කුවේට් රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා ගැනත් පෙන්වා දෙයි – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ කුවේට් අගමැති අතර හමුවක්

97

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග‍්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් – හමාඞ් අල් – සබා මහතා අතර හමුවක් ඉකුත් 19 වැනිදා පෙරවරුවේ නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී පැවැත්විණි.

 දෙරට අතර පනස් වසරක සමීප සහ මිත‍්‍රශීලී රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා සිහිපත් කළ නායක දෙපළ එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව සඳහන් කළේය.

 ශ‍්‍රී ලාංකිකයන් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුහුණු ශ‍්‍රමිකයන් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘත කර දෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබීය.

 කොවිඞ් වසංගතය පාලනය සහ රට තුළ සිදු කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිවරයා වසංගතය පහව ගොස් ලෝකය විවෘත වීමත් සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දුන්නේය.

 වරාය නගර, සූර්ය හා සුළං බලශක්ති සහ පිරිපහදු ක්ෂේත‍්‍රයන් තුළ කුවේට් රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිවරයා කුවේට් අග‍්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය.

 ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපන, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව ද රාජ්‍ය නායකයන් අතර කථා බහට ලක් විය.

 විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment