කුලී මිනීමරුවකුට රැකවරණය දීලා ‘අපේ ජනබල පක්ෂයේ’ නායකයා අත්අඩංගුවට

295

පාතාල කණ්ඩායම් සමග සබඳතා පවත්වමින් කොන්ත්‍රාත් මිනීමැරුම් සිදු කළ අපරාධකරුවකුට රැකවරණය ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඊයේ (24 වැනිදා) අලුයම  කොස්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු දින 2ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා ගෙන තිබේ.

ඉකුත් ජුනි මස 05 වැනිදා කුඩාවැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘ශෂී පබා’ නැමති අපරාධකරුවකුට නවාතැන් දීමට කටයුතු කර ඇත්තේ සැකකාර සමන් පෙරේරා විසින් බව විමර්ශනවලින් අනාවරණය විය.

ශෂි පබා නමැති කුලී මිනිමරුවාට කුරුණෑගල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් සපයා ඇත්තේ සමන් පෙරේරා විසින් බව අනාවරණය වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.

දකුණේ පාතාල කණ්ඩායම් සමග මොහු සමීප සබඳතා පවත්වන බව ද ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව ද පොලිසිය කියා සිටියි.

සමන් පෙරේරා නමැත්තා දකුණේ හෝටල් හිමි ධනවත් ව්‍යාපාරිකයකු වන අතර අපේ ජනබල පක්ෂයේ වර්තමාන නායකයාය.

සමන් පෙරේරා විසින් සිදු කළ අපරාධ සහ සිදු කිරීමට සැලසුම් කළ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ තංගල්ල පොලිසිය විමර්ශන පවත්වා ගෙන යයි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment