කුසගින්නෙන්ම මියගිය “කුසගින්නේ වෛද්‍යවරිය”

746

ජීවිතය ජය ගැනීමට නම් අප තුළ ඉලක්කගත සිහිනයක් තිබීම ඉතාම වැදගත්. ලින්ඩා ලෝරා හැසාර්ඩ් වෙනුවෙන්ද පොදු වූ සිහිනයක් විය. බාල කාලයේ පටන්ම ඇගේ එකම අරමුණ වූයේ වෛද්‍යවරියක වීමයි. එහෙත් ඒ ඉලක්කය වැරදුන තැන වෛද්‍ය උපාධියක් නොමැති වෛද්‍යවරයකු වෙත ගොස් ව්‍යාජ උපාධි සහතිකයක් ලබා ගත්තාය. නිතරම සෙලවෙන්නේ අඩු කළයයි. පිරුණ කළය සෙලවෙන්නේ නැත. කෙසේ හෝ ව්‍යාජ වෛද්‍ය සහතිකය නිසාමදෝ වෛද්‍යවරයකු සතුව පැවැති ආචාර ධර්ම, මානුෂීය ගුණාංග ලින්ඩා සතු වූයේ නැත. ඊටත් වඩා ඇගේ නරුම මානසිකත්වය මේ සියල්ලටම වඩා පෙරට පැමිණියා යැයි සිතීමත් එක් අතකින් සාධාරණය.

● රෝග සුව කිරීමේ හොඳම ක්‍රමය බඩගින්නයි

මේ අතර ලින්ඩා උපවාසය හෙවත් නිරාහාරව කාලය ගෙවීම පිළිබඳ ප්‍රවර්ධනයේ යෙදෙන Edward Hooker Dewey යටතේ ඉගෙනුම ලැබුවාය. මෙම පුද්ගලයාගේ ඉගෙනුම අනුව ලින්ඩා කියා සිටියේ නිරාහාරව සිටීම විද්‍යාවක් බවයි. නිරාහාරව සිටීම නිසා සිරුරේ විෂ සංයෝග ඉවත් කර සිරුර සමතුලිතව තබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව ඇය උපවාසය ප්‍රවර්ධනය කරමින් ග්‍රන්ථ තුනක් රචනා කළාය.මෙම කෘති රචනා කිරීමට වඩා ඇගේ චරිතයේ වඩාත් බිහිසුණු පැතිකඩ වූයේ උපවාසය විද්‍යාත්මක කිරීම වෙනුවෙන් රෝගීන් බිල්ලට යොදා ගැනීමයි. ලින්ඩා විසින් වොෂිංටන් නගරයේ සනීපාරක්ෂක මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී. ඇතැමුන් විසින් ඇගේ ප්‍රතිකාර පිළිගත්හ. මෙම මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගත් ඇතැම් රෝගීන් මියගිය අතර ඇතැමුන්ට ජීවත්වීමේ වාසනාව උදාවිය. මියගිය රෝගීන්ගේ මරණයට හේතුව සිරෝසිස්, පිළිකා හෝ වෙනත් හඳුනා නොගත් රෝගයක් යැයි නිගමනය කරන ලදී.

● බොරුවට ආයුෂ නැත..

නමුත් බොරුව සදාකාලික නැත. ලින්ඩාගේ මෙම ප්‍රතිකාර ක්‍රමය නිසා 1908 වසරේ පෙබරවාරි 26 වැනි දින ඩේසි මෝඩ් නම් නෝර්විජියානු කාන්තාවක් මරණයට පත් වූවාය. ඒ ඇගේ ප්‍රතිකාර නිසා සිදු වුණ මුල්ම මරණයයි. නැවතත් ඇගේ ප්‍රතිකාර හේතුවෙන් තවත් මරණ දෙකක් වාර්තා විය. 1910 වසරේදී අර්ල් එඩ්වඩ් එඩ්මන්ඩ් නැමැති සිවිල් ඉංජිනේරුවෙක් සහ තවත් පුද්ගලයන් තිදෙනෙක්ම ලින්ඩාගේ නිරාහාර ප්‍රතිකාර ක්‍රමය නිසා මරණයට පත් විය.

ඇය නිශ්ශබ්ද නොවීය. 1911 වසරේදී ඩොරති විලියම්ස් ලින්ඩාට එරෙහිව අධිකරණ ක්‍රියාදාමයන් වෙනුවෙන් ඉදිරිපත් විය. නමුත් එක් පරහක් වූයේ මේ වෙන විටත් ලින්ඩා බලපත්‍රලාභී වෛද්‍යවරියක නොවීමයි. අධිකරණය ඉදිරියේ ලින්ඩා කියා සිටියේ සෑම රෝගියකුම ඔවුන්ගේ ස්ව කැමැත්තෙන් මෙම ප්‍රතිකාර වෙනුවෙන් යොමු වෙන බවත්, ඇගේ වෛද්‍ය මධ්‍යස්ථානය ජනප්‍රිත්වයට පත් වීම ඉවසා දරා ගත නොහැකි වෛද්‍ය වෘත්තිකයන් විසින් මෙම කුමන්ත්‍රණකාරී කටයුතු සිදු කරන බවයි. ලින්ඩාගේ ව්‍යාජ වෛද්‍ය බලපත්‍රය අවලංගු වුණත් ඇය තම ප්‍රතිකාර ක්‍රමය අඛණ්ඩව පවත්වා ගෙන ගියාය. “වෛද්‍ය මධ්‍යස්ථානය” යන නාමය “සෞඛ්‍ය පාසල” ලෙසින් වෙනස් කළාය. කෙසේ හෝ ඇය තම ප්‍රතිකාර ක්‍රමය ගැන දිවි පරදුවට තබා කටයුතු කළාය. 1938 වසරේ ලින්ඩා රෝගී තත්ත්වයට පත් වූ අතර ඇයට අවශ්‍ය වූයේ රෝගය වෙනුවෙන් සාර්ථක ප්‍රතිකාරය නිරාහාරව සිටීම බවයි. ඇය නිරාහාරවම සිටීමෙන් උත්සන්න වූ රෝගී තත්ත්වය නිසා 1938 වසරේ ජුනි මස 24 වැනි දින මියගියාය. ඒ වෙන විට ඇගේ වයස අවුරුදු 70 කි.

පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment