියා සිටිති.

● කොන්ත්‍රාත්කරුවන් 50% ක අඩුවීමක්

කුඩා සහ මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන් අඩක් පමණ එම කර්මාන්තයෙන් ඉවත්වී ඇති බව මේ වන විට වාර්තා වේ. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය නිවේදනය කරන්නේ 4,000 ක් පමණ වූ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් 2,000 පමණ දක්වා අඩුවී ඇති බවයි. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය පවසන්නේද මෙම තත්ත්වය හේතුවෙන් වර්තමාන ඉදිකිරීම් කර්මාන්තය කඩැවැටීඇති බවයි.

● ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ පිරිස් රට හැර යෑමක්

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ පිරිස් ආර්ථික ප්‍රශ්න හේතුවෙන් රට හැර යෑමේ ප්‍රවනතාවක්ද මතු ඇතැයිද පුවත් මගින් අනාවරණය වේ. මෙම කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන් වැඩි පිරිසක් පවතින ආර්ථික අර්බුදය නිසා නිසා දේශීය ඉදිකිරීම්වලින් ඉවත්ව මැදපෙරදිග බලා යෑමේද ප්‍රවණතාවක් පවතී. මෙම ගැටලු වෙන වෙනම හඳුනාගෙන වෙන වෙනම ක්‍රියාත්මක නොවුණහොත් ඉංජිනේරු ක්‍ෂේත්‍රය විශාල වශයෙන් බිඳවැටීම වැළැක්විය නොහැකි බවත් මේ තත්ත්වය වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේ සභාපති පාර්ලිමේන්ත මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගියදා පැවැසීය. ඉදිකිරීම් ක්‍ෂේත්‍රය කඩාවැටීම හේතුවෙන් මෙරට ඉංජිනේරුවරුන් හා ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් විදෙස්ගතවෙමින් සිටින බවද වාර්තා වේ.

● විටින් විට වැඩි වූ ඉදිකිරීම් ද්‍රව්‍ය මිල

මෙරට තුළ ඉදිකිරීම් ද්‍රව්‍ය මිල වරින් වර වැඩිවූයේ පාරිභෝගික ජනතාවට කිසිවක් කරකියා ගත නොහැකි ආකාරයෙනි. සිමෙන්ති, කම්බි, ඇණ, වැලි, යකඩ, කළුගල් ආදී ඉදිකිරීමේ ක්‍ෂේත්‍රයට අදාළ සියලුම ද්‍රව්‍යයන් කිසිදු සොයාබැලීමකින් තොරව මිල ඉහළ යෑම හේතුවෙන් මෙරට ඉදිකිරීම් පසුගිය කාලය තුළ නතර කර දැමීමට සිදුවිය. රුපියල් 1500 ට පමණ තිබූ සිමෙන්ති කොට්ටයක් අද රුපියල් 2700 වැනි මිල වැඩිවීමක් වෙළෙඳපොළ තුළ සිදුව ඇත. විවිධ ප්‍රමාණයේ කම්බි හා ගොඩනැඟිලි ද්‍රව්‍ය මිල ඉහළ ඉහළ ගොස් ඇත්තේ සාමාන්‍ය මිලටත් වඩා හතර පස් ගුණයකිනි. කලින් රුපියල් 32-52 දක්වා තිබූ සිමෙන්ති ගඩොලක මිල රුපියල් 120 දක්වා ඉහළ තිබේ. මේ හේතුවෙන් රටෙහි ඉදිකිරීම් නවතා දැමීමෙන් ඒ ආශ්‍රිත රැකියාවන්හි නියුතු ශ්‍රමිකයන්ටද අද වන විට වෙනත් රැකියාවන් සොයා යෑමට සිදුව ඇත.

පවතින ආර්ථික අර්බුදය නිසා ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට ඇති වී හානිය නිසා මෙරට ඒ ආශ්‍රිත රැකියාවන් කළ බොහෝ දෙනා මේවනවිට සිය රැකියා අහිමිව නිවෙස් වලට වී සිටිති. මෙයට හේතුව ලෙස දැකිය හැක්කේ රජයක් මගින් විවිධ කාලසීමාවන් තුළ අසීමිත ගොඩනැඟිලි ද්‍රව්‍ය මිල ඉහළ දැමීමයි. මේ නිසා රැකියා විරහිත ප්‍රමාණ මෙරට තුළ වැඩිවී ඇති බවද පෙනී යයි. නැවත ගොඩනැඟිලි ද්‍රව්‍ය මිලෙහි අඩුකිරීමක් රජය මගින් සිදුවුවහොත් මෙසේ කඩාවැටී ඇති ඉදිකිරීම් ක්‍ෂේත්‍රය යළි නගා සිටුවිය හැකි බව අපගේ විශ්වාසයයි.

රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment