කුෂාන්ගේ කරඇඹිය යුත්තේ ඇයි? (1) – (ඔමානයෙන් ගලා යන ගෘහ සේවිකාවන්ගේ දුක් කඳුළු)

969

කරඇඹීම යනු කරත්ත අදින හරක්ට කරන හෙණ ගහන අපරාධයකි. කරත්ත අදින හරකා කරත්තය ඇදගෙන යන ගමන් පාරේ යන එළදෙනුන් දැක හැඟීම් අවුස්සාගෙන කරත්තයත් ඇදගෙන එළදෙනුන් පස්සේ දිවයෑම වැළැක්වීම සඳහා කර ඇඹීම කරනු ලැබේ. මෙය මේ අසරණ සතාගේ හැඟීම් ඇතිවීම සදහටම වළකාලන අතිශය වේදනාකාරී වූ ශිෂ්ට සමාජයේ වෛරයට පාත්‍ර වූ පරණ ක්‍රමයකි. ඔමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන්නේ යැයි කියන, ඒ රටේ රැකියාවලට ගොස් අතරමංවූ කාන්තාවන් ලිංගික අපහරණයට පත්කරන්නේ යැයි කියන කුෂාන් නමැති පුද්ගලයකු ගැන මේ දිනවල සමාජ මාධ්‍ය මගින් දැඩි සේ වාර්තා කරනු ලැබේ. ඔහුගේ ද කරඇඹිය යුතුය. සමාජ මාධ්‍යවලට අප කොතරම් බැන්නත් එකී digital plat form එක නොතිබෙන්නට මේ රටේ සිදුවන නීච ක්‍රියා සහ මේ රටේ මිනිසුන් පිටරට ගොස් කරන නීච ක්‍රියා රැසක් යටපත් වීමට ඉඩ තිබිණ. එබැවින් සමාජ මාධ්‍යවලට යහපතක්ම වේවා! රැකියා වීසා නොමැතිව සංචාරක වීසා මත රැවටීමට ලක්කර ඔමානයට ගෙනගොස් ගෘහ සේවයෙහි හා ගණිකා වෘත්තියෙහි යොදවන ශ්‍රී ලාංකික සිංහල සහ ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණියන් ගැන මේ දිනවල විශාල වශයෙන් සමාජ කතාබහක් ඇති වී ඇත. ඒ ආකාරයෙන් ඔමානයට ගොස් වැඩ වැරදී ටික දිනකින් ගණිකා නිවාස සහ ධනවත් සල්ලාලයන්ගේ ගෙවල්වලින් පැන මහ පාරට එන සිංහල සහ මුස්ලිම් තරුණියන් ඔමාන් පොලිසිය විසින් ඒ රටේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට භාරදෙනු ලැබේ. ඒ තරුණියන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ඇති safe house එකක හෙවත් ආරක්ෂක නිවස්නයක රඳවා තබා පසුව ලංකාවට එවීම සිදු කරයි. තරුණියන් ලංකාවට යැවීමේ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරන්නේ ඔමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන්නේ යැයි කියන කරඇඹිය යුතු කුෂාන් ය. දැනට තිබෙන සාක්ෂිවලට අනුව safe house එකේ සිටින තරුණියන්ට ඉක්මනින් ශ්‍රී ලංකාවට යෑමට වුවමනා නම් ඔවුන් කුෂාන් සමග ඇඳට යා යුතුය. එසේ නොකරන අය safe house එකේ සදාකාලිකව දුක් විඳිමින් කල් ගෙවති. මේ safe house එක භාරව සිටින්නේ සිංහල කාන්තාවකි. safe house එකේ සිටින එකසිය පහකට කිට්ටු තරුණියන්ට ආහාර වශයෙන් ලංකා ආණ්ඩුවේ වියදමින් එවන සීනි, සහල්, පරිප්පු වැනි වියළි ආහාරවලින් 80% ට වඩා ඉහත සඳහන් භාරකාර කාන්තාව ලංකාවේ පිහිටි සිය නිවසට නැව්වල පටවා එවන බව දැනගන්නට තිබේ. ඇය safe house කාන්තාවන් 105 ට ආහාර වශයෙන් දීම සඳහා එක වේලකට නිකුත් කරන්නේ සහල් කිලෝ 4 කි. අල ගෙඩි තුනකි. මෑ කරල් කිලෝ 2 කි. සාමාන්‍යයෙන් තවත් හොදි, මාළු පිනි ද්‍රව්‍ය 4 ක් පමණ යැපෙන්නේ නම් එක සහල් කිලෝවකින් හය දෙනකුට කන්න දීමට පුළුවන. ඉහත සඳහන් කාන්තාවගේ නීච වැඩපිළිවෙළ නිසා 24 කට පමණක් ප්‍රමාණවත් බත් හැලියක් කෑමට 105 කට සිදුවෙයි. සමහරවිට මේ කාන්තාව උදේ ආහාර වශයෙන් ඉහත සඳහන් 105 ට කඩල කිලෝ 2 ක් පමණක් ලබාදෙයි. එවිට එක් කාන්තාවකට අනුභවය සඳහා ලැබෙන්නේ කඩල ඇට 18 ක් හෝ 19 කි. කුෂාන් නමැති නරුමයාට කාන්තාවන් සප්ලයි කිරීමේ කටයුත්තේදී safe house භාරකාර ගැහැනිය විශාල දායකත්වයක් ලබා දෙයි. මේ පිළිබඳව ඉතා හොඳින් දන්නා සහ විශාල වශයෙන් සාක්ෂි තබාගෙන සිටින ඩුබායි සුද්දා නමැති තරුණයෙක් මේ දිනවල ලංකාවට පැමිණ සිටී. ඔමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සියලු වග විස්තර ඩුබායි සුද්දාගේ ෆේස්බුක් එකවුන්ට් එකට පිවිසීමෙන් දැනගත හැකිය. ඔමානයේ ශ්‍රී ලාංකික කාන්තාවන් සල්ලාලයන් සඳහා මසට විකිණීම ගැන මෙතැන් සිට අපි කතා කරමු.

ඔමානය තුළ ලංකාවේ තරුණියන් සිටින ගණිකා නිවාස 17 ක් තිබේ. මේ සියල්ලෙහිම සිටින්නේ සංචාරක වීසා මත මාසයකට හෝ මාස තුනකට ඔමානයට ගෙනවුත් දැනට Over Stay වී සිටින කාන්තාවන්, අරාබි ගෙවල්වල දරුණු වධ බන්ධනවලට ලක්වී ඉවසා ගැනීමට බැරිව පැන ආ කාන්තාවන් සහ හොර ඒජන්සිකාරයන් විසින් එරටට ගෙනවුත් අතරමං කෙරුණු කාන්තාවන් ය. අපට දැනගැනීමට ඇති පරිදි මේ ගණිකා නිවාස විවෘත වන්නේ ඉන්දියානු සහ බංගලාදේශ මෝල් අමාරුකාරයන්ට පමණි. එයට හේතුව සිංහලයකු මෙහි ගියොත් එම කාන්තාවන් සමග කතා කර ගණිකා ජාවාරමේ රහස දැනගන්නා නිසා ය. මේ පිළිබඳ සියලු සාක්ෂි මේ රටේ මාධ්‍යකරුවන් කිහිපදෙනකු අත තිබේ. විශේෂයෙන්, මාධ්‍යකරුවකු නොවූවද මේ පිළිබඳ ඇසින් දුටු සාක්ෂි, දුරකථන සංවාද පටිගතකිරීම් යනාදිය ඩුබායි සුද්දා අත ඇත. අඩු සුදුසුකම් ඇති නිසි වයස් සම්පූර්ණ නොකරන ලද ව්‍යාජ ආගමන විගමන ලිපි ලේඛන හරහා ඩුබායි වෙත ගෙනෙන ශ්‍රී ලාංකික තරුණියන් දේශසීමා හරහා ඔමානයේ ගණිකා නිවාසවලට ගෙනයන ආකාරය ඔහු දන්නා බව අපගේ විශ්වාසය වේ. මේ අවුරුද්දේ නොවැම්බර් 17 දා වනවිට ඔමානයේ අතරමංවී නන්නත්තාරව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ගණන 90 ක් බව ඒ රටේ මස්කට් නුවර පිහිටි තානාපති කාර්යාලය සඳහන් කර ඇත. ඊට ටික දිනකට පසු මේ ගණන 100 ද ඉක්මවීය. අතරමංව සිටින කාන්තාවන් ලංකාවට ගෙන්වා ගැනීම පහසු කාර්යයක් නොවේ. එම කාන්තාවන් වීසා කාලය අවසන් වී ඔමානය තුළ රැඳී සිටීම නීති විරෝධී ක්‍රියාවක් වන අතර ඒ සඳහා දඩයක් අය කරනු ලැබේ. එසේම ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ගුවන් ටිකට් පතට ද මුදල් සොයාගත යුතුය. ඇතැම් ඒජන්සිකරුවෝ ආපසු ලංකාවට යන කාන්තාවන් බියපත් කර ගිවිසුම් කඩකර එම තරුණියන් ලංකාවට යන බැවින් තමන්ට මුදල් පාඩුවී ඇතැයි කියා සල්ලි කඩා ගැනීමට බලති. ඔමානයේ සිරවී සිටින අසරණ ලාංකික ගැහැනුන් ආපසු ලංකාවට ගෙන්වා ගැනීම ලෙහෙසි නැත. එය ජයගත හැකි ක්‍රමය ගැන අපි හෙට කතා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment